මහාචාර්ය එස්. පද්මනාදන් විසින් රචිත 'පුරාණ ශිෂ්ටාචාරයක දර්ශන: යාපනයේ සමාජය සහ සංස්කෘතිය (ක්‍රි.පූ. 300 සිට ක්‍රි.ව. 500 දක්වා)(Glimpses of an Ancient Civilisation: Society and Culture in Jaffna (300 BC to AD 500)
SSSR ආයෝජන පෞද්ගලික සමාගම, ඕස්ට්‍රේලියාව, 2026. පිටු 370.
මහාචාර්ය එස්. පත්මනාදන්ගේ කෘති ගැන මෙනෙහි කිරීමේදී, මගේ මනස යුද්ධය පැවැති දුෂ්කර කාලය වෙත ආපසු ගමන් කරයි. ඒ කාලයේ ජීවිතයේ සෑම කොටසකටම පාහේ බිය සහ අවිශ්වාසය ඇතුළු වී තිබිණි. එම වකවානුවේ අනෙක් පසට ළඟාවීමට උත්සාහ කිරීමට වඩා, එක් පැත්තක රැඳීසිටීම පහසු සහ බොහෝ විට ආරක්ෂිත විය. එහෙත් එම කාලයේ සිට ඔහු ගැන මට වඩාත්ම මතකයේ ඇත්තේ, ඔහුගේ පාණ්ඩිත්‍යයේ ගැඹුර පමණක් නොව, ඔහුගේ විශ්වාසයන්ගේ ස්ථාවරත්වය සහ ඔහුගෙන් වෙනස් වූ අයව ඔහු සම්බන්ධ කරගත් ත්‍යාගශීලීත්වයයි. ඉතිහාසය බොහෝ විට බෙදීමට ලක්කළ කාලයක, ඔහු එය ආලෝකමත් කිරීමට සහ එකිනෙක සම්බන්ධ කිරීමට කැපවී සිටියේය. මම ඔහුගේ නවතම කෘතිය වන 'පුරාණ ශිෂ්ටාචාරයක දර්ශනයන්' (Glimpses of an Ancient Civilization) කියවන්නේ එම මතකයන් මනසේ තබාගෙනය.
-----------------------------
මහාචාර්ය සිවසුබ්‍රමනියම් පද්මනාදන් විසින් රචිත 'පුරාණ ශිෂ්ටාචාරයක දර්ශනයන්' යනු ක්‍රි.පූ. 300 සිට ක්‍රි.ව. 500 දක්වා යාපනයේ සමාජය සහ සංස්කෘතිය පරීක්ෂා කරන වැදගත් ග්‍රන්ථයකි. එය ශ්‍රී ලංකාව පිළිබඳ සිදුකරන ලද ඓතිහාසික පර්යේෂණවල සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. එය, අනාගත පරම්පරාවේ පර්යේෂකයන්ට විශ්වාසයෙන් යුතුව ගොඩනගා ගතහැකි ස්ථිර පදනමක් දැමූ විද්වතකුගේ කෘතියකි. ග්‍රන්ථයේ විශේෂ වටිනාකම පවතින්නේ, ශ්‍රී ලංකාවේ අතීතය වෙනස් ලෙස දැකීමට එය අපට ආරාධනා කරන ආකාරය තුළ ය. ඉතිහාසය, සමකාලීන දේශපාලන තරඟයට අඛණ්ඩව ඇදගන්නා කාලයක, මහාචාර්ය පද්මනාදන් විනයගරුක සහ දැඩි ප්‍රවේශයක් ඉදිරිපත් කරයි. ඔහුගේ ක්‍රමය, එහි විද්‍යාත්මක අර්ථයෙන් ඓතිහාසික විමර්ශනයේ ඉහළ ප්‍රමිතියක් පිළිබිඹු කරයි. එය නැවුම් සාක්ෂි, වඩා හොඳ ක්‍රම සහ පුළුල් සංසන්දනාත්මක ඉදිරි දර්ශන මගින්, ආලෝකයෙන් අවබෝධය අඛණ්ඩව පිරිපහදු කිරීමක් ලෙස හඳුනාගත හැකිය.
මෙම කෘතිය තේමාත්මක කොටස් පහක් හරහා පරිච්ඡේද දහඅටකට සංවිධානය කර ඇත. එහි ව්‍යුහය ප්‍රවේශමෙන් සංකල්පනය කර ඇති අතර, පාඨකයාට පුළුල් ඓතිහාසික රාමුවලින් ජනාවාස රටා, ආර්ථික පද්ධති, විශ්වාස පද්ධති සහ මුල් යාපනයේ සංස්කෘතික ජීවිතය පිළිබඳ වැඩි වැඩියෙන් අවධානය යොමුකෙරෙන අවස්තාවන් වෙත ගමන් කිරීමට හැකියාව ලබාදෙයි. එමගින් ඉතිහාසයේ ප්‍රගතිය මනිනු ලබන අතර, එය තාර්කික වෙමින්, පදනම් සංයුතිවලින් සමාජයේ සහ සංස්කෘතියේ වඩාත් සංකීර්ණ ප්‍රකාශනයන් දක්වා ගමන් කරයි. ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාව අතර බෙදාගත් මුල් යකඩ යුගයේ සංස්කෘතික සංකීර්ණය පිළිබඳ මහාචාර්ය පද්මනාදන්ගේ විශ්ලේෂණය අධ්‍යයනයේ කේන්ද්‍රස්ථානය වේ. සුසාන භූමි, පිඟන් මැටි එකලස් කිරීම්, යකඩ කෞතුක වස්තු, ජනාවාස සාක්ෂි සහ සෙල්ලිපි මත පදනම්ව, පැරණි අඛණ්ඩතාවන් දෘශ්‍යමානව පවතින අතරම, නව ආකාරයේ සමාජ සංවිධාන මතු වූ ලෝකයක් ඔහු මෙමගින් ප්‍රතිනිර්මාණය කරයි.
මෙම කෘතියේ ප්‍රධාන ශක්තියක් වන්නේ මුල් කාලීන ශ්‍රී ලංකා ඉතිහාසය දිවයිනේ වර්තමාන භූගෝල විද්‍යාව තුළ සීමාකිරීම, ප්‍රතික්ෂේප කිරීමයි. ඒ වෙනුවට, මහාචාර්ය පද්මනාදන් උතුරු ශ්‍රී ලංකාව ස්ථානගත කරන්නේ, ඉන්දියානු උප මහද්වීපයේ පුළුල් ශිෂ්ටාචාර ලෝකය තුළ, පැරණි සම්ප්‍රදායන් ජම්බුද්වීපය ලෙස වටහා ගත් කලාපයේ සහ දකුණු ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ජීවිතය හැඩගස්වා ගත් භාරතයේ වඩාත් නිශ්චිත ඓතිහාසික-සංස්කෘතික කලාප තුළ ය. මෙය නූතන භෞමික උපකල්පන පුරාණ අතීතය දෙසට, පසුපසට ප්‍රක්ෂේපණය කරන විට ඇතිවන විකෘති කිරීම් වළක්වයි. එහි ප්‍රතිඵලය වන්නේ, පෝක් සමුද්‍ර සන්ධිය හරහා අන්තර්ක්‍රියා පිළිබඳ වඩාත් ඓතිහාසිකව පදනම් වූ චිත්‍රයක් නිර්මාණය වීම වන අතර, එහි ශ්‍රී ලංකාවේ උතුර හුදකලා මායිමක් ලෙස නොව විශාල ලෙස චලනය වූ, හුවමාරුවේ සහ සංස්කෘතික සැකැස්මේ කොටසක් ලෙස පෙනේ.
මෙම කෘතිය ශ්‍රී ලංකාවේ උතුර හා නැගෙනහිර කලාපවලට පමණක් සීමාකරනවා වෙනුවට, එමගින් දකුණු ඉන්දියාව පුරා සෙවීම ව්‍යාප්ත කරයි. එහිදී මුල් ඉතිහාස ලේඛන, චෝළ යුගයේ ව්‍යාප්තිය සහ සම්භාව්‍ය දෙමළ ග්‍රන්ථ වන මනිපල්ලවම් වැනි කොටස් පිළිබඳ අවධානය යොමුකරයි. විශේෂයෙන් වැදගත් වන්නේ, දෙමළ බ්‍රාහ්මී සෙල්ලිපි නැවුම් හා ක්‍රමානුකූලව ඔහුගේ නැවත පරීක්ෂා කිරීමයි. ඒවා බොහෝවිට පෙර අවස්තාවලදී ඛණ්ඩනය වූ ආකාරයෙන් සලකනු ලැබ ඇත. විමර්ශනයේ කේන්ද්‍රස්ථානයට ඒවා ප්‍රතිස්ථාපනය කිරීමෙන්, ඔහු සාක්ෂරතාව, සමාජ ධූරාවලිය, හුවමාරු ජාල සහ අනන්‍යතා ක්‍රමයෙන් ගොඩනැගීම පිළිබඳ නව ඉදිරිදර්ශන විවෘත කරයි. යකඩ යුගයේ මෙගලිතික භූමිදාන සහ මුල් නව ශිලා යුගයේ ස්ථාන ඇතුළු පුරාවිද්‍යාත්මක වාර්තාව ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාව යන කොටස් දෙකම ආවරණය කරයි.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය බොහෝවිට, එකිනෙක සම්බන්ධ කිරීමට නොව වෙන්කිරීමට භාවිත කර ඇත. මෙම පර්යේෂණයන්හි හඳුනාගෙන ඇති පරිදි පුළුල් සාක්ෂි ක්ෂේත්‍රය, නාගයන් වර්තමාන ජනවාර්ගික පරම්පරාවකට පමණක් සම්බන්ධ කිරීමට උත්සාහ කරන පටු ජාතිකවාදී ප්‍රකාශයන්ට යටත් නොවී දිගුකාලීන ඓතිහාසික හිඩැස් ආමන්ත්‍රණය කිරීමට උපකාරී වේ. චලනය, අතිච්ඡාදනය සහ ස්ථර අයත් වීම මගින් හැඩගස්වා ඇති වඩාත් සංකීර්ණ සහ බෙදාගත් ශිෂ්ටාචාරමය උරුමයක්, මෙහිදී සාක්ෂි මගින් පෙන්වාදෙයි. මෙම කෘතිය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ සුප්‍රසිද්ධ ජනාධිපති නීතිඥ ආචාර්ය කේ. කනග්-ඊශ්වරන් සඳහන් කළ පරිදි, ඉතිහාසය සාමාන්‍යයෙන් උගන්වනු ලබන්නේ බෙදීම් ආකාරයෙන් වන නමුත්, මෙම කෘතිය ඊට ප්‍රතිවිරුද්ධ අරමුණින් සජීවීකරණය කර ඇත. එය එක්සත් කිරීමට උත්සාහ කරයි. එම ඒකාබද්ධ කිරීමේ ගුණාංගය හැඟීම්වලට වඩා සාක්ෂි මත පදනම් වේ.
මහාචාර්ය පද්මනාදන්ගේ කෘතියෙන් පෙනීයන්නේ මෙරට ජනතාව, මුද්‍රා තැබූ කුටීර තුළ හෝ වෙනම ශිෂ්ටාචාර ලෙස ජීවත් නොවූ බවයි. අද ස්ථාවර ලෙස පෙනෙන අනන්‍යතා දිගු සියවස් ගණනාවක අන්තර්ක්‍රියා, සංක්‍රමණය, අනුවර්තනය සහ සහජීවනය හරහා හැඩගැසී ඇත. දෙමළ කතාකරන සහ සිංහල කතාකරන ජනයා ඔහුගේ කෘතියෙන් මතුවන්නේ, විවිධ භාෂාමය ප්‍රවාහයන්ගෙන් වුවද, ඔවුන් සියල්ල දිවයිනේ දේශීය ඓතිහාසික පරිණාමයේ නිෂ්පාදන ලෙස හඳුන්වාදෙනු ලැබේ. උතුරේ දෙමළ කතාකරන ප්‍රජාවන් තිරසාර සම්බන්ධතා හරහා දකුණු ඉන්දියානු ද්‍රවිඩ භාෂාවක් ක්‍රමයෙන් අනුගමනය කළ දේශීය ජනතාව ලෙස දැක්වේ. දකුණේ සහ මධ්‍යයේ සිංහල කතාකරන ප්‍රජාවන් ඉන්දු-ආර්ය ප්‍රාකෘතයක් අද්විතීය ශ්‍රී ලාංකික භාෂාවක් බවට නැවත හැඩගස්වා ගත් දේශීය ජනතාවක් ලෙස හඳුන්වාදී ඇත. එනම්, මූලයන් වෙනස්වන නමුත් ශිෂ්ටාචාරය විසින් භුමිය බෙදාගෙන ති බවයි.
මෙම රාමුවටම මුස්ලිම් ප්‍රජාව ද ඇතුළත් විය යුතු අතර, ඔවුන්ගේ ඉතිහාසය ශ්‍රී ලංකාවේ වෙරළබඩ ජනාවාසවලට පමණක් සීමාකළ නොහැක. වරාය, වෙළඳ මාර්ග, වෙළඳ ජනාවාස සහ සමුද්‍ර හුවමාරුව පිළිබඳ මහාචාර්ය පද්මනාදන්ගේ පුළුල් කාර්යය අපට මතක් කර දෙන්නේ ශ්‍රී ලංකාව අභ්‍යන්තර රාජධානිවලින් පමණක් නොව මුහුදෙන් ද හැඩගැසුණු බවයි. දිවයින වටා ඇති මුහුද එහි ජනතාව බෙදා වෙන්කළේ නැත. එය ඔවුන් එකිනෙකා සමග සම්බන්ධ කළේය. යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය, කොළඹ, ගාල්ල සහ නැගෙනහිර වෙරළ තීරයන් හරහා දකුණු ඉන්දියාවෙන්, අරාබි ලෝකයෙන් සහ පුළුල් ඉන්දියානු සාගරයෙන් වෙළෙන්දෝ, විද්වත්තු, නාවිකයෝ, අධ්‍යාත්මික සම්ප්‍රදායන් සහ ප්‍රජාවෝ පැමිණියහ. කාලයත් සමඟ මෙම ප්‍රජාවන්ගේ ජනයා මෙරට පදිංචි වී, අන්තර් විවාහ සිදුකර ගෙන, දේශීය භාෂා අනුගමනය කළ අතර, දිවයිනේ ජීවිතය තුළ ගැඹුරින් මුල්බැස ගත්හ. ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය හුදකලාව වෙනුවට හමුවීමෙන්, බැහැර කිරීම වෙනුවට හුවමාරුවෙන් නිර්මාණය වූ බවට මහාචාර්ය පද්මනාදන් ලබාදෙන පුළුල් අවබෝධය, මෙරට ශිෂ්ටාචාර කතාව ශක්තිමත් කරයි.
කෘතියේ ආගම පිළිබඳ සැලකීම මෙම ඒකාබද්ධ දෘෂ්ටිකෝණය ගැඹුරු කරයි. නාගදීපයේ නාග වන්දනාව, ශෛවවාදය සහ බුද්ධාගම මෙන්ම යාපනය සහ අනුරාධපුරය අතර සංකේතාත්මක අඛණ්ඩතාව පිළිබඳ ඔහුගේ සාකච්ඡා, පූජනීය අවකාශයන් සහ සංකේත බොහෝ විට බෙදාගත් ආගමික ලෝකයක් හෙළිකරයි. නාග සම්ප්‍රදායන් හා සම්බන්ධ හිස් පහකින් යුත් නාගයා බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ ආරක්ෂක චරිතයක් ලෙස නැවත පෙනීසිටින අතර, ශයිව සිද්ධස්ථාන පැරණි සර්ප නිකායන් ආරක්ෂා කරයි. මෙම අඛණ්ඩතාවන් පසුකාලීන බෙදීම් හරහා කපාහරින ලද සදාචාරාත්මක සහ සංකේතාත්මක විශ්වයක් වෙත අවධානය යොමුකරයි. නාගදීපයේ බුද්ධාගම, නාග නමස්කාරය, ශයිවවාදය, අනුරාධපුරය සහ යාපනය පුරා බෙදාගත් සංකේත පිළිබඳ මහාචාර්ය පද්මනාදන්ගේ අදහස් සියල්ලම, උතුර යනු ශ්‍රී ලංකාවේ කතාවෙන් පිටත කොටසක් නොවන බවට වන සත්‍යය වෙත අපව යොමුකරයි. එසේම ශ්‍රී ලංකාවේ දකුණ, යාපනයේ කතාවෙන් පිටත නොවේ. අප ජීවත් වන ඉඩම්, අප ගරුකරන ස්ථාන, අප කතාකරන භාෂා සහ අප අගය කරන මතකයන් සියල්ලම, හමුවීම් හරහා හැඩගැසී ඇති බව අප පිළිගන්නා විට, බෙදාගනු ලබන අනාගතයක් නිර්මාණය කළ හැකිය.
මේ අර්ථයෙන් පොත ජාතික සංහිඳියාව සඳහා බුද්ධිමය සම්පතක් බවට පත්වේ. බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ අතීතය, වෙන්වීම අවධාරණය කරන රාමු හරහා විස්තර කර ඇත. ප්‍රජාවන් තමන්ව සුවිශේෂී ඉරණම් දරන්නන් සහ සුවිශේෂී ඓතිහාසික ප්‍රකාශයන් ලෙස දැකීමට දිරිමත් කරන ලදී. මහාචාර්ය පද්මනාදන්ගේ කෘතිය දිවයිනේ ජනතාවගේ ඉතිහාසයන් එකිනෙකට බැඳී ඇති බව පෙන්වීමෙන්, මෙය නිවැරදි කිරීමට උපකාරී වේ. මෙය වර්තමානයට සෘජු අදාළත්වයක් ඇත. ගැටලුවලට දේශපාලන විසඳුම් අවශ්‍ය වේ. ව්‍යවස්ථාමය විධිවිධාන, බලය බෙදාහැරීම, ගෞරවය සහ සමානාත්මතාව ගැඹුරින් වැදගත් වේ. එහෙත් එවැනි විධිවිධාන දිගුකල් පවතින්නේ සහජීවනය සහ බෙදාගත් අයිතිවාසිකම් ස්වාභාවික හා නීත්‍යනුකූල බවට සමාජ අවබෝධයකින් පත්වූ විට පමණි. මෙවැනි තත්වයක්, එම සදාචාරාත්මක හා සංස්කෘතික පදනම නිර්මාණය කිරීමට උපකාරී වේ.
කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී, සමාලෝචකයකු වන ශ්‍රී ලංකාවේ ජාතික පුරාවිද්‍යා උපදේශක කමිටුවේ සාමාජික මහාචාර්ය බී.ඒ. හුසේන්මියා සඳහන් කළේ, මෙම කෘතිය සියලු පසුබිම් සහ සම්ප්‍රදායන් හරහා ඉතිහාසඥයන්ගේ සහ ශාස්ත්‍රඥයන්ගේ ගෞරවනීය හා විවේචනාත්මක අවධානයට ලක්විය යුතු බවයි. බහුවිධ මතකයන් ඇති රටකට තවමත් පොදු අනාගතයක් කරා ගමන් කළ හැකි ආකාරය පිළිබඳ විශාල ජාතික කාර්යයභාරයක් සම්බන්ධයෙන් සැලකිලිමත් වන අයගේ අවධානයද ඒ හා සමානව ඊට ලැබිය යුතුය. වන්දි කොමිසමේ ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන් විසින්, මෙම එළිදැක්වීමේ උත්සවයේදී මතුකරන ලද තවත් වැදගත් කරුණක් වූයේ, වර්තමාන තරුණ ප්‍රජාවට ලැබෙන අධ්‍යාපනය තුළ ඉතිහාසයට ප්‍රමාණවත් ස්ථානයක් ලබානොදෙන බවයි. පශ්චාත් යුධ ශ්‍රී ලංකාවට පුළුල් ඓතිහාසික විෂය මාලාවක් අවශ්‍ය වේ. එයට නවතම පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ඇතුළත් විය යුතු අතර, ප්‍රාග් ඉතිහාසයේ යක්ෂ සහ නාග ගෝත්‍ර වෙත ආපසු ගොස්, පශ්චාත් නිදහස් යුගයේ අභ්‍යන්තර යුද්ධ සහ ඒවායේ හේතූන් දක්වා විහිදිය යුතුය. මහාචාර්ය පද්මනාදන්ගේ කෘතිය එවැනි දිශානතියකට අවශ්‍ය සාක්ෂි ගැඹුර නිවැරදි ලෙස ඉදිරිපත් කරයි.
මෙම ප්‍රකාශනය වටා ඇති තවත් වැදගත්කමක් වන්නේ, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ සාමාජිකයකු වන ජිට්ටෝ අරුලම්පලම් විසින් ඉටුකරන ලද කාර්යභාරයයි. ඔහුගේ අනුග්‍රහය නිසා පොත ප්‍රකාශයට පත්කිරීම සහ එළිදැක්වීම යන දෙකම කළ හැකි විය. ඔහුගේම ජීවන ගමන, මෙම සහයෝගයට අනුග්‍රහයෙන් ඔබ්බට ගිය අර්ථයක් ලබාදෙයි. දෙමළ විරෝධී කෝලාහලවලින් පසු ඔහු 1983 දී පාසල් සිසුවකු ලෙස තම මාපියන් සමඟ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය අතර, එතැන් සිට ඕස්ට්‍රේලියාවේ බැංකු, ආයෝජන සහ මෑතකදී කෘත්‍රිම බුද්ධිය හා ආයතනික නායකත්ව ක්ෂේත්‍රයේ වෘත්තියක් ගොඩනඟා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සබඳතාවල අඳුරුතම බිඳවැටීමක් අත්දැක ඇති අයකුගේ ආරම්භක ජීවිත අත්දැකීම, මෙවැනි කෘතියක් පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමට සහාය වීමේදී වැදගත් වේ. ආර්ථික ආයෝජන සහ අන්තර්ජාතික සම්බන්ධතා හරහා පමණක් නොව, ප්‍රජාවන් හරහා විශ්වාසය නැවත ගොඩනැගීමට උපකාරී වන බුද්ධිමය හා සංස්කෘතික සම්පත් ශක්තිමත් කිරීම හරහා ද ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට රටේ අනාගතයේදී ඉටුකළ හැකි සාධනීය කාර්යභාරය එමගින් පෙන්වාදෙයි.
'එබැවින්, පුරාණ ශිෂ්ටාචාරයක දර්ශන' කෘතිය, ශ්‍රී ලංකාව ගැනම නව සිතීමේ ක්‍රමයක් ඉදිරිපත් කරයි. එහි පිටුවලින් මතුවන්නේ, වෙන්වීමේ කතාවක් නොව, කලාප සහ ප්‍රජාවන් හරහා අන්තර්ක්‍රියා, සංචලතාව, අතිච්ඡාදනය සහ බෙදාගත් පරිණාමය පිළිබඳ කතාවකි. මහාචාර්ය පද්මනාදන් විසින් මෙම සංවාදය සුවිශේෂී හිමිකම්වලින් ඉවතට ගෙන, බෙදාගත් උරුමයන් පිළිගැනීමක් දෙසට මාරුකරයි. මෙම කෘතිය පුළුල් මහජන අවධානයකට ලක්කිරීමට උපකාරී වූ ඩයස්පෝරා සහයෝගයේ වැදගත්කම මෙහි වැදගත්කම තවදුරටත් වැඩිකරනු ලබයි. ධෛර්යය තුළින් ගොඩගත් පාලම් සමකාලීන ජීවිතයේ නව පාලම් බවට පත්විය හැකි බවත්, මතකය, ආයෝජනය, අදහස් සහ හොඳහිත හරහා ශ්‍රී ලංකාව, එහි ගෝලීය ප්‍රජාවන් සමඟ සම්බන්ධ කරන බවත් මෙමගින් පෙන්වාදී ඇත. එම හේතුව නිසා, ඉහත දක්වා ඇති අනෙකුත් සියල්ල මෙන්ම, මෙය ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් විසින් පමණක් නොව, වාර්ගික, ආගමික සහ කලාපීය බෙදීම් හරහා විශ්වාසය ගොඩනැගීම, අන්තර්ජාතික සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ පොදු අනාගතයක් කරා ගමන් කිරීමේ දුෂ්කර නමුත් අවශ්‍ය කාර්යය ගැන සැලකිලිමත් වන ශ්‍රී ලංකාවේ හා ඉන් ඔබ්බට සිටින ජනයා විසින් කියවිය යුතු කෘතියකි.
Lanka Newsweek © 2026