Monday 20th of April 2026

English Tamil
Advertiesment


එශාන් මාලිංගලාට ජාතික කණ්ඩායමේ ක්‍රිකට් අකැපයිද..?


2026-04-20 1217

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිතර දෙවේලේ අහන්න දකින්න ලැබෙන ප්‍රශ්නයක් තමයි ඇත්තටම ගමේ ක්‍රිකට් ගහන කෙනාට තැනක් තියෙනවද? ඇත්තටම ගමේ ක්‍රිකට් ගහන කෙනාට ජාත්‍යන්තරයට යන්න පුළුවන් ද?

මේ ප්‍රශ්නයට මේ දවස් වල බොහොම වැදගත් පිළිතුරක් ලබාදෙන ක්‍රීඩකයෙක් ඉන්නවා. ඔහු නමින් එශාන් මාලිංග.

එශාන් මාලිංග කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ජනප්‍රිය යැයි සම්මත පාසලකින් පැමිණි ක්‍රීඩකයෙක් නෙමෙයි. ජනප්‍රිය නගරයක, බොහෝ වෙලාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් දුසිමක් විතර නියෝජනය කරපු පාසලක නෙමෙයි.

එශාන් රත්නපුර සීවලි විද්‍යාලයේ ක්‍රීඩකයෙක්. අදටත් මේ වගේ ගම්වල පාසල් නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයෝ ඕනෑ තරම් ඇති. අදත් ඉන්නවා, එදත් හිටියා හෙටත් ඉඳීවි. හැබැයි මේ හැම කෙනෙක්ටම වඩා එශාන් මාලිංග සතුව විශේෂ ගුණාංගයක් තිබෙනවා.

ඒ තමයි උත්සාහය සහ කැපවීම. ඔහු මේ තැනට එන්න ප්‍රධානම හේතුව බවට පත් වෙන්නේ අසීමිත උත්සාහයෙන් සහ කැපවීමෙන් ක්‍රීඩාවේ නිරත වීම. තමන් කරන කියන දේට ආදරය කරන වෘත්තීමය මට්ටම තේරුම් ගත්ත තරුණයෙක් වීම.

ඔහු වගේ ක්‍රීඩකයන්ව ශ්‍රී ලංකා වේග පන්දු යැවීම පුහුණු කරන සිස්ටම් එක ඇතුළේ මොන වගේ තත්ත්වයක තියන් පුහුණු කරනවද කියන්න ඇත්තටම මට තේරෙන්නේ නෑ. එශාන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරනවට වඩා ඉතාම හොඳ මානසික සහ ශාරීරික මට්ටමකින් අයි පී එල් වල ක්‍රීඩා කරනවා.

මේවට ගොඩක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ කියන්නේ සල්ලි වලට ක්‍රීඩා කරාට රටට ගහන්නේ නෑ කියලා.

ඇත්තටම ඒක බොරු කතාවක්. අයි පී එල් කන්ට්‍රැක්ට් එකක් මාස 2 කට අත්සන් කරන්නත් මේ ක්‍රීඩකයන්ට හැකියාවක් තියෙන්න ඕනි. එශාන්ට ෆ්‍රැන්චයිස් වල ටිකට් ඇදෙන්නේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ක්‍රීඩා කරන විදිහෙන්.

පැහැදිලිවම එශාන් සන්රයිසස් ක්‍රීඩා කරද්දී ඔහුට ලැබෙන නිදහස, ඔහුගේ පන්දු සැලැස්මට කණ්ඩායමෙන් සහ පුහුණුකරුවන්ගෙන් ලැබෙන සහයෝගය ශ්‍රී ලංකාවේදී ලැබෙනවද? ඔහුව ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරා ගන්නෙත් බොහොම අඩුවෙන්. ලැබෙන අවස්ථාවත් සෑහෙන්න අඩුයි.

පහුගිය අයි පී එල් තරගවාරයේදී තමන් ක්‍රීඩා කරපු තරග 7 ඇතුළේ කඩුලු 13 ක් දවා ගන්න ඔහු සමත් වුණා. මෙවර තරගවාරයේ දැනට වැඩිම කඩුලු ලාභීන් 10 දෙනා අතරේ ඉන්නවා. ඊයේ චෙන්නායි තරගයේ දී තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

මේ සියල්ලම එශාන් මාලිංග කරන්නේ තනියෙන් නෙමෙයි. ඔහු තරගයේ වීරයා සම්මානය ජයග්‍රහණය කිරීමෙන් පස්සේ සන්රයිසස් කණ්ඩායමේ නායක ඉශාන් කිශාන් ගැන වෙනම කියනවා. ඉශාන් කිශාන් තමන්ට තරගය තුළ ලබාදෙන සහයෝගය ගැන කියනවා. තමන්ගේ සැලැස්මවල් වලට කණ්ඩායමෙන් ලබාදෙන වටිනාකම ගැන කියනවා.

ක්‍රීඩකයෙක්ට එහෙම වටිනාකමක් ලැබෙන්න ඕනි. ක්‍රීඩකයෙක්ට තමන්ගේ පන්දුකරණය ගැන විශ්වාසයක් නිර්මාණය කරන්න ඕනි.

පෞද්ගලිකව මට හිතෙන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න වේග පන්දු යවන පුහුණුකරුවන් ඇතුළු පිරිස එහෙම වටපිටාවක් නිර්මාණය කරන්න ක්‍රීඩකයෙක්ට අවස්ථාව ලබා දෙන්නේ නෑ. එශාන්ගේ පන්දු සංකලනය පොඩ්ඩක් බලන්න,

ඔහුට තියෙනවා හොඳ යෝකර් පන්දුවක්, වේගය අඩාල කරන පන්දුවක් ඒ වගේම තමයි ඔහුට රිවර්ස් ස්වින්ග් කරන්න පුළුවන්. ඕනෑම අවස්ථාවක ඇවිල්ලා කණ්ඩායමට අවශ්‍ය දේ ලබාදෙන්න පුළුවන්.

මේ දේවල් ක්‍රීඩකයෙක් තනියෙන් කරන දේවල් නෙමෙයි. එශාන්ව සන්රයිසස් හයිද්‍රාබාද් ලා තමන්ගේ කණ්ඩායමට එකතු කරගන්නේ හේතුවක් ඇතුව. ඔහුගෙන් යමක් දකින්නට හැකියාව තිබෙන නිසා.

ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තරුවක් නොවෙන්න කලින් සන්රයිසස් ලා තමන්ට එකතු කරගන්නේ ඒකයි. හැබැයි ඔහුගේ ඒ විශේෂ දක්ෂතා කොහොමද කියලා තාම ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් දකිනවද? වේග පන්දු යවන පුහුණුකරුවන් කියලා එකතු වෙන අය දකිනවද?

එශාන් මාලිංග වගේ ක්‍රීඩකයෝ කියන්නේ වයිට් බෝල් ෆෝමැට් එකේ දිගු කාලීන ආයෝජන. ඔහුගේ වයස තාම අවුරුදු 25 යි. ශ්‍රී ලංකාවට වේග පන්දු යවන්නන් නෑ කියන්නේ කවුද? ශ්‍රී ලංකාවට වේග පන්දු යවන්නන් ඉන්නවා.

ප්‍රශ්නය තියෙන්නේ ශ්‍රී ලංකාව ඔවුන්ව කලමණාකරණය කරන්නේ නෑ. ඔවුන්ට අවශ්‍ය කන්ෆිඩන්ස් එක දෙන්නේ නෑ. එහෙම නැතුව ක්‍රීඩකයෙක්ව ජාත්‍යන්තරයේ වැඩ්ඩෙක් කරන්න බෑ. දක්ෂතාවය කලමණාකරණය කරන්න ඉගැන්විය යුතුයි.

රත්නපුරෙන් ආපු කොල්ලෙක්ව සන්රයිසස් හයිද්‍රාබාද් ට තමන්ට අවශ්‍ය විදිහට අවශ්‍ය තැනට භාවිතා කරන්න පුළුවන් නම් ශ්‍රී ලංකාවේ අයට බැරි ඇයි?

එකක් මේ සිස්ටම් එක ඇතුළේ අවශ්‍ය ක්‍රීඩකයාට අවශ්‍ය තැන ලැබෙන්නේ නෑ. අනිත් එක දක්ෂ ක්‍රීඩකයෙක්ට තමන්ගේ ආත්ම විශ්වාසය එක්ක ක්‍රීඩා කරන්න හැකියාවක් නෑ.

ඇත්තටම එශාන් මාලිංග වගේ ක්‍රීඩකයෝ අයි පී එල් වල මීට වඩා වැඩ දාලා කෝටි ගණන් සල්ලි හෙව්වත් මම සතුටුයි. මොකද දවස අවසානයේ ඔහුට තමන්ගේ දක්ෂතාවයට අවශ්‍ය වටිනාකම ලැබිලා. දක්ෂතාවයට සරිලන ආත්ම විශ්වාසයක් ඔහුට ලැබිලා.

හරි ක්‍රීඩකයට හරි තැන ලබා දෙන්නේ නැති තාක්කල් මුත්තයියා මුරලිදරන් කියපු කතාව ආයෙ ආයෙම අපිට කියන්න පුළුවන්. ඒ තමයි "මගේ මතේ ඒක බෑ."

 

Advertiesment