අපේ රටේ බොහෝ දෙනෙක් ලෝක දේශපාලනය ගැන උනන්දුයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ සිදුවන වෙනස්කම් අපේ රටේ ආර්ථිකයටත් සෘජුවම බලපාන නිසා, මේ ගැන කතා කිරීම කාලෝචිතයි කියලා මම හිතනවා. මෙය විග්‍රහය හුදෙක් ඉරාන යුද්ධය ගැන තව කතාවක් නෙමෙයි. මෙය ලෝක බලවතුන්ගේ උපායමාර්ගික වැරදීම් සහ ඒ හරහා මුළු මහත් ලෝකයටම විඳින්නට සිදුවන ප්‍රතිවිපාක ගැන බය හිතෙන කතාවක්.
ඇමරිකාවේ ගණන් බැලීම් කොතැනද වැරදුණේ? ඉරානය මේ තරම් ශක්තිමත්ව මුහුණ දෙන්නේ කොහොමද? අපි මේ ලිපියෙන් ඒ ගැන දීර්ඝව සාකච්ඡා කරමු.
ඕනෑම යුද්ධයකදී දෙපාර්ශවයම උත්සාහ කරන්නේ තමන් ජයග්‍රහණය කරන බව ලෝකයට පෙන්වීමට. නමුත් පසුගිය දින කිහිපය තුළ මැදපෙරදිගින් ඇසෙන පුවත් දෙස බලන විට පෙනී යන්නේ ඇමරිකාව බලාපොරොත්තු වූ දෙයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් සිදුවෙමින් පවතින බව නේද?
මෙය ඇමරිකාව විසින් සිදුකළ මහා පරිමාණයේ "උපායමාර්ගික වැරදි ගණන් බැලීමකි!" සාමාන්‍යයෙන් ඇමරිකාව වැනි රටක් යුද්ධයකට යන්නේ ඉතාමත් සූක්ෂම සැලසුම් ඇතිව. ඒ ගණන් බැලීම් අනුව මෙවර ඔවුන් සිතුවේ ඉරානයට දැඩි ප්‍රහාරයක් එල්ල කරන විට, ඔවුන් බිය වී පසුබසිනු ඇති බව!
එහෙත් සිදු වූයේ එහි අනෙක් පැත්ත. ඉරානය පසුබසිනවා වෙනුවට, කලාපය පුරා ඇති ඇමරිකානු කඳවුරු වලට සහ ඔවුන්ගේ මිත්‍ර රට වලට පවා අභීතව ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තා.. මෙතැනදී අපට පෙනෙන ප්‍රධානම කරුණ නම්, ඇමරිකාව ඉරානයේ "නොනැමෙන ශක්තිය" නිවැරදිව තක්සේරු කර නොමැති බවයි.
සමහරු අහන ප්‍රශ්නයක් තමයි, ඉතින් ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එන්නට අවස්ථාවක් තිබුණද කියල!
ඔව්, ඇත්තටම ඉතාමත් හොඳ අවස්ථාවක් තිබුණා.. යුධ විශාරදයන් පෙන්වා දෙන ආකාරයට, ඇමරිකාව ප්‍රහාරය ආරම්භ කිරීමට හරියටම දිනකට පෙර, පෙබරවාරී 27 වෙනිදා ඕමාන විදේශ අමාත්‍යවරයා හරහා, ඉතා වැදගත් පණිවිඩයක් ඉරානයෙන් ලැබී තිබුණා!
ඉරානය එම පණිවිඩයෙන් පවසා තිබුණේ ඔවුන් යුරේනියම් 'Reprocessing' ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර කිරීමටත්, ඔවුන් සතු න්‍යෂ්ටික තොග ඉවත් කිරීමටත් සූදානම් බව! මෙය මීට පෙර කිසිම දිනක ඉරානය එකඟ නොවූ මට්ටමේ අති විශාල සහනයක්..
නමුත් ට්‍රම්ප් පරිපාලනය එම රන්මය අවස්ථාව මඟ හැරියා. ඒ වෙනුවට ඔවුන් තෝරා ගත්තේ යුද්ධය.. ඉන් පෙනී යන්නේ ඇමරිකාවට අවශ්‍ය වී තිබුණේ සාකච්ඡාවක් නොව, ඉරාන පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ දැඩි උත්සාහය පමණක් බව!
යුද්ධයකදී තාක්ෂණය සහ අවි ආයුධ වගේම වැදගත් දෙයක් තමයි මිනිසුන්ගේ මානසිකත්වය. ඉරාන නායකයා ඝාතනය කිරීම හරහා ඉරානය ඇතුළත සහ මුළු මහත් ෂියා මුස්ලිම් ලෝකය පුරා දැන් අති විශාල පිබිදීමක් ඇති වී තිබෙනවා.
ඉරාන නායකයා ආරක්ෂිත බංකරයකට නොගොස්, තමන් සිටින ස්ථානය ලෝකයටම පෙනෙන්නට හැරියේ "දිවි පිදූවෙකු" වීමේ අරමුණින් විය හැකි බවට ඔවුන්ගේ විග්‍රහයක් තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වූයේ ඉරාන රජයට එරෙහිව සිටි සාමාන්‍ය ජනතාව පවා, විදේශීය ආක්‍රමණ හමුවේ තම රට වෙනුවෙන් එකට අත්වැල් බැඳගැනීම!
ඇමරිකාව සිතුවේ නායකත්වය විනාශ කළ විට ජනතාව කැරලි ගසනු ඇති බව. නමුත් ඇත්ත වශයෙන්ම සිදු වූයේ ඉරාන ජනතාව තම නායකත්වය වටා වඩාත් ශක්තිමත්ව රොක් වීම. අපේ රටේ වගේම ලෝකයේ බොහෝ දෙනෙක් සිතන්නේ, ඇමරිකාවට ඕනෑම කාලයක් යුද්ධයක් පවත්වා ගෙන යාමට සම්පත් තිබෙන බව. නමුත් සත්‍යය එය නොවෙයි.
පසුගිය වසර හතර පුරාම ඇමරිකාව තම ආයුධ ගබඩා වලින් විශාල ප්‍රමාණයක් යුක්රේනයට ලබා දුන්නා. ඇමරිකාව ආයුධ නිපදවන වේගයට වඩා වේගයෙන් ඒවා යුද්ධ වලදී වැය වෙමින් පවතිනවා.. ඉරානය එල්ල කරන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වැළැක්වීමට භාවිතා කරන 'පේට්‍රියට්' වැනි මිසයිල ඉතා මිල අධිකයි වගේම ඒවා සීමිතයි.
ඉරානය සතුව දස දහස් ගණනින් ලාභදායී ඩ්‍රෝන යානා තිබෙනවා. ඔවුන් මේවා දින ගණනාවක් තිස්සේ දිගින් දිගටම එල්ල කළහොත්, ඇමරිකාවට තම ආරක්ෂක මිසයිල අවසන් වීමේ අවදානමකට මුහුණ දීමට සිදු වෙනවා. මෙය ඇමරිකාවට ඉතාමත් අවාසිදායක තත්ත්වයක්!
ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා ලෝකයේ ඕනෑම තැනක බලය පතුරුවන්නට සමත් වුවත්, පටු මුහුදු තීරයන් සහිත මැදපෙරදිග කලාපයේදී ඒවා ඉරාන මිසයිල වලට ලෙහෙසියෙන් ඉලක්ක විය හැකියි. හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හරහා ලෝක තෙල් වෙළඳාමට එල්ල වන බලපෑම සුළුපටු නැහැ.
දැනටමත් තෙල් නැව් කිහිපයකට ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙනවා.. මෙය සෘජුවම ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමට හේතු වන අතර, අපේ රට වැනි රට වලට එහි බලපෑම ඉතා තදින් දැනෙනු ඇත! එසේම ඇමරිකානු ජනතාව තවදුරටත් තමන්ගේ දූ දරුවන් විදේශීය යුද්ධ වලදී මියයනවා දකින්නට කැමති නැහැ. විශේෂයෙන්ම "පොළොව මත හමුදා සේනාංක" නොමැතිව ගුවනින් පමණක් පහර දී යුද්ධයක් ජයග්‍රහණය කළ නොහැකි බව යුධ විශාරදයන් අවධාරණය කරනවා..
ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ට්‍රම්ප් දැන් සාමය ගැන කතා කළත්, ඉරානය පවසන්නේ දැන් ඒ සඳහා ප්‍රමාද වැඩි බව. ඔවුන් දැන් උත්සාහ කරන්නේ ඇමරිකාවට සහ ඔවුන්ගේ කලාපීය මිත්‍රයන්ට ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන් හා සෞදි අරාබිය වැනි රට වලට වැනි උපරිම වේදනාවක් ලබාදීමට! ඒ නිසා අපේ රටේ විදේශගත ප්‍රජාව මේ කරුණු ගැන තමන්ගේම කියැවීමක් කළ යුතුයි.
කෙටියෙන්ම කිව්වොත් ඇමරිකාව දැන් පසුවන්නේ ඉතාමත් අසීරු තැනක. ඔවුන්ට මේ යුද්ධය දිගින් දිගටම කරගෙන යාමට තරම් ප්‍රමාණවත් ආයුධ සහ ජනතා ප්‍රසාදයක් නොමැති අතර.. අතරමග නතර කිරීම ඔවුන්ගේ ලෝක බලවතා යන ප්‍රතිරූපයට හානියක්.
ඕනෑම යුද්ධයක ජයග්‍රහණය තීරණය වන්නේ "සම්පත් කළමනාකරණය" මත. මම කලින් කී ලෙස ඇමරිකාව සතු Patriot (MIM-104) වැනි මිසයිල පද්ධති ලොව දියුණුම තාක්ෂණයෙන් යුක්ත වුවත්, ඒවාට මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතා අඩු පිරිවැයක් සහිත ඉරාන උපක්‍රම වලට.
ඉරානය භාවිතා කරන Shahed-136 වැනි 'මරාගෙන මැරෙන' ඩ්‍රෝන යානයක පිරිවැය ඩොලර් 20,000 කට ආසන්නයි. නමුත් එය විනාශ කිරීමට ඇමරිකාව භාවිතා කරන එක් මිසයිලයක මිල ඩොලර් මිලියන 2 කට වඩා වැඩියි.
ඉරානය එකවර ඩ්‍රෝන සහ මිසයිල 300-400 ක් පමණ ගුවන්ගත කරන විට, ඇමරිකානු රේඩාර් පද්ධති වලට සහ පරිගණක ඇල්ගොරිතම වලට ඒ සියල්ල හඳුනාගෙන පිළිතුරු දීමට ඇති හැකියාව සීමිතයි. මෙය විද්‍යාවේදී හදුන්වන්නේ "The Swarm Effect" ලෙස!
සරලව කිවහොත්, ඇමරිකාවේ මිල අධික පේට්‍රියට් මිසයිල ඉවර වන තුරු, ඉරානයට ඔවුන්ගේ ලාභදායී ඩ්‍රෝන එල්ල කළ හැකියි. අවසානයේදී, ආරක්ෂක වැට බිඳුණු පසු ඉරාන මිසයිල ඉලක්ක වෙත ළඟා වේ.
ඇමරිකාව සතු සුපිරි ගුවන් බලය මගින් ඕනෑම රටක මතුපිට ඇති ඉලක්ක විනාශ කළ හැකි වුවත්, ඉරානය මේ සඳහා සූදානම් වී ඇත්තේ දශක ගණනාවක සිටයි. ඉරානය තම මිසයිල නිෂ්පාදනාගාර සහ ගබඩා පද්ධති පිහිටුවා ඇත්තේ මීටර් 500ක් දක්වා ගැඹුරු ඝන පාෂාණමය කඳු පතුළේ. මෙය භූ-තාක්ෂණික ඉංජිනේරු විද්‍යාවේ උච්චතම අවස්ථාවක්.
සාමාන්‍ය බෝම්බ වලට මෙම ස්ථාන කරා කිසිසේත් ළඟා විය නොහැක. මේවා විනාශ කිරීමට නම් 'Bunker Buster' බෝම්බ දහස් ගණනක් අවශ්‍ය වන අතර, ඉරානයේ ඇති භූ විෂමතාවය අනුව ගොඩබිම් හමුදාවක් ඇතුළු කිරීම යනු ඇමරිකාවට සියදිවි නසාගැනීමක් වැනි ක්‍රියාවක්.
අනෙක යුද්ධයක් පවත්වා ගෙන යාමට අවශ්‍ය ඉන්ධන සහ පතොරම් සැපයීමත් අභියෝගයක්. ඇමරිකානු ගුවන් හමුදාවේ C-17 Globemaster සහ C-5 Galaxy වැනි දැවැන්ත ප්‍රවාහන යානා මගින්, ඉන්ධන සහ අවි ප්‍රවාහනය කිරීමේදී "සැපයුම් දාමයේ දුර" ඉතා වැඩියි. ඒත් ඉරානයට එහෙම ප්‍රශ්නයක් නෑ..
ඔවුන්ට තම මව්බිම තුළ සිට සැපයුම් ලබා ගැනීම පහසු වුවත්, ඇමරිකාවට කිලෝමීටර් දහස් ගණනක සිට මේවා ගෙන ඒමට සිදුවෙනවා.. පේට්‍රියට් මිසයිල වැනි උසස් තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය "දුර්ලභ මූලද්‍රව්‍ය" නැත්නම් 'Rare Earth Elements' හිඟවීම නිසා, යුද්ධය දිග්ගැස්සෙන විට ඇමරිකාවේ ආයුධ නිෂ්පාදන වේගය අඩාල වීම ඉතා සාමාන්‍යයයි.
ඊශ්‍රායලයේ 'Iron Dome' සහ 'Arrow' පද්ධති ලොව දියුණුම ආරක්ෂක පද්ධති වුවත් ඒවායේ "නැවත පිරවීමේ වේගය" සහ "සංවේදක" වලට දැඩි සීමාවන් පවතී. ඉරානය විසින් අධිවේගී "හයිපර්සොනික්" මිසයිල භාවිතා කළහොත්, ශබ්දයේ වේගය මෙන් කිහිප ගුණයක් වේගයෙන් එන එම මිසයිල හඳුනා ගැනීමට සහ විනාශ කිරීමට වත්මන් තාක්ෂණයට ඇත්තේ ඉතා කෙටි කාලයක්, කොටින්ම මිලි තත්පර ගණනක්!
ඒවගේම කියන්න ඕනී, අද සිදුවූ මැදපෙරදිග තෙල් පිරිපහදු සහ පර්යන්ත විනාශ වීම හුදෙක් ආර්ථික ප්‍රශ්නයක් පමණක්ම නොවේ. එය අති දැවැන්ත පාරිසරික විනාශයක්. සාගරයට තෙල් කාන්දු වීම සහ වායුගෝලයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය නිසා, ගෝලීය දේශගුණික විපර්යාස කෙරෙහි ද මෙහි බලපෑම එල්ල වෙනවා.
ඇමරිකාව මුලදී මෙම යුද්ධය "ඉතා පහසු ජයග්‍රහණයක්" ලෙස සිතුවද, ඉරානය සතු භෞතික සම්පත් සහ ඔවුන්ගේ තාක්ෂණික උපක්‍රම හමුවේ එය දීර්ඝකාලීන " යුද්ධයක්" බවට පත්වන බව දැන් දැන් ක්‍රමයෙන් පෙනෙන්නට තිබෙනවා.
ලෝක සිතියම දෙස බලන අපට පෙනෙන්නේ රටවල් දෙකක් අතර ගැටුමක් වුවත්, මෙවර මැදපෙරදිගින් ඇසෙන්නේ දශක ගණනාවක ලෝක බල දේශපාලනයේ මූලධර්ම වෙනස් වන හඬ. මෙය හුදෙක් ප්‍රහාරයක් සහ ප්‍රති-ප්‍රහාරයක් නොව, "යුධ විද්‍යාවේ සහ බලශක්ති දේශපාලනයේ" නව පරිච්ඡේදයක ලියැවීමක් වගෙයි.
ලෝකයේ දිනක තෙල් අවශ්‍යතාවයෙන් 20% කට වඩා ප්‍රවාහනය වන්නේ පටු හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා.. එය වසා දැමීම හෝ එහි යන එන නෞකා වලට පහර දීම යනු ලෝක ආර්ථිකයේ "බ්‍රේක් එක" තද කිරීමයි. ඉරානය විසින් තෙල් නැව් වලට ප්‍රහාර එල්ල කිරීම හුදෙක් බිය වැද්දීමක් නොව, ඇමරිකාවේ මිත්‍ර රටවල විශේෂයෙන්ම යුරෝපයේ සහ ආසියාවේ ආර්ථිකය අඩපණ කර, එම රටවල් ලවාම ඇමරිකාවට යුද්ධය නැවැත්වීමට බලපෑම් කිරීමේ අති ප්‍රභල උපායමාර්ගයක්. මෙය "Energy Geopolitics" හි ඉතා ප්‍රබල අවියක්!
වැදගත්ම කරුණක් වන්නේ මැදපෙරදිග වැසියන්ගේ, විශේෂයෙන්ම ෂියා මුස්ලිම්වරුන්ගේ "Martyrdom Culture" හෙවත් දිවි පිදීමේ සංස්කෘතිය පිළිබඳව ඇමරිකාවට ඇති නොදැනුවත්කම. ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම හරහා ඉරාන වැසියන් බිය වනු ඇතැයි ඇමරිකාව සිතුවත්, සිදුවූයේ එහි අනෙක් පැත්ත. එමගින් නිර්මාණය වූ "දිවි පිදූ වීරයා" වටා මුළු කලාපයම රොක් විය.
දැන් ප්‍රහාර එල්ල කරමින් "අපි ඉරාන ජනතාවට ආදරෙයි" කීම, ලිබියාවේ හෝ ඇෆ්ගනිස්ථානයේ මෙන් මෙවර ඵල නොදරන බව යුධ විශාරදයන් අවධාරණය කරයි. මේ සංස්කෘතික තත්ත්වය අපිට තේරුම් ගැනීම ලේසීයි, ප්‍රශ්නයක් එනතුරු ජනතාව එකිනෙකා හා වාද කරමින් සිටියත් "අභියෝගය" ආ පසු එකා මෙන් එකතු වෙනවා. අද ඉරානයේ වෙන්නේත් මේ දෙය.
යුක්රේන යුද්ධය සඳහා ඇමරිකාව සතු ආයුධ තොග විශාල වශයෙන් වැය වීම බොහෝ දෙනා තවමත් නොදකින කරුණක්. ඇමරිකානු ආරක්ෂක අංශ පවසන පරිදි ඔවුන්ට ඉහළ තීව්‍රතාවයකින් යුත් යුද්ධයක් පවත්වා ගෙන යා හැක්කේ සති 2-3ක් පමණි. ඉන්පසු ඔවුන්ගේ පතොරම් සහ මිසයිල තොග නිෂ්පාදනය කරන වේගයට වඩා වැය වන වේගය වැඩි වේ. ඉරානය වසර 40ක් තිස්සේ සම්බාධක මැද තම දේශීය ආයුධ කර්මාන්තය දියුණු කර ඇත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඇමරිකාව සති 3 කට වඩා වැඩි කාලයක් මේ යුද්ධයේ රඳවා තබා ගනිමින් ඔවුන්ව "හෙම්බත්" කිරීමටයි.
මැදපෙරදිග මේ සිදුවන දේවල් දෙස බලන විට අපට පැහැදිලි වන කරුණු කිහිපයක් තිබෙනවා.. ඒකක් තමයි බලය පෙන්වා පමණක් ඕනෑම රටක් මෙල්ල කළ නොහැකි බව. එසේම සංස්කෘතික සහ ආගමික පසුබිම අවබෝධ කර නොගෙන ගන්නා තීරණ සැමවිටම වැරදිය හැකි බව. මොකද අවි ආයුධ වලට වඩා මිනිසුන්ගේ නොබිඳෙන අධිෂ්ඨානය යුධ පිටියේදී ඉතා තීරණාත්මක විය හැකියි.
අවසාන වශයෙන්...ලෝකය දැන් ගමන් කරන්නේ කොතැනටද? ඇමරිකාව සිතුවේ මෙය දින කිහිපයකින් අවසන් කළ හැකි 'වැඩක්' ලෙස වුවත්, ඔවුන් දැන් පැටලී සිටින්නේ ගැලවිය නොහැකි උගුලකටයි. ඉරානයට ලබා දුන් සාම සාකච්ඡා අවස්ථාව මඟ හැරීම ට්‍රම්ප් පරිපාලනය සිදුකළ බරපතලම උපායමාර්ගික වැරැද්ද විය හැකියි.
මෙම ගැටුම දිගින් දිගටම ඇදී ගියහොත් ලෝක තෙල් මිල ඉහළ යාම, සැපයුම් දාම බිඳවැටීම සහ නව ලෝක යුද්ධයක සේයාවන් මතු වීම වැළැක්විය නොහැක! අප තේරුම් ගත යුත්තේ කුමක්ද? තාක්ෂණය කොතරම් දියුණු වුවත්, යුද්ධයක් යනු සම්පත් කළමනාකරණය සහ භෞතික විද්‍යාත්මක සීමාවන් මත තීරණය වන්නකි. ඇමරිකාව සතු ගුවන් බලය ප්‍රබල වුවද, ඉරානය සතු භූගත ශක්තිය සහ අසමමිතික යුධ උපක්‍රම හමුවේ, ජයග්‍රහණය යනු ලෙහෙසි පහසු දෙයක් නොවේ.
ඉතින් මේ කරුණු ගැන ඔබ හිතන්නේ මොකක්ද? ඇමරිකාව ඉරානය සමඟ ගැටුමකට යාම ඔවුන්ගේ ලෝක ආධිපත්‍යය බිඳවැටීමේ ආරම්භයද? නැතිනම් මෙය තාවකාලික පසුබෑමක් පමණක්ද? මැදපෙරදිග මේ යුද්ධය නිසා අපේ රටේ ආර්ථිකයට මොන වගේ බලපෑමක් ඇති වෙයිද? ඉදිරි තොරතුරු අනුව තවත් විශ්ලේෂණයකින් හමුවෙමු!
Lanka Newsweek © 2026