Wednesday 22nd of April 2026

English Tamil
Advertiesment


ජෝන් ඔයාට WWE එක හරියන්නේ නෑ - ඔයා ඉක්මනට වෙන ජොබ් එකක් හොයාගන්න


2025-12-14 14868

 

WWE එකට ජොයින් වෙලා අඩ වසරකට ආසන්න කාලයක් ගත වෙද්දී ජෝන් සීනා කියන තරුණයට අහන්න ලැබුණ පණිවුඩය තමයි ඒක. WWE කියන්නේ ක්‍රීඩාවක් විදිහට පෙන්වන ක්‍රීඩාවක් නොවන නාට්‍යයක් වගේ දෙයක්. සියල්ලම වෙන්නෙ තිර පිටපතකට අනුව යමින්. එතකොට එතනදී අනිවාර්යයෙන්ම මිනිස්සුන්ගේ ආකර්ෂණය ඕනි වෙනවා. එහෙම ආකර්ෂණයක් නැත්තන් තවදුරටත් WWE එකට ඒ පුද්ගලයගෙන් වැඩක් නෑ.

හරියටම ෆිල්ම්ස් වල ටෙලි නාට්‍ය වල රඟපාන්න යන අය වගේ. ආකර්ෂණීය හැකියාවක්, පෙනුමක් අඩුම ගානේ වෙනස් දෙයක් කරගන්න බැරි නම් එතන පැවැත්මක් නෑ.

ජෝන් සීනා මුලින්ම WWE එකට ජොයින් වෙලා මාස 6 කට ආසන්න කාලයක් ගියත් කිසිම Progress එකක් තිබිලා නෑ. මේ හින්දම 2002 දෙසැම්බර් වලදී ජෝන් සීනා ට WWE එකෙන් අයින් වෙන්න කියලා කලින්ම නිවේදනය කරලා තිබිලා තියෙන්නේ. තමන් ව WWE එකෙන් අයින් කරනවා කියලා දැනගත්ත නිසා ජෝන් සීනාත් වෙන ජොබ් එකක් හොයාගන්න හිත හදාගෙන තමයි ඉඳලා තියෙන්නේ. මොකද දෙසැම්බර් වෙද්දී තමන්ට ආයෙම WWE එකේ පැත්තකවත් යන්න වෙන්නේ නෑ කියලා ඔහු දන්නවා.

ඔය කාලේ WWE එකේ සෙට් එක තම තමන්ගේ ඉවෙන්ට්ස් වලට ගිහින් තියෙන්නෙ බස් එකක. ඒ කියන්නේ මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙන තැනකට හැමෝම එක බස් එකක තමයි යන්නේ. ඔහොම යන එක දවසක බස් එකේ පිටිපස්සට වෙලා රේ මිස්ටීරියෝ ඇතුළු පිරිසක් රැප් කියලා තියෙනවා. සීනාත් Freestyle කියන්න ආස නිසා එතනට ගිහින් රැප් කරලා. මේක බලානගෙන ඉඳලා තියෙනවා ස්ටෙෆනී. ස්ටෙෆනී සීනා එක දිගට වචන කියන විදිහ දැකලා පුදුම වෙලා අහලා තියෙනවා මේ විදිහට WWE එකෙත් කරන්න පුළුවන්ද කියලා.

ජෝන් සීනා ඒ වෙලාවේ එකෙන්ම ඒකට කැමති වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි ජෝන් සීනා රැප් ගායකයෙක් විදිහට ලොකු මාල එහෙම දාගෙන WWE රින්ග් එකට එන්න පටන් ගන්නේ. ඔහුගේ වචන සහ හැකියාව නිසා සීනා සීඝ්‍රයෙන් මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න පටන් ගත්තා.

ජෝන් සීනා ඊට පස්සේ ලෝකය පුරා උන්මාදයක් වෙන්න පටන් ගත්තා. මුළු ලෝකෙම ජනප්‍රිය වෙන්න පටන් ගන්නේ ඉතිහාසයේ කිසිම ප්‍රෝ ව්‍රෙස්ලර් කෙනෙක් ජනප්‍රිය නොවුන තරම් ඉක්මනින්. නිකම් මං කියනවට හිතලා බලන්න. මේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවක් ගැන කිසිම දෙයක් නොදන්න මිනිස්සු පවා ජෝන් සීනා කිව්වම දන්නවා. ආච්චිලා සීයලා පවා ජෝන් සීනා කිව්වම දන්නවා. ඉස්සර අපේ ගෙවල් වල DVD Players වල ජෝන් සීනාව ප්ලේ වෙලා නැත්තන් ඒ ගෙදරක තිබුණ DVD Player එකෙන් වැඩකුත් නෑ. ඒ තරම් ජෝන් සීනා උන්මාදයක් මෙහේ තිබ්බා. ජෝන් සීනාව ඇතුළත් කරපු පෝස්ටර්ස්, ඩේ කාඩ්ස් එකී නොකී සිය ගණනක් දේවල් තිබුණා. පාසල් යන වයසේ ළමයි පවා මේ දේවල් එකතු කළා.

අන්තිමට ජෝන් සීනා WWE එකෙන් ගොඩගියාටත් වඩා WWE එක ජෝන් සීනා නිසා ගොඩගියා. ඔහුගෙන් නිර්මාණය වුණ ප්‍රතිරූපය, ඔහු ළමයින්ට වීරයෙක් වුණා. සීනා මිලියන් ගණනින් මුදල් හම්බ කළා. WWE එක බිලියන ගණනින් මුදල් හම්බ කළා.

ජෝන් සීනා කියන චරිතය වටා සත්‍ය වශයෙන්ම තිබුණ නිහතමානී ස්භාවයත් මේ තත්ත්වයට එන්න ලොකු පිටුවහලක් වෙන්න ඇති. තමන් නිසා කොච්චර WWE එක ගොඩ ගියත් අදටත් සීනා කියන්නේ WWE නැත්තන් ජෝන් සීනා කියලා කෙනෙක් නෑ ඒ නිසා තමන් WWE එකට සෑහෙන ස්තූති කරනවා කියලා.

අද ඒ Pro Wrestling වල මහා පුරාවෘත්තය තමන්ගේ දිවියේ අවසන් තරගයට ක්‍රීඩා කළා. ජෝන් සීනාගේ WWE නික්ම යාම කියන්නේ ඉතිහාසගත වන මොහොතක්.

2002 දෙසැම්බර් වල අයින් කරන්න හිටපු සීනා තවත් අවුරුදු 23 ක් යනකන් WWE Ring එකේ රැඳුණා. අන්තිමට ඔහු WWE Ring එකට සමු දෙන්නේ 2025 දෙසැම්බරයේ. WWE කියන්නේ ස්ක්‍රිප්ට් එකක්, ක්‍රීඩාවක් වගේ පෙන්නුවට සත්‍ය වශයෙන්ම ක්‍රීඩාවක් නෙමෙයි. ඒත් ජෝන් සීනා තමන්ගේ නම ලෝකේ වටේම අරගෙන ගිය විදිහ නම් ඉතින් අගය කළ යුතුම දස්කමක්.

අදින් පස්සේ අපේ ළමා කාලය ලස්සන කරපු 2000 මුල් දශකයකටත් වැඩි කාලයක් මිනිස්සුන්ගේ හිත් වල රැඳුන ජෝන් සීනා WWE Ring එකේ කන්ටෙන්ඩර් කෙනෙක් විදිහට දකින්න ලැබෙන්නේ නෑ.

 සමේ පිළිකාවකින් පවා පීඩා විඳපු සීනා ඒ සියල්ලෙන්ම ජයග්‍රහණය කළා. ඔහු ලෝකයක් ජයග්‍රහණය කරපු අද්විතීය මනුස්සයෙක්.මෙතනින් පස්සේ ජෝන් සීනා සිනමාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න නියමිතයි. ඔහු ඉදිරියේදී අපිට වැඩි වශයෙන් චිත්‍රපට වල දකින්නට ලැබේවි.

දශක දෙකකට වැඩි කාලයක් WWE Ring එකෙන් ලෝකයක් ජයගත්ත ජෝන් සීනාට සුබ ගමන්..!

 

- Pro Sports -
Advertiesment