නාමල් හේරත් යනු, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු රියැදුරු බලපත්‍රය ලබා ගෙන තිබුණේ 23 හැවිරිදි වියේදී ය. ඒ හේතුවෙන් ඔහු සතුව ඇත්තේ වර්තමානයේ අප විසින් භාවිත කරනු ලබන නව රියැදුරු බලපත්‍රය නොව පැරණි රියැදුරු බලපත්‍රයයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුව, මිලියන 2කට ආසන්න රියැදුරන් පිරිසක් තවමත් පැරණි රියැදුරු බලපත්‍රය භාවිත කරති. නව රියැදුරු බලපත්‍රයට වලංගු කාලක් තිබුණ ද පැරණි රියැදුරු බලපත්‍රයට වලංගු කාලයක් නොපවතී.
බොහෝ දෙනෙකු එය පදනම් කරගෙන තවමත් පැරණි රියැදුරු බලපත්‍රය භාවිත කරති.
එසේ වුව ද නාමල් පසුගිය දා ගැටලුවකට මුහුණ දී තිබුණේ, පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඔහු ගමන් කළ යතුරු පැදිය නවතා රියැදුරු බලපත්‍රය පරීක්ෂා කළ මොහොතේදී ය.
රියැදුරු බලපත්‍රය ලබා ගත් දා සිට නාමල් කිසි දා මෙවැනි සිදුවීමකට මුහුණ දී නොතිබිණි.
"මම කුලියාපිටිය පන්නල පාරේ යනකොට කුලියාපිටිය ඩිවිෂන් සිටි ට්‍රැෆික් එකේ පොලිස් නිලධාරීන් තුන් දෙනෙක් අත දාලා මාව නැවැත්තුවා. ඊට පස්සේ මගේ රියැදුරු බලපත්‍රය එක ඉල්ලුවා," කුලියාපිටියේ සිට දුරකතනය ඔස්සේ බීබීසී සිංහල සමග සම්බන්ධ වෙමින් ඔහු එදින සිදුවීම සිහිපත් කළේ ය.
පොලිස් නිලධාරීන් මෙවැනි පරීක්ෂා කිරීම් සිදු කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් වූ බැවින් ඔහු නිලධාරීන්ගේ රාජකාරියට සහය වීම සඳහා ඔවුන් වෙත තම රියැදුරු බලපත්‍රය ලබා දුන්නේ ය.
නමුත් ඉන් මද වේලාවකට පසු ඔහු මවිතයට පත් වූයේ එම ස්ථානයේ සිටි එක් පොලිස් නිලධාරියෙකු සිදු කළ ප්‍රකාශයත් සමග ය.
"මේක වලංගු රියැදුරු බලපත්‍රයක් නෙවෙයි, හොර බලපත්‍රයක්," නාමල් පොලිස් නිලධාරීන් දැක්වූ ප්‍රතිචාරය අප වෙත පැවසීය.
"මාත් එක්ක ඒ නිලධාරීන් වාද කළා ඒක හොර බලපත්‍රයක් කියලා. මාව උසාවි දාලා, මාස තුනකට හිරේ දාන්න පුළුවන්. විමල් වීරවංශගේ බිරිඳට වෙච්ච දේ දැක්කා නේද කියලා මට කිව්වා," ඔහු තවදුරටත් සඳහන් කළේ ය.
"මේක මම ගත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විභාගය ලියලා. මේ ඒකෙන් හම්බවුණු බලපත්‍රය මට. මේක හොර බලපත්‍රයක් වෙන්න විදිහක් නැහැ," දශක තුනකට පෙර රියැදුරු බලපත්‍රය ලබා ගත් අකාරය ඔහු සිහිපත් කළේ ය.
නව රියැදුරු බලපත්‍රය ලබා ගැනීම අනිවාර්ය කර නොමැති බැවින් සහ පැරණි බලපත්‍රය වලංගු බව දැන සිටි බැවින් ඔහුට එය අලුත් කිරීමේ අවශ්‍යතාවක් නොවිණි.
යම් වේලාවක් පොලිස් නිලධාරීන් තිදෙනා සහ ඔහු අතර සංවාදය ඉදිරියට ඇදී ගිය ද දඬුවමකට යටත් කිරීමකින් තොරව නාමල්ට නැවත යාමට එම නිලධාරීන් ඉඩ ලබා දී තිබිණි.
එසේ වුව ද නිලධාරීන් පැවසූ පරිදි තමා සතු "වලංගු නොවන" රියැදුරු බලපත්‍රය සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන ඔවුහු දැනුම් දීමක් සිදු කර නොතිබිණි.
"ඒ නිලධාරීන් කිව්වේ නැහැ, එහෙනම් මම මේ බලපත්‍රයට කරන්න ඕන දේ මොකක් ද කියලා. ඒ බලපත්‍රය හොර එකක් නම්, එක්කෝ මාව පොලිසියට අරගෙන යන්න ඕනේ," ඔහු සඳහන් කළේ ය.
සිදුවීම අවසානයේ එම ස්ථානයේ සිටි එක් නිලධාරියෙක් තරමක් "තර්ජනාත්මක ස්වරයෙන්" මෙසේ පැවසීය. "හැබැයි ඊට පස්සේ එක්කෙනෙක්, 'කිව්වා මට ඔයා ආයේ අහුවුණොත් මම ඔයාව ඇරස්ට් කරනවා,' කියලා."
නාමල් පැවසුවේ මෙවැනි සිදුවීම් පුද්ගල මානසිකත්වයට හානි සිදු කරන බව ය.
"මිනිස්සුන්ව තලලා පෙළලා මෙහෙම වැඩ කරන්න බැහැනේ. මිනිස්සුන්ගේ මානසිකත්වය විනාශ කරනවනේ මේ මිනිස්සු. එයාලා කියනවා රජය 'අපිට අත දාන්නේ නැහැ' ලු. රජය අත දාන්නේ නැහැ කියලා පොඩි මිනිහව තලන්න පුළුවන් ද මෙහෙම?

මිලියන 2කට ආසන්න ගණනක් තවමත් පැරණි රියැදුරු බලපත්‍රය භාවිත කරන පසුබිමක නාමල්ට පොලිස් නිලධාරීන් දැක්වූ ප්‍රතිචාරය නීත්‍යනුකූල ද යන්න විමසීමට බීබීසී සිංහල මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සම්බන්ධ කර ගත්තේ ය.
ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, "පරණ එක අවලංගු එකක් තමයි. ඒ වුණාට ඒක අවලංගු කළා කියලා අපිට එයාට කාඩ් එකක් දෙන්න බැහැ නේ. එතකොට එයා නඩු දානවනේ අපිට. ඒ නිසා තාම ඒකෙන් දුවන්න අපි අවසර දීලා තියෙනවා. පොලිසියේ ට්‍රැෆික් ඩීඅයිජීට මම කියලා තියෙනවා," යනුවෙනි.
පැරණි රියැදුරු භාවිත කරන රියැදුරන්ට එරෙහිව නඩු පැවරීමේ බලය ඇත්තේ ද තමාට බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
"එහෙම එකක් නැහැ. ඒක තීන්දු කරන්නේ මමනේ," ඔහු අවධාරණය කළේ ය.
කෙසේ වෙතත්, පැරණි රියැදුරු බලපත්‍රය අලුත් කර ගැනීම සඳහා දැනුම් දීමක් සිදු කර ඇති නමුත් එය අවලංගු කර නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
"අපි නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මේක අලුත් කර ගන්න කියලා. නමුත් අවලංගුයි කියලා නැහැ. මිලියන දෙකක් තියෙනවා. මිලියන දෙකක් දෙන්න බැහැනේ අපිට මේ වෙලාවේ," යැයි ඔහු පැවසුවේ මෙම අවස්ථාවේ පැරණි රියැදුරු බලපත්‍ර වෙනුවට නව බලපත්‍ර ලබා දීමේදී වර්තමානයේ පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ද පැහැදිලි කරමිනි.
නව රියැදුරු බලපත්‍රයක වලංගු කාල සීමාව වසර 8ක් වන නමුත් එය වයස අනුව දීර්ඝ කිරීමේ යෝජනාවක් ද මේ වන සලකා බලමින් සිටින බව කොමසාරිස් ජනරාල්වරයා බීබීසී සිංහල වෙත පැවසීය.
"කාලය දීර්ඝ කිරීමේ අදහසක් තියෙනවා. පළවෙනි එක දුන්නොත් අපි කියමු අවුරුදු 16කින් අලුත් කරන්නේ. 8න් නෙවෙයි. වයස අනුව. සාමාන්‍යයෙන් අපි බලන ලෙඩ එන්නේ යම් වයසකට පස්සේ නේ," ඔහු ඒ පිළිබඳව පැහැදිලි කළේ ය.
නාමල් පත් වුණු අපහසුතාව පිළිබඳව බීබීසී සිංහල, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් වෙත යොමු කර ඔහුගේ අදහස විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ පැවසීය; "එයා වැරදිකාරයෙක් වෙන්නේ නැහැ. එයාට මග පෙන්වීමක් දෙනවා කඩිනමින් ඒක අලුත් කර ගන්න කියලා. ඒ නිසා තමයි ඔය කියන පුද්ගලයාට පොලිස් නිලධාරීන් අවවාද කරලා යන්න දීලා තියෙන්නේ."
කෙසේ වෙතත්, ඉදිරියේදී පැරණි රියැදුරු බලපත්‍රය භාවිතයෙන් ඉවත් වීමට දිනයක් නියම කෙරෙනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
"හැබැයි යම් කිසි දින වකවානුවක් ඒවි ඉදිරියේදී ඒ අහවල් දිනයෙන් පස්සේ පරණ එකෙන් ඉවත් වෙන්න. නමුත් මේ වන විට කරන්නේ අලුත් එකට අවශ්‍ය කටයුතු යොදන එක."
Lanka Newsweek © 2025