Wednesday 15th of April 2026

English Tamil
Advertiesment


අස්වැසුමට එහා යා යුතුය - සමාජ ආරක්ෂණය රටේ සංවර්ධනයට සම්බන්ධ කළ යුතු වේ


2026-04-11 1511

 

(අඛිල මෙන්ඩිස්)
උප සභාපති
ලේකම් - ලංකා බැංකු ශාඛාව
- ප්‍රගති බැංකු සේවක සංගමය -

 

ශ්‍රී ලංකාව අද නැවතත් දුප්පත්කම ඉහළ යන සමාජ-ආර්ථික යථාර්ථයකට මුහුණ දෙමින් සිටී. ආර්ථික අර්බුදයෙන් පසු ජනගහනයේ සැලකිය යුතු කොටසක් මූලික ජීවන අවශ්‍යතා සපුරා ගැනීමට අසමත් වී ඇති අතර, මෙවන් තත්ත්වයක් තුළ “අස්වැසුම” වැනි සමාජ ආරක්ෂණ වැඩසටහන් රජය විසින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වූ පියවරකි.

කෙසේවුවද, සමාජ ආරක්ෂණය පිළිබඳව අපේ ජාතික සංවාදය තවමත් සීමිතය. අපි තවමත් විමසන්නේ “ප්‍රතිලාභ ලබන්නේ කවුරුන්ද?” යන්නයි. නමුත්, ඇසිය යුතු සැබෑ ප්‍රශ්නය වන්නේ — “මෙම වැඩසටහන් දුප්පත්කම අවසන් කරන්නේද?” යන්නයි.

අස්වැසුම වැනි මුදල් ආධාර වැඩසටහන් කෙටි කාලීනව ජීවන ආරක්ෂාව සපයන බව අවිවාදිතය. ඒවා ආහාර හිඟය අවම කරයි, සමාජ අසමානතා තදබදය අඩු කරයි, සහ අතිශය දුප්පත් පවුල් සඳහා අවම ආරක්ෂාවක් සලසයි. එහෙත්, එය සංවර්ධනයට සෘජු මාර්ගයක් නොවේ.

මුදල් බෙදාහැරීම පමණක් මත පදනම් වූ සමාජ ආධාර පද්ධතියක් දිගුකාලීනව පවත්වාගෙන යාමෙන්, රටක් නිෂ්පාදනශීලී ආර්ථිකයකට යොමු නොවී, ආශ්‍රිත ආර්ථිකයකට (dependency economy) කේන්ද්‍ර වීමේ අවදානමක් පවතී. කාර්යය හා ආදායම් නිර්මාණය නොමැතිව ලබා දෙන සහනාධාර, අවසානයේදී බදු ගෙවන්නන් මත වැඩි බරක් ලෙසත්, රටේ මූල්‍ය ස්ථාවරතාවයට අභියෝගයක් ලෙසත් පත්වේ.

 

එබැවින්, ප්‍රශ්නය සරලය:

 

අපි සමාජ ආරක්ෂණය භාවිතා කරන්නේ දුප්පත්කම කළමනාකරණය කිරීමටද, නැතිනම් එය අවසන් කිරීමටද?

ශ්‍රී ලංකාවට අද අවශ්‍ය වන්නේ නව ප්‍රවේශයකි. සමාජ ආරක්ෂණය “අවසානයක්” ලෙස නොව, “ආරම්භයක්” ලෙස නැවත අර්ථ දක්විය යුතු වේ. “අස්වැසුම” වැනි වැඩසටහන්, ජනතාව සදාකාලිකව සහනාධාර මත රඳා තැබීමට නොව, ඔවුන් ආදායම් උපයන ආර්ථිකයට ඇතුළත් කිරීමට භාවිතා කළ යුතුය.

ඒ සඳහා ප්‍රතිපත්තිමය හැරවුමක් අත්‍යවශ්‍ය වේ.

පළමුව, සමාජ ආධාර නිවැරදිව ඉලක්කගත විය යුතුය. සැබෑ අවශ්‍යතාවය ඇති පිරිස හඳුනා ගැනීම සඳහා දත්ත පදනම් කරගත් පද්ධති ශක්තිමත් කළ යුතු අතර, දේශපාලන බලපෑම් ඉවත් කළ යුතුය.

දෙවැනිව, සමාජ ආධාර කාල සීමා සහිත විය යුතුය. “ජීවිත කාලීන (Lifetime) සහනාධාර” යන සංකල්පයෙන් ඉවත්ව, පවුල්වලට ස්වයංපෝෂිත වීමට අවශ්‍ය සාධාරණ කාලයක් තුළ පමණක් සහය දිය යුතුය.

තෙවැනිව, සහනාධාරය කාර්යය හා සම්බන්ධ කළ යුතුය. රජයේ ව්‍යාපෘති, කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සමඟ රැකියා අවස්ථා නිර්මාණය කරමින් “Workfare” මොඩලයක් හඳුන්වා දිය යුතුය.

සිව්වැනිව, කුඩා ව්‍යාපාර හා ස්වයං රැකියා සඳහා මූල්‍ය සහය, උපකරණ සහ පුහුණු ලබා දීම මඟින්, සහනාධාර ලාභීන් ව්‍යාපාරිකයින් බවට පත් කිරීමේ මාර්ග සකස් කළ යුතුය.

එපමණකින් නොනැවතී, සමාජ ආරක්ෂණය ප්‍රතිඵල මත මැන බැලීමක් සිදු කල යුතුය. මුදල් කොපමණ බෙදා හැරුණාද යන්න නොව, දුප්පත්කම කොපමණ අඩු වුණාද යන්නයි සාර්ථකත්වයේ මිනුම විය යුතුය.

අවසානයේ, සමාජ ආරක්ෂණය යනු රටක මානුෂීය වගකීමකි. නමුත් එය නිවැරදිව සැලසුම් නොකළහොත්, එය සංවර්ධනයට බාධාවක් විය හැක.

එබැවින්, ශ්‍රී ලංකාවට අද අවශ්‍ය වන්නේ

“අස්වැසුම” පවත්වාගෙන යාම නොව,

“අස්වැසුමට එහා ගොස් ජනතාව ආදායම් නිර්මාණය කරන ආර්ථිකයට එක් කිරීමයි.”

එය සිදු කළහොත්, සමාජ ආරක්ෂණය වියදමක් නොව, රටේ අනාගතයට කරන ආයෝජනයක් බවට පත්වනු ඇත.

 

Advertiesment