Wednesday 15th of April 2026

English Tamil
Advertiesment


ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම විපක්ෂ නායක බාල ගල් අගුරු ගැන තවත් ප්‍රශ්න වැලක් අසයි 


2026-04-09 1268

 

ගල් අගුරු විගණනය යටපත් කරන ආණ්ඩුවේ උත්සාහයක් ගැනත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අනාවරණය කරයි 

 

මෙරට විදුලි සැපයුම අඛණ්ඩව සහ ස්ථාවරව සැපයීම සම්බන්ධයෙන් අභියෝගාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති පසුබිමක් තුළ ඊට මූලික හේතුවක් ලෙස සලකනු ලබන්නේ ලක්විජය බලාගාරයට සපයන ගල් අගුරුවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය බවත් මේ සඳහා යොදා ගෙන ඇත්තේ බාල ගල් අගුරු බවට පැහැදිලි නිසා මේ සම්බන්ධයෙන් රජයට ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ බාල ගල් අගුරු සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

Trident Chemphar සමාගම වෙතින් ලැබුණු එක් එක් නැව් තුළින් බලාගාරයට ලැබුණු මෙගවොට් ප්‍රමාණය ඉදිරිපත් කරන ලෙසත් මහජන උපයෝගීතා කොමිෂන් වාර්තාවේ සඳහන් දත්ත සහ අමාත්‍යවරයා සතු දත්ත එක හා සමාන ද කියා ප්‍රශ්න කරන බවත් මීට ඉහත සැපයුම්කරුවන්ගෙන් ලබා ගත් ගල් අගුරු තුළින් බලාගාරය උත්පාදනය කළ උපරිම විදුලි නිෂ්පාදන ධාරිතාව නැව් වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් තවද Trident Chemphar විසින් ලබා දුන් ගල් අගුරුවල නිශ්චිත ගල් අගුරු දහන අනුපාතය එක් එක් නැව් මට්ටමින් ඉදිරිපත්  කරන ලෙසත් ඊට අමතරව මීට පෙර වෙනත් සැපයුම්කරුවකු විසින් සපයන ගල් අගුරුවලට සාපේක්ෂව මෙම අගයන් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Trident Chemphar වෙතින් ලබා දුන් ගල් අගුරුවල දළ තාප ජනන අගයන් සේම මීට පෙර ඉහත සැපයුම් කරන ලද සමාගමේ අගයන් ද ගල් අගුරු දළ තාප ජනන අගයන් සම්බන්ධයෙන් ලියාපදිංචි අවස්ථාවේ නිර්නායක ලිහිල් කිරීමක් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ලබා ගත් නීතිමය හා තාක්ෂණික උපදෙස් ඉදිරිපත් කරන ලෙසත් Trident Chemphar වෙතින් ලබා ගත් ගල් අගුරුවලින් දිනකට නිකුත් කරනු ලබන අලු ප්‍රමාණයත් ඉන් විකුණනු ලබන ප්‍රමාණය හා අලු අංගනයට ඉදිරිපත් කරන ප්‍රමාණයත් ඉදිරිපත් කරන ලෙසත් මෙම දත්ත සමග මීට ඉහත ගල් අගුරු සපයන ලද සමාගමේ එම අලු ප්‍රමාණයත් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

බාල ගල් අගුරු භාවිතය සහ ඉදිරි කාලයේදී විදුලි උත්පාදනය සදහා ලක්විජය බලාගාරය ඇතුළු තවත් බලාගාර කිහිපයක ක්‍රියාකාරීත්වය නඩත්තුව සඳහා නතර කිරිමට සිදුවීම නිසා වැඩිම විදුලි බලයක් භාවිත වන කාලයේ අඛණ්ඩව විදුලිය සැපයීමේ තත්ත්වය ඉදිරිපත් කරන ලෙසත් ලක්විජය බලාගාරය සදහා ගල් අගුරු ප්‍රසම්පාදනයේ දී ලංසු කැදවීමට විධිමත් පරිදි නියමිත දිනට ලියාපදිංචි ගාස්තු ගෙවා ලියාපදිංචිය සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ සැපයුම්කරුවකු සමඟ ගල් අගුරු සැපයීමට ගිවිසුම් ගත වීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ පැහැදිලි කිරිම ද සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ගිවිසුම් ගත වීමෙන් අනතුරුව Trident Chemphar ආයතන විසින් බලාගාරයට සපයා ඇති ගල් අගුරු නැව් ගණනත් සැපයුම් කාලසටහනට අනුව 2026.4.7 දින වන විට පැමිණීමට නියමිත නැව් ප්‍රමාණය හා සැබැවට පැමිණි නැව් ප්‍රමාණය අතර වෙනස සහ ඊට හේතු ඉදිරිපත් කරන ලෙසත් මේ බාල ගල් අගුරු නිසා සිදුව ඇති අලාභය නැව් වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් විදුලිය ජනනය කිරීමේ දී ගල් අගුරු අධි පාරිභෝජනය නිසා ඇතිවිය හැකි යැයි අපේක්ෂිත අලාභය පියවා ගන්නා ආකාරය ද ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

පෙබරවාරි මස අග සිට දකුණු අප්‍රිකානු ගල් අගුරු පමණක් නොරොච්චෝල බලාගාරයේ විදුලි ජනනය සිදු කිරිම නිසා අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි විම නිසා යුගධනවි බලාගාරයෙන් ඩීසල් සහ පර්නස් ඔයිල් මිලදී ගැනීමට මාර්තු 31 දක්වා රු. බි. 10ක් වැය කර ඇති  නිසා මේ සම්බන්ධයෙන් ද කරුණු පැහැදිලි කරන ලෙසද ඉල්ලා සිටියේය.

 
ගල් අගුරු විගණනය යටපත් කරන්න ආණ්ඩුවේ උත්සාහයක් 

 

මේ වන විට පාර්ලිමේන්තුවට ලක්විජය බලාගාරයට 2025-2026 වාරය සඳහා ගල් අගුරු සමාගම්වලින් ගල් අගුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළ ගල් අගුරු ප්‍රසම්පාදනය සම්බන්ධ විශේෂ විගණන වාර්තාව ඉදිරිපත් කර ඇති බවත් මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මන්ත්‍රීවරුන්ට ද පිටපත් ලෙස ලබා දුන් පසු මේ වාර්තාවට තවත් කරුණු කාරණා ඇතුළත් කරමින් මීට පෙර සිදු වූ ගල් අගුරු ප්‍රසම්පාදන ගැන නව කරුණු එක් කිරීම සදාචාර සම්පන්න නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමෙන්තුවේ දී ලක්විජය බලාගාරයේ විගණන වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

නමුත් පෙර ප්‍රසම්පාදන කරුණු ගැන ද විමර්ෂණය කර සාකච්ඡාවකට ලක් කිරිම සුදුසු බවත් වාර්තා වන ආකාරයට මේ විගණන වාර්තාවට අමතරව තවත් කරුණු කරණා ගැන වාර්තාවක් කෝප් එක හරහා ඉදිරිපත් කරන්න සූදානම් බවත් ඒ ඒ කාලවකවානු ගැන සිදුවූ ගණුදෙනු ගැන විධිමත් විමර්ෂණයක් සිදු කර ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් එසේ නොකළහොත් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයට පවා අභියෝගයක් එල්ල වන බවත් ඊට අමතරව මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අයතා බලපෑමට ලක් නොකිරීමේ න්‍යාය පවා මේ නිසා කඩවන බවත් වගවීම සහ සාරධර්ම උල්ලංඝනය කිරීමේ කරුණු මත පෙර කරුණු ගැන විධිමත් පරීක්ෂණයක් කර වෙනමම විගණකාධිපතිවරයාගේ වාර්තාව සමඟ විධිමත්ව ඉදිරිපත් කරන ලෙසත් එය මේ ලක්විජය බලාගාරයේ විගණන වාර්තාවට එක් කිරීම නොකළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

Advertiesment