

දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් පීඩාවිඳින පවුල් සහ එවැනි පවුල්වල පාසල් යන දූ දරුවන්ටත්, අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පසුගියදා බරපතළ හානි සිදුවූ පවුල් වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය සහ පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ප්‍රගති බැංකු සේවක සංගමය විසින් 2026 ජනවාරි 31 දින මාවනැල්ල බෙලිගම්මන විහාරස්ථානයේදී සංවිධානය කරනු ලැබීය.
ප්‍රගති බැංකු සේවක සංගමය හුදු වෘත්තීය සමිතියක් ලෙස පමණක් සීමා නොව, සමාජය වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමේ අරමුණින් නිරන්තරයෙන් සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බව එහි නියෝජිතයින් පෙන්වා දුන්හ. බැංකු සේවකයන් ලෙස සමාජයට ඉටු කළ යුතු අමතර වගකීමක් මෙවැනි වැඩසටහන් හරහා ඉටු කළ හැකි බව සංගමයේ අදහස වන අතර, එවැනි වැඩසටහන් ගණනාවක් පසුගිය කාලය පුරාම වාර්ෂිකව හා නිරන්තරයෙන් ක්‍රියාත්මක කර ඇති බවද සඳහන් කෙරිණි.
මෙවර සබරගමු පළාතේ විදුහල්පතිවරුන්ගේ සහයෝගය මත එම පළාතේ තෝරාගත් පාසල් කිහිපයක අඩු ආදායම්ලාභී පවුල්වල දූ දරුවන් 150 දෙනෙකු සඳහා පාසල් පාවහන්, පොත් පත් ඇතුළු රුපියල් 7,000/- කට ආසන්න වටිනාකමකින් යුත් පාසල් උපකරණ ප්‍රදානය කරනු ලැබීය.
එසේම, එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මාර්ගයෙන් හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් 250ක් සඳහා එක් පවුලකට රුපියල් 7,500/- කට ආසන්න වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමද මෙම වැඩසටහනේදී සිදු කරන ලදී.
මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා ප්‍රගති බැංකු සේවක සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ මහතා, ප්‍රධාන ලේකම් ඩී.කේ. බණ්ඩාර මහතා, භාණ්ඩාගාරික ප්‍රියන්ත වීරසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිශාන්ත ජයසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ උප ලේකම් කැලුම් ලියනගේ මහතා, උප සභාපති අකිල මෙන්ඩිස් මහතා ඇතුළු රාජ්‍ය බැංකු නියෝජනය කරමින් සංගමයේ නිලධාරී මණ්ඩලය සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.


























Lanka Newsweek © 2026