Wednesday 22nd of April 2026

English Tamil
Advertiesment


පළිගැනීම් චෝදනා එල්ල නොවන අයුරින් නඩු දමන්නේ කෙසේ ද..? 


2025-09-08 14874

 

නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් කියන්නේ කුමක් ද..?

 

‘මේ නඩු දාන්නේ පළිගන්න’, මේ ප්‍රකාශය කාලයක් පුරා සුලභව ඇසෙන දෙයක් වුවත් වර්තමානය වන විට මෙම ප්‍රකාශය නිතර නිතර ඇසේ. ඊට හේතුව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. එහෙත් පළිගැනීම් චෝදනා එල්ල නොවන අයුරින් නඩු දමන්නේ කෙසේ ද?  යන්න ආණ්ඩුවට මෙන්ම අදාළ චෝදනා විමර්ශනය කරන, ගොනු කරන ආදි සියලු පාර්ශ්වයන්ට අදාළ ය. එසේම පුරවැසියන් ද මේ සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීම වැදගත් ය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය කතිකාව සංවාද මාලාවේ 240 වැනි කතිකාව “පළිගැනීම් චෝදනා එල්ල නොවන අයුරින් නඩු දමන්නේ කෙසේ ද.?” යන තේමාව වෙනුවෙන් වෙන් කළේ මේ වැදගත් ප්‍රශ්නය වෙත නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්ගෙන් අදහස් ලබා ගැනීම අරමුණු කර ගනිමිනි. මෙම කතිකාව සංවාදයට සම්පත්දායකයින් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක, නීතිඥ ඩෙලන් ද සිල්වා සහභාගී වූ අතර මහාචාර්ය රොහාන් සමරජීව විසින් සංවාදය මෙහෙයවනු ලැබුවේ ය. මෙම ලිපිය එම සංවාදය ඇසුරින් සම්පාදනය කර ඇත.

 
දේශපාලන පළිගැනීම් සඳහා පොදු දේපොළ පනත අවියක් කර ගැනීමේ ප්‍රවණතාවක්  
-නීතිඥ ඩෙලන් ද සිල්වා-

 

පළිගැනීම් චෝදනා එල්ල නොවන අයුරින් නඩු දමන්නේ කෙසේ ද? යන්න විමසීමට යාමේ දී අදාළ රටේ දේශපාලන පද්ධතිය සම්බන්ධයෙන් පුරවැසියන්ගේ විශ්වාසය තව දුරටත් තිබේද – නැද්ද? යන්න විමසා බැලීම මුලින්ම කළ යුතු ය. මෙහිදී අවධානය යොමු කළ යුතු දෙවැනි කාරණය වන්නේ නීතිමය යාන්ත්‍රණය ස්වාධීනව, සාධාරණව සහ විනිවිදව ක්‍රියාත්මක වී තිබේද? යන්න ය.

අපට මේ කාරණා විශ්ලේෂණය කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගැනීම උදාහරණයකට ගන්න පුළුවන්. හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ පැහැදිලිව බෙදුණු මතයක් තිබුණා. ඔහු අත්අඩංගුවට ගත්තේ යුක්තිය උදෙසා ද, නැතහොත් යම්කිසි යටි අරමුණක් වෙනුවෙන් ද? යන්න ගැන ජනතාව අතර බෙදුණු අදහසක් තිබුණා. 240 වැනි කතිකාවට ප්‍රවේශයක් ගනිමින් නීතිඥ ඩෙලන් ද සිල්වා සඳහන් කළේ ය.

හිටපු රාජ්‍ය නායකයා අත්අඩංගුවට ගත්තේ යම්කිසි බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන්. මේ පදනම තුළ ඔහු අත්අඩංගුවට ගත්තේ විනිවිදව ද, සාධාරණව ද,  ස්වාධීනව ද යන ප්‍රශ්න  ඇතිවීම සාධාරණ බවයි මම හිතන්නේ. මේ ප්‍රශ්නයට උත්තර හොයන විට හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ දී ස්ථාවර දෙකක් තියෙනවා. එක ස්ථාවරයක් තමයි, මේ අත්අඩංගුවට ගැනීම සිදුවිය යුතු දෙයක් කියන එක. ඒ වගේම මේ දේ සිදු නොවුණ නිසා සතුටු වන පාර්ශ්වයකුත් සිටිනවා. ඒ වගේම තවත් කොටසක් සිටිනවා පොදු දේපොළ පනත යටතේ රාජ්‍ය නායකයෙක් මේ ආකාරයෙන් සිකුරාදා දිනයක හවස් වරුවේ දී අත්අඩංගුවට ගැනීම (ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ වන අතරතුරේ දී) දේශපාලන පළිගැනීමක් කියලා ප්‍රශ්න කරන පාර්ශ්වයක් ද සිටිනවායැයි කී නීතිඥ ඩෙලන් ඕනෑම ආණ්ඩුවක් දේශපාලන අවියක් ලෙස විවිධ අණපනත් භාවිත කරන බව ද කීවේ ය.

 
නිසි ක්‍රියාවලිය

 

මෙහිදී ඩෙලන් පෙන්වා දුන්නේ  නීතිය නිසි ක්‍රියාවලිය තුළ භාවිත කිරීම සියලු පුරවැසියන්ට හිමිවිය යුතු අවස්ථාවක් වුවත් එය නිසි පරිදි භාවිත වේද? යන්න සම්බන්ධ ප්‍රශ්නයක් ජනතාව තුළ තිබෙන බවයි. යුක්තිය අවශ්‍ය පුද්ගලයින්ට අවශ්‍ය වේලාවට ලැබිය යුතු බව පෙන්වා දුන් ඔහු සමහර පුද්ගලයින්ට ඔවුන්ගේ තරාතිරම, දේශපාලන හයිය සහ ඔවුන්ගේ තනතුර ආදි සාධක හේතුවෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට ජනතාව තුළ පවතින සැකය නීතිය සම්බන්ධ ඔවුන්ගේ විශ්වාසය බිඳ වැටීමට හේතුවක් වී ඇති බව ද ඩෙලන් මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

අධිකරණයට ඒමට පෙර  අදාළ පරීක්ෂණ පවත්වන්නේ පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවලින්. ඒ වගේම එම පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩුවක් ගොනු කරනවා. මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනව, සාධාරණව කටයුතු කරනවාද? යන්න සොයා බැලිය යුතුයි  කියා සඳහන් කළ ඩෙලන් නීතිපති දෙපාර්තමේන්තුව ද්විත්ව කාර්යයක් ඉටුකරන බවත් කීවේ ය.

 
ලැදියාවන් අතර ගැටුම

 

නීතිපති දෙපාර්තමේන්තුව පවතින රජයට නීති උපදෙස් ලබා දෙනවා. දෙවැනි කාර්ය වන්නේ යම්කිසි ආකාරයකින් අනීතික දෙයක් සිදුවෙලා තිබෙනවා නම්, අපරාධයක් වෙලා තිබෙනවා නම්, රජය වෙනුවෙන් කටයුතු කරන්නේ, අභිචෝදක වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවයි. මේ ද්විත්ව කාර්යයන් දෙකම කරන අතරතුරේ දී ළබැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය වන අවස්ථා තිබෙනවා. නමුත් මේ ගැටුම තිබෙන්නේ උපදෙස් ලබා දෙන විට රජය වෙනුවෙන් පෙනී සිටීම සහ ආණ්ඩුවක් බලයෙන් පහ වූ විට නව රජය වෙනුවෙන් පසුගිය රජයේ දේශපාලනඥයින්ට හෝ නිලධාරීන්ට එරෙහිව නඩු පවරන විටයි. මේ අනුව පැහැදිලිව ළබැඳියාවන් අතර ගැටුමක් ඇති වෙන්න පුළුවන්යැයි කී ඩෙලන් නීතිපති දෙපාර්තමේන්තුවට පවතින ද්විත්ව කාර්යය හේතුවෙන් ඔවුන්ට සාධාරණව කටයුතු කිරීමේ ගැටලුවක් නිර්මාණය වන බව ද පෙන්වා දුන්නේ ය.

නීතිපති දෙපාර්තමේන්තුව අවසාන වශයෙන් කටයුතු කරන්නේ යම්කිසි පුද්ගලයෙක් හෝ යම්කිසි අමාත්‍යාංශයක හෝ විධායකයේ උපදෙස් මත බව ද ඩෙලන් සඳහන් කළේ ය. මේ තත්ත්වය තුළ නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් නිර්මාණය වෙන්න පුළුවන්. මේකට විසඳුම තමයි නීතිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් ස්වාධීනව කටයුතු කිරීමයි. ලංකාවේ නිසි පරිදි යුක්තිය ඉටුකිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා නම් (මම හිතන්නේ) ස්වාධීනව කටයුතු කළ හැකි නීති ආයතනයක් ස්ථාපිත කළ යුතුයැයි පෙන්වා දුන් ඩෙලන් 2006 දී සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නිමල් ලන්සා අත්අඩංගුවට ගැනීම උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේ ය.

 
ස්වාධීනත්වය ගැන සැකය

 

2006 දී ඒ කියන්නේ අදින් වසර 19කට පමණ පෙර සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පොදු ජනතාව තුළ නීතිය සහ නීතිමය යාන්ත්‍රණය ස්වාධීනව සහ සාධාරණව සහ විනිවිදභාවයෙන් කටයුතු කරනවාද? නැද්ද? කියලා ප්‍රශ්නයක් පැන නැගෙනවා. ජනතාව කල්පනා කරනවා මේ ආයතන ස්වාධීනව කටයුතු කරනවාද? කියලා. මම මෙහිදී අවධාරණය කරන්නේ යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නේ නම් ඒ ක්‍රියාවලිය සෑම අවස්ථාවකදීම ඒකාකාරී විය යුතුයි. ඩෙලන් අවධාරණය කළේ ය. මෙහි දී ඔහු පෙන්වා දුන්නේ මෙරට ජනතාව අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසය තබා තිබෙන බවයි.

නමුත් ප්‍රශ්නයක් තිබෙනවා. පැමිණිල්ලකට අනුව අවුරුදු 19කට පසු අත්අඩංගුවට ගන්න අමාත්‍යවරයෙක් සිටිනවා. පොදු දේපොළ පනත යටතේ සිකුරාදා දිනයක හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට ගන්නවා. මේ වැනි තත්ත්වයක් අද තිබෙන්නේ. මෙවැනි තත්ත්වයක් තුළ මේ තිබෙන නීතිමය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි සැලසුමක් අනුව කියලා ඕනෑම පුද්ගයෙකුට හිතෙන්න පුළුවන්. ඒක සාධාරණ ප්‍රශ්නයක්. වත්මන් පරිසරය නිර්මාණය වෙලා තිබෙන්නේ තෝරාගත් පුද්ගලයින් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරවීමටයි.  මම දකින ආකාරයට මෙහි වැදගත් පුරකක් තමයි නීතිපති දෙපාර්තමේන්තුව. නමුත් ඒ ඒ අවස්ථාවල බලය දරන පාලකයින් පනත් සහ පනත්වල තිබෙන අඩුපාඩු  භාවිත කරලා උපකරණයක් වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවනවා. මේක ද යුක්තිය? මේක ද අපේ රටේ තිබෙන නීතිමය යාන්ත්‍රණය?  නීතිය වෙන – වෙනම ආකාරයෙන් ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළ නීතියේ ආධිපත්‍ය ගැන අපි කතා කරන පදනම කුමක් ද? ඩෙලාන් යළි යළි ප්‍රශ්න කළේ ය.

 
අවිශ්වාසය ඇයි..?

 

මෙහිදී ඩෙලන් ජනාධිපති නීතිඥයෙකු උපුටා දැක්වීමට පියවර ගත්තේ ය. එම උපුටා දැක්වීම අනුව ජනතාව වත්මන් අධිකරණ ක්‍රියාවලිය ප්‍රශ්න කරන බව ද ඔහු පෙන්වා දුන්නේ ය. එතුමා කියනවා මේ නීතිය භාවිතා වන ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුළ අවිශ්වාසයක් තිබෙන බව. සිකුරාදා දවසක අත්අඩංගුවට ගැනීමක් කරන විට ජනතාව තුළ අවිශ්වාසයක් පහළ වෙන බව එතුමා පෙන්වා දෙනවා. මමත් ඒක පිළිගන්නවායැයි කී ඩෙලන් මේ වන විට වර්ධනය වෙමින් පවතින නව ප්‍රවණතාවක් ගැන ද සඳහන් කළේ ය.

දැන් අලුත් ප්‍රවණතාවක් තිබෙනවා. පනත්වල අඩුපාඩු ආදිය භාවිත කරමින් ඇප ලබා දිය නොහැකි චෝදනා ගොනු කිරීමේ ප්‍රවණතාවක් මට නිරීක්ෂණය වී තිබෙනවා. මේකට වැඩියෙන්ම  භාවිතා වන පනතක් ලෙස පොදු දේපොළ පනත මම දකිනවා. මේ පනත මේ ආකාරයෙන් භාවිතා කරන්නේ පොදු දේපොළ පනත යටතේ ඇප ලබා ගැනීම ඉතා අසීරු දෙයක් නිසයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ වුණේ මේ පොදු දේපොළ පනත යටතේ ඇති ප්‍රතිපාදන උපුටා දක්වමින්යැයි නීතිඥ ඩෙලන් ද සිල්වා මහතා පෙන්වා දුන්නේ ය.


 
නීතියේ බලය අවියක් ලෙස භාවිත කිරීමේ වැරැද්ද 
-ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක-

 

ශ්‍රී ලංකාව යනු සහචර රාජ්‍යයකි.  2022න් පසු මේ තත්ත්වය කැපී පෙනෙන ලෙස එළියට පැමිණියේ ය. සහචර රාජ්‍යයක ප්‍රධාන ලක්ෂණ දෙකකි.  එකක් වන්නේ දණ්ඩ මුක්තියයි. වරදක් කර එම වරදට දඬුවම් නොලබා සිටීමේ වරප්‍රසාදයක් ලංකාවේ බලය  සහිත පුද්ගලයෙකුට තිබේ. සහචර රාජ්‍යයක දෙවන ලක්ෂණය වන්නේ නීතියේ බලය අවියක් ලෙස භාවිතා කිරීම ය.

මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා මෙසේ සඳහන් කළේය. විවිධ අණපනත් යොදා ගෙන පුද්ගලයින්ට වරදකාරීත්වය ආරෝපණය කරනවා. මේක කරන්නේ දේශපාලන වුවමනාවන් හෝ වෙනත් පුද්ගලික වුවමනාවන් මත වෙන්නත් පුළුවන්. නමුත් මේ අවස්ථාවේ තිබෙන ප්‍රතිපත්තිමය ප්‍රශ්නය තමයි දණ්ඩ මුක්තිය නොලැබිය යුතුයි කියන පදනම. නීතිය සියලු දෙනාට ක්‍රියාත්මක විය යුතුයි කියන පදනම භාවිතා කරලා නීතිය අවියක් ලෙස භාවිතා කිරීම සිදු වෙනවා. මේ තුළ තමයි අපි Selective Justice කියන සංකල්පය ගැන කතා කරන්නේ.

මේ ගැන අද සමාජ මාධ්‍ය තුළ කතා කරනවා. ආණ්ඩුව මේ වැරදි ගැන කතා කරනවා. මේ වැරදි ගැන නිහඬව ඉන්නවා කියලා චෝදනා කරනවා. ඇත්තටම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයට ඉදිරිපත් කළ චෝදනා අනුසාරයෙන් අපි පුළුල් ලෙස කතා කළ යුතුයි. System Change එකක් කරන්න ආපු ආණ්ඩුවක් ඒක නොසලකා හැරීම ගැන තමයි අපි කතා කළ යුතු වෙන්නේ.  අපි එහෙම කියන්නේ ඇයි? සිද්ධි අධ්‍යයනයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහත්මයගේ සිද්ධිය ගැන කතා කළොත් දණ්ඩ මුක්තියක් නොලැබීමට නම් නීතිය තුළ තෘප්ත කළ යුතු අංග ගණනාවක් තිබෙනවා. එක විධිමත් පොලිස් පරීක්ෂණ, පොලිසිය වෙන්න පුළුවන්, අල්ලස් කොමිසම වෙන්න පුළුවන්, විධිමත් පරීක්ෂණයක් කළා ද? ඒ කොහොමද? මොකද වුණේ? කියන එක සොයා බලන්න පුළුවන්. මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පරීක්ෂණයේ කඩතොළු පෙන්නා දෙන්න පුළුවන්.

දෙවැනි පරීක්ෂණය තමයි විධිමත් පොලිස් පරීක්ෂණයකින් අනතුරුව විධිමත් නීතියක්. ඒ කියන්නේ පවතින නීතියක් මත වරද සංයුක්ති කිරීම කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි අධිකරණයකට එන්නේ. ඒ අධිකරණය විසින් දඬුවම් පැමිණවීම හෝ පරීක්ෂණ සිදුවෙන්නේ. රනිල් වික්‍රමසිංහගේ උදාහරණයත් එක්ක අපට පේන දේ තමයි (නීතියේ බලය කියන සංකල්පය තුළ) පොලිස් පරීක්ෂණය සහ විධිමත් නීතියක් භාවිතා කරලා වරද සංස්ථාපනය කිරීම ගැන ප්‍රශ්නය. ඒ තුළ තමයි නීතිය අවියක් ලෙස භාවිතා කිරීම යන චෝදනාව ඉදිරිපත් වෙන්නේ. මම දන්නේ නැහැ ඒක ඉදිරිපත් වෙන්නේ රජයටද? පොලිසියටද? නීතිපති දෙපාර්තමේන්තුවටද කියලා.

 
ජනාධිපති මුක්තිය

 

මේ සම්බන්ධයෙන් විෂයන් ගණනාවක් ගැන කතා කළ යුතු බව පෙන්වා දුන් ශිරාල් ලක්තිලක, ඒ අතර ජනාධිපති මුක්තිය ප්‍රධාන වන බව ද සඳහන් කළේ ය. ජනාධිපති මුක්තිය පිළිබඳ ප්‍රශ්නය අදාළ වෝටර්ස් ඒජ් නඩුව පවරනු ලැබුවේ ජනාධිපති මුක්තිය පිළිබඳ අවධානය යොමු කිරීමට වඩා භාරය නම් සංකල්පය යටතේ බව ශිරාල් පෙන්වා දුන්නේ ය. හිටපු ජනාධිපතිවරයාට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවට යා යුතුද..? යන්න සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයේ දී තීන්දුවක් ගැනීමේ හැකියාව තිබූ බව ශිරාල් ලක්තිලක  පෙන්වා දුන්නේ ය.

මේ පිළිබඳ බැලූ බැල්මට නඩුවක් තියෙනවා ද කියලා නීතිමය කෝණයෙන් තව දුරටත් සාකච්ඡා කළ යුතුව තිබුණා. ඇයි මම එහෙම කියන්නේ, අපට තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ නීතියේ ව්‍යස්ථානුකූලභාවය සම්බන්ධ ව්‍යාකූලත්වයක්. උදාහරණයක් විදිහට 17 වැනි සංශෝධනයේ සිට 19 වැනි සංශෝධනය දක්වා ජනාධිපතිගේ මුක්තිය ඉවත් තිරීම සම්බන්ධ දැවැන්ත සාකච්ඡාවක් ගිහින් ජනාධිපති මුක්තිය දැඩිව සීමා කළා. ඊට පස්සේ 20 වැනි සංශෝධනයෙන් නැවතත් මුල් තත්ත්වයට ගෙනාවා. 21 වැනි සංශෝධනය එන විට ලංකාවේ ජනාධිපති මුක්තිය සම්බන්ධ බලාත්මක ව්‍යවස්ථාව වුණේ 1978 මුල් ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය. 21න් මේක සංශෝධනය කළා කියලා අපි කියනවා. 

නමුත් ඒ සංශෝධනය වෙලා තියෙන්නේ ඉංග්‍රීසි පිටපතේ පමණයි කියන එක තමයි මගේ මතය. සිංහල පිටපතේ තවමත් අන්තර්ගත වෙන්නේ 1978 ව්‍යවස්ථාවේ ජනාධිපති මුක්තියට අදාළ සිංහල ව්‍යවස්ථාව කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒක ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසානයේ අර්ථ නිරූපණය කළ යුතු දෙයක්. සිංහල පිටපත තමයි නීතියක් හැටියට පිළිගන්නේ. එවැනි පසුබිමක පළමු වැනි කඩුල්ල තමයි රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව මේ පැමිණිල්ල ගොනු කරන්න පුළුවන්ද?  බැරිද කියන එක.

ඊළඟට දෙවැනි ප්‍රශ්නය එනවා. රනිල් වික්‍රමසිංහට තවම චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරලා නැහැ. නමුත් ඒ සමඟ බී පත්‍රයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අනුව අපි දැක්කා සංසරණය වුණ චෝදනාව. ඒ තුළ තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ වංචා කිරීමත් එක්ක පොදු දේපොළ පනතේ වංක ලෙස ව්‍යපරණය කියන වරද කරලා තිබෙනවා කියලා. මෙතනදී අපි නැවතත් නීතියේ බලය සහ අපරාධ නීතියේ දී ඉතා වැදගත් වන සංකල්පයක් තමයි චෝදනාව නිශ්චිත වීම. අපි දන්නවා පොදු දේපොළ පනතේ තිබෙනවා වැරදි වර්ග හයක්. ප්‍රධාන වැරදි හතරයි. පොදු දේපොළ අනර්ථය, සොරකම සහ කොල්ලකෑම යටතේ හිටපු ජනපතිවරයාට චෝදනා ගොනු කරන්න බැහැ. 

වංක ලෙස ව්‍යපරණය කිරීම කියන එකේ ව්‍යාජ ලේඛන සකස් කිරීම සහ ගිනුම් වැරදි ලෙස පෙන්වීම කියන වැරදි යටතේ එකක් තමයි දාන්න වෙන්නේ. නමුත් ඒක අපැහැදිලියි. එය අපැහැදිලි වීම නිසා චෝදනාව නිශ්චිත වෙන්නේ නැහැ. මෙන්න මේ පසුබිම තුළ තමයි අපට සිද්ධිය දිහා බලන්න වෙන්නේයැයි දීර්ඝ පැහැදිලි කිරීමක් කළ ශිරාල් ලක්තිලක මහතා අපරාධ නීතිය යටතේ චෝදනා ගොනු කිරීම හා සම්බන්ධ අපරාධ නීතිය සම්බන්ධ නෛතික පැහැදිලි කිරීමක් කළේ ය.

 
නව දූෂණ විරෝධී පනත

 

නව දූෂණ විරෝධී පනත යටතේ හිටපු ජනාධිපතිවරයාට නඩු පැවරිය හැකි පසුබිම පැහැදිලි කළ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ඒ සම්බන්ධ සිය ස්ථාවරය මෙසේ පැහැදිලි කළේ ය. හිටපු ජනාධිපතිවරයාට නඩු පැවරීම සම්බන්ධයෙන් සොයා බැලීමට නව දූෂණ විරෝධී පනතේ 111 වැනි වගන්තියට යා යුතුයි. 111වැනි වගන්තියේ කියනවා  රාජ්‍ය නිලධාරියෙකුට වරද ආරෝපණය කරන විට රාජ්‍යයට අලාභ කිරීම, තමන්ට අනුන්ට වාසියක් ලබා ගැනීම සඳහා තම ක්‍රියාව මඟින් රාජ්‍යයට අලාභ සිදුවන බව දනිමින්ම එම වාසිය තමන්ට හෝ අනෙකෙකුට යන බව දනිමින් ම රාජ්‍ය බලය භාවිතා කරමින් එසේ බලය නොමැති යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් කිරීම හෝ වෙනත් නිලධාරියෙකුට බලපෑම් කිරීම. මේ තත්ත්වය ගත්තොත් මානසික ධාතුව දෙස බලන විට රනිල් වික්‍රමසිංහ මහාතාගේ පළමු ප්‍රශ්නය ඔහුගේ විනිර්මුක්තිය.  දෙක,  මේ ක්‍රියාව ඔහු විසින් වුවනමනාවෙන් කරන ලද දෙයක් ද..?

අපි අත්දැකීමෙන් දන්නවා ඔය වියදම් නිර්ණය කරන්නේ හිටපු ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම්වරයා නොවෙයි මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සහ මහ කොමසාරිස් කාර්යාලය. එසේ නම් මේ චෝදනාව පළමුව කළ යුත්තේ ලන්ඩන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට. මේ ගිණුම්වල හිමිකාරීත්වය පැහැදිලිව තිබෙන්නේ ඔවුන්ට. මේ හා සම්බන්ධ අදාළ තීරණ ගන්නේ ඔවුන්. නමුත් මේ චෝදනාවේදී ලන්ඩන් තානාපති කාර්යාලය පිළිබඳ කිසිම තොරතුරක් නැහැ. 38 දෙනකුගෙන් ගත් බව කියන සාක්ෂි ලේඛනයේ ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයේ කිසිවෙකුගෙන් ප්‍රශ්න කළ බවට සටහනකුත් නැහැ. එතනින් එහාට ගිය විට මේ ට්‍රාන්ස්සිට් එක පිළිබඳ ප්‍රශ්නය තිබෙනවා.

 
විදේශ ඇමැතිගේ කතා

 

මෙහිදී ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක මහතා විදේශ ඇමැති විජිත හේරත් මහතා කළ ප්‍රකාශයක් ගැන ද සිය ස්ථාවරය පැහැදිලි කළේ මෙසේය. විදේශ ඇමැති විජිත හේරත් කියනවා හිටපු ජනාධිපතිවරයා ගුවන් යානයක් අර ගෙන ලන්ඩන් ගියාලු. හිටපු ජනාධිපතිවරයා එවැනි දෙයක් කළේ නැහැ. ඔහු එක්සත් ජනපද සංචාරය අවසන් වෙලා ලංකාවට එන අතරතුරේ දී ලන්ඩන්වල ට්‍රාන්ස්සිට් එකක් ගත්තා. ජනාධිපතිට එවැනි දෙයක් කරන්න අයිතියක් තිබෙනවාද? ඒක තමයි ප්‍රධාන දේ. ඒ අයිතිය දිනකට සීමා කරන්න පුළුවන් ද?, දින දෙකකට සීමා කරන්න පුළුවන් ද?,  ඔන්නම් දින තුනක් ගන්න බැරි ද?, ඒක රාජ්‍යයේ වියදමක් ද?, නැද්ද?,  කියන ප්‍රශ්නය එනවා.

ඊළඟ ප්‍රශ්නය තමයි හිටපු ජනාධිපතිවරයා ට්‍රාන්ස්සිට් එකක ඉන්න අතරේ පුද්ගලික කාර්යයක නියැලෙන්න බැරි ද? අන්න ඒ නිසා තමයි ජනාධිපති නීතිඥ  උපුල් කුමාරප්පෙරුම කියන්නේ නිල කාර්යය සහ පුද්ගලික කාර්යය  අතර සීමාව අඳුරුයි කියලා. එහෙම නම් ප්‍රොටකෝල් නිලධාරියාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතුයි. ඊළඟට ඇතිවන වැදගත්ම ප්‍රශ්නය තමයි හිටපු ජනාධිපතිවරයා නිල කාර්යයකට ගියාද?  නැද්ද?  කියන එක. ඒ සම්බන්ධයෙන් දැනට අධිකරණය ඉදිරියේ පරීක්ෂණයක් තියෙනවා. අපි දන්න විදිහට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තියෙනවා. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නය මේ ගැන විමසිය යුත්තේ ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයෙන්.  ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා මෙහි ක්‍රියාකාරීත්වය සම්බන්ධ පැහැදිලි කිරීමක් කරමින් පෙන්වා දුන්නේ ය.

මේ සමස්තය දිහා බැලූ විට මේ අපරාධ චෝදනාවේ මානසික ධාතුව ඔප්පු කරන්න හැකියාවක් තිබෙනවාද? කියන ප්‍රශ්නය එනවා. එතකොට තත්ත්වය මේක නම් අපි මුලින් කී ආකාරයට නීතියේ අපරාධ යුක්තිය ඉටු කිරීම සඳහා විධිමත් පොලිස් පරීක්ෂණයක් පැවැත්වීමත් විධිමත් නීතියක් මත වරද සංස්ථාපනය කිරීමත් කියන ප්‍රශ්නය ඉදිරියට එනවා. එවැනි තත්ත්වයක දී තමයි නීතියේ බලය අවියක් ලෙස භාවිතා කිරීම යන ප්‍රතිපත්තිමය වැරැද්ද අපි ඉදිරියට එන්නේ යැයි කී ශිරාල් ලක්තිලක මහතා තමා ද ඇතුළු බොහෝ දෙනෙක් ප්‍රතිපත්තියක් ලෙස දූෂණයට විරුද්ධ බව ද මෙහි දී අවධාරණය කළේ ය.

 
-සටහන- 
 
තුෂාල් විතානගේ
 
-MIDPOINT-
Advertiesment