Sunday 9th of November 2025

English Tamil
Advertiesment


ස්ටාක් සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට්..!


2025-09-03 1390

 

ස්ටාක්ගෙන් ඉගෙන ගන්න!

 

පසු ගිය දිනයේ ක්‍රිකට් ලෝකය මවිත කරන්න සමත් වුණ පුවත බවට පත් වෙන්නේ මිචෙල් ස්ටාක් ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමු දීමේ තීරණයත් එක්ක. අවුරුදු ගානක් සුදු පන්දුවෙන් ඕස්ට්‍රේලියා බර ඇදපු ස්ටාක් ලෝක කුසලානයක් අත ළඟ තියාගෙන විශ්‍රාම යන්නේ ඇයි?

සාමාන්‍යෙන් ලෝක කුසලානයක් අත ළඟ තියෙද්දී ක්‍රීඩක‍යෙක් සමු ගන්නේ ඒ ලෝක කුසලානයත් ක්‍රීඩා කරලා. හැබැයි ස්ටාක් වගේ ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෝ එහෙම නෑ. ස්ටාක් මේ විදිහට එකපාර සමු ගන්නේ ඇයි?

මිචෙල් ස්ටාක් කියන්නේ වැඩිපුර ටෙස්ට් ක්‍රීඩා කරන්න කැමති ක්‍රීඩකයෙක්. ඔහු එක් වතාවක් අයි පී එල් ක්‍රීඩා කිරීමෙනුත් වලකිනවා ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කරන්න අවශ්‍යයි කියන දේ මත. තමන්ගේ බෝලින් ඇක්ෂන් එකේ තියෙන වෙනස් බව නිසා ස්ටාක් ගොඩක් ශාරීරික යෝග්‍යතාවය ගැන හිතනවා.

ස්ටාක් ට ඉතිරි වසර 2 ක කාලයක් තුළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි ස්ටාක් 2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයත් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වනවා. නමුත් ඕස්ට්‍රේලියාව කණ්ඩායමක් විදිහට 2027 වගේ පස්සේ තවත් ප්‍රශ්නයකට මුහුණ දෙනවා.

ඒ තමයි ඕස්ට්‍රේලියාවේ මේ වෙලාවේ ඉන්න වේග පන්දු යවන බලඇණියේ ප්‍රධාන තුන් දෙනා සහ ස්කොට් බෝලන්ඩ් සිව් දෙනාම අවුරුදු 30 පැනපු අය වීම. මේ නිසා ඔවුන්ට වේග පන්දු යවන බලඇණිය නැවත සකස් කිරීමත් කරන්න අවශ්‍ය දෙයක්.

ස්ටාක් මේ දැන් සමු ගැනීමෙන් ඕස්ට්‍රේලියාව පැත්තෙන් සහ ස්ටාක් ගේ පැත්තෙන් වාසි දෙක තුනක් වෙනවා. පළවෙනි වාසිය නම් මිචෙල් ස්ටාක් ට ටෙස්ට් සහ එක්දින තරග වෙනුවෙන් තමන්ගේ සම්පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන්.

වර්තමානයේ එක්දින තරග කණ්ඩායම් ක්‍රීඩා කරන්නෙම නැති තරම්. ඒ නිසා ටෙස්ට් පිටියට වැඩි අවධානයක් දීලා ක්‍රීඩා කිරීමේ හැකියාව ස්ටාක් ට ලැබෙනවා. ඔහුට එළඹෙන අළු බඳුන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරන්න පුළුවන්. ඉදිරි ටෙස්ට් තරගාවලි සියල්ල ක්‍රීඩා කරන්නත් පුළුවන්.

ඕස්ට්‍රේලියාව පැත්තෙන් ගත්තම ඔවුන්ට නව වේග පන්දු යවන්නෙක් ලබන වසරේ පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් සූදානම් කරන්න දැන් ඇති තරම් කාලය තියෙනවා. මේ කාලය ඇතුළත අලුත් වේග පන්දු යවන්නෙක්ව ඔවුන් අත්හදා බලාවි.

මේ සියල්ලම එක්ක මිචෙල් ස්ටාක් ගේ තීරණය මට නම් පේන්නේ ඔහු වැඩිපුර කණ්ඩායම ගැන හිතලා ගත්ත තීරණයක් කියලා. මොකද ස්ටාක් ට මේ පන්දුවාර 20 තරගාවලි සියල්ල ක්‍රීඩා නොකළත් ලෝක කුසලානය ක්‍රීඩා කරන්න පුළුවන්. නමුත් ඒක වෙනත් ක්‍රීඩකයෙක්ට සිදුවන අසාධාරණයක්.

කොහොමහරි කණ්ඩායමේ ඉඳලා ලෝක කුසලානයක් ක්‍රීඩා කරලම සමු ගන්න ඕනි කියලා හිතෙන ක්‍රීඩකයන්ට මිචෙල් ස්ටාක් කියන්නේ හොඳම උදාහරණයක්.

Advertiesment