රාජිත සේනාරත්න දැන් ඉන්නේ රක්ෂිත බන්ධනාගාර ගත කරලා.රාජිතට එරෙහිව තියන චෝදනාව 2012 අවුරුද්දේ කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට වැඩි පාඩුවක් සිදුකිරීමයි.සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසම හමුවේ පෙනී ඉන්න කියලා රාජිතට අවස්ථා කිහිපයකදී දැනුම් දීලා තිබුණා.කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රාජිතට වරෙන්තු නිකුත් කළා.
පහුගිය සිකුරාදා අධිකරණ හමුවේ පෙනී සිටි රාජිත සැප්තැම්බර් 09වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.රාජිත ඇමතිවරයෙක් බවට පත්වෙන්නේ 2001දී.ඒ ඉඩම් ඇමති විදිහට. හැබැයි රටේ රාළගේ රාජිත ගැන මතකය 1988/89 දක්වාම දිව යනවා.ජවිපෙ දේශප්‍රේමී අරගලය ඇතුලේ රාජිත කියන්නේ දේශද්‍රෝහියෙක්.එදා රාජිත ජවිපෙ ඉලක්කයක්.රාජිතට කිව්වේ ප්‍රා දොස්තර කියලා.ජවිපෙන් එල්ලවෙන තර්ජනයට එරෙහිව රාජිතලත් ආයුධ සන්නද්ධ වුනා.
88/89 තිබුණ එජාප ආණ්ඩුවෙන් රාජිතලට ආරක්ෂාව වගේම අවි ආයුධත් දුන්නා.ජවිපෙට රාජිත ද්‍රෝහියෙක් උනත් ජවිපෙ සන්නද්ධ අරගලයට එරෙහිව සටන් කරපු ප්‍රතිවිරුද්ධ කදවුරේ අයට රාජිත වීරයෙක්.අදත් ජවිපෙට යටත් නොවුන වමේ චරිතයක් විදිහට රාජිත හඳුන්වන්න පුළුවන්.එදා රාජිත සහ රටේ රාළ මූණට මූණ හම්බවුනා නං ඇත්තටම ඉස්සර වෙන කෙනා තමයි දිනන්නේ.හැබැයි ඊට අවුරදු 35 කට විතර පස්සේ දවස් කීපයක් රටේ රාළට රාජිත හම්බවෙලා තියනවා.ඒ හමුවුන දවසේ රටේ රාළට හිතුණා ඇත්තටම එදා 88/89දී රාජිත මුහුණට මුහුණ හමුනොවුන එක හොඳයි කියලා.
ඒ ගැන අද රටේ රාළ ඇත්තටම සතුටු වෙනවා. රාජිත කියන්නේ මාක්ස්වාදියෙක්.රාජිත පැය ගාණක් ඒ ඉතිහාසය සම්බන්ධව,මාක්ස්වාදය සම්බන්ධව රටේ රාළත් එක්ක කතා කළා.සමහර වෙලාවට දුරකනයෙන් කතා කළා.තවමත් රාජිත ප්‍රශ්නයක් විග්‍රහ කරගන්නේ වමේ දෘෂ්ටිවාදය පදනම් කරගෙන ගෙන බව රටේ රාළ දැන ගත්තේ එදා.රාජිතලා එදා ඉන්දු - ලංකා ගිවිසුමට පක්ෂ උන අය.ඉන්දු - ලංකා ගිවිසුමට පක්ෂ වෙන්නේ ජවිපෙට අනුව දේශද්‍රෝහින්.අදත් රටේ රාළ ඉන්දු - ලංකා ගිවිසුමට පෞද්ගලිකව විරුද්ධයි.ඒ වගේම පලාත් සභාවලටත් විරුද්ධයි.හැබැයි අද ඒක රටේ නීතියක් බවට පත්වෙලා.
අපි පෞද්ගලිකව එකඟ නැති වුනත් රටේ නීතියට යටත් වෙන්න වෙනවා.ජවිපෙත් මුලදී කිව්වේ පලාත් සභාවලට විරුද්ධ උනත් රටේ නීතීයක් බවට පත්වෙලා තියන පලාත් සභාවලට තරඟ කරනවා කියලයි.සබරගමුව පලාත් සභා කණ්ඩායමේ ජවිපෙ රත්නපුර දිස්ත්‍රික් නායකයා විදිහට එදා රටේ රාළත් පලාත් සභා ඇතුලේ ඉඳන් පලාත් සභාවලට එරෙහිව සටන් කළා.හැබැයි අද ජවිපෙ ඉන්නේ ඒ ප්‍රතිපත්තියේ නෙවෙයි.
අද ජවිපෙ ඉන්දු - ලංකා ගිවිසුම පිලි අරගෙන,පලාත් සභා පිළිඅරගෙන.බලය බෙදීමත් පිලි අරගෙන තියනවා.පහුගිය ජනාධිපතිවරණයේදී අනුර කිව්වේ 13 න් එහාට යන්න ඕනි කියලයි.ජවිපෙ එදා ඉන්දු - ලංකා ගිවිසුමට සහ පලාත් සභාවලට විරුද්ධ වෙද්දී රාජිතලා පලාත් සභාවලට එහෙමත් නැත්තං ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂ වුනා.අද ජවිපෙ තමන්ගේ ඓයිතිහාසික ස්ථාවරත්වය පැත්තකට දාලා ඉන්දු - ලංකා ගිවිසුම පක්ෂවෙලා විතරක් නෙවෙයි අනුර සහ මෝදි අතර අත්සන් කරපු ගිවිසුම්වලින් ඉන්දියන් ව්‍යාප්තවාදයේ උපායමාර්ගය ඇතුලට අපේ රට ඇතුලත් කරලත් තියනවා.
ඇත්තටම එදා රාජිතලා කියපුදේ ජවිපෙ පිලිගත්තා නම් මේ රටට ඒ වටිනා ජීවිත හැටදාහ නැතිවෙන්නේ නෑ.එදා ඒ ස්ථාවරයේ හිදිමින් දිවි පිදූ සහෝදරවරු සහෝදරියන්ට අද ශත පහක වටිනාකමක් ජවිපෙ ඇතුලේවත් නෑ.එයාලා අවුරුද්දකට සැරයක් අනුරලාට වටිනාකම් හදලා දෙන්න විකුණන ප්‍රදර්ශන භාණ්ඩ විතරයි.ඒ සාකච්ඡාවේදී රටේ රාළට ආපු ප්‍රධාන ප්‍රශ්න තමයි රාජිතද හරි නැත්තං එදා ජවිපෙ ස්ථාවරයද හරි කියන එක.රටේ රාළ තවමත් රාජිතගේ ස්ථාවරයත් එක්ක එකඟ නෑ.
හැබැයි රාජිත තවමත් තමන්ගේ ස්ථාවරයේ ඉන්නවා.ජවිපෙත් දැන් රාජිතගේ ස්ථාවරයට පහු බැහැලා ඉවරයි.අනික තමයි ජවිපෙ දිගින් දිගටම කිව්වේ රාජිතලා බෙදුම්වාදය වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා.සමහරවිට ඔයාලත් තවම එහෙම හිතනවා ඇති.හැබැයි ඒක බොරුවක්.එල්ටීටීරී සංවිධානය යුධමය වශයෙන් පරාජය කරන්න මහින්දව එකඟ කරගන්නේ ජවිපෙයයි.හැබැයි සටනේදී මහින්දගේ කකුලෙන් අදිමින් ත්‍රස්තවාදය පෝෂණය කළේත් ජවිපෙයයි.
ඒ වෙලාවේ ජවිපෙ වට්ටන්න හදපු ආණ්ඩුව රැකගන්න ආවේ එජාපයේ කරූ - රාජිත ඇතුළු කණ්ඩායම සහ ජවිපෙ විමල් වීරවංශ ඇතුළු කණ්‌ඩායමයි.රටේ රාළ අද එතන නැතිවුනත් එදා අයිති වෙන්නේ ඒ කණ්‌ඩායමට.එදා කරූ - රාජිත සහ විමල් කණ්‌ඩායම සහය නොදුන්නා නම් අපි තවමත් ත්‍රස්තවාදයෙන් බැටකන රටක්.ඒක නිසා ත්‍රස්තවාදය අවසන් කිරීමේ සටනේදී දැක්වු දායකත්වයට අදාලව විශාල ගෞරවයත් කරූ - රාජිත කණ්ඩායමට තියනවා.ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන්න සහය දුන්නත් රාජිත කියන්නේ අපේ රටේ දෙමල සහ මුස්ලිම් ජනතාවගේ බොහොම කිට්ටු මිත්‍රයෙක්.
ගිය ජනාධිපතිවරණයේදී උතුරේ සහ නැගෙනහිර ජනතාව ආමන්ත්‍රණය කරන්න රනිල් රාජිතව යොදා ගත්තා නම් තත්වය යම් තරමකට හරි වෙනස් වෙන්න තිබුණා.ඇත්තටම රාජිත සහ රටේ රාළ කියන්නේ ඉතිහාසයේ මත දෙකක් දරපු ඒ වගේම එකිනෙකට එරෙහිව සටන් කරගත් දෙන්නෙක්.හැබැයි අවුරුදු 35 කට පස්සේ රාජිතත් රටේ රාළ වගේම ඒ වෛරය නියෝජනය කළේ නෑ.රාජිත කියන්නේ බොහොම මිත්‍රත්වයට බර කෙනෙක්. රාජිත වමේ මතවාදයට නියෝජනය කරන අයට වෛර කරන්නේ නෑ.
හැබැයි ජවිපෙ කියන්නේ වමේ මතවාදයේ අයිති තමන්ට විතරයි කියලා හිතන ට්‍රැක් පැනපු සංවිධානයක්.එහෙම කියන ජවිපෙ අද වම නියෝජනය නොකර රනිල්ගේ ලිබරල් මතවාදය නියෝජනය කරන පක්ෂයක්.ඇත්තටම චින්තනමය වශයෙනි සහ මූලධාර්මික වශයෙන් හිතුවොත් අනුරලා ඉන්නේ රාජිතලාට වැඩිය ගව් ගාණක් පිටිපස්සේ.ඒ වගේම රාජිත ඇමතිවරයෙක් විදිහට මේ රටට කරපු සේවය ගැනත් වචනයක් කිව්වේ නැත්තං ඒක රාජිතට කරන ලොකු අසාධාරණයක්.රාජිත 2001දී තමයි ඉඩම් ඇමතිවරයා විදිහට පත්වෙන්නේ.ඊට පස්සේ රාජිත ඉඩම් කට්ටි ලක්ෂ 17ක් කට්ටිකරලා ජනතාවට පවරා දෙනවා.
රාජිත මේ රටේ හිටපු හොඳම සෞඛ්‍ය ඇමතිවරා කියලා බය නැතිව කියන්න පුළුවන්.අවුරුදු කීපයක් විතරක් පිලිකා රෝගියෙකුට දෙන ඖෂධ එයාලගේ ජීවිතය අවසාන දක්වා දෙන්න නිර්දේශ කළේ රාජිත.රාජිත තමයි තීරණය කරන්නේ පිලිකා රෝගීන්ට මැරෙන තුරු බෙහෙත් දෙන්න.තැලසීමියා රෝගය වැළඳී තිබුන දරුවන්ට ඉන්දියාවේදී පමණක් කළ හැකිව තිබුණ ප්‍රතිකාර ලංකාවේ පටන් ගත්තේ රාජිත.රට පුරා හිටපු ඒ වගේ රෝගි දරුවන් ජංගම රථ හරහා හදුනා ගනිමින් එයාලට ජීවිතය ලබා දෙන්න කටයුතු කළේ රාජිතයි.
ඒ විතරක් නෙවෙයි කර්ණශංකය බද්ධ කරමින් දස දහස් ගණනක් වු ශ්‍රවණ ආබාධිත දරුවන්ට ඔයාලාව ඇසෙන්න සැලැස්වුවේ රාජිත.ලක්ෂ ගණනක් හෘද රෝගීන්ට අවශ්‍ය ස්ටෙන්ට් සහ දෘශ්‍යාබාධිත රෝගීන්ට අවශ්‍ය අක්ෂි කාච රෝහල් පද්ධතිය හරහා නොමිලේ ලබාදීමට අවශ්‍ය තීන්දු තීරණ ගත්තේ රාජිත.රටේ රාළත් එක්ස්ටෙන්ට් කරපු හෘද රෝගියෙක්.රාජිතගේ ඒ සහනය රටේ රාළට හම්බවුනේ නැතත් ඒ හරහා අදත් ජිවත්වෙන විශාල පිරිසක් රටේ රාළ හදුනනවා.රාජිත රටට කළ සේවය ගැන ගොඩක් දේ කියන්න තිබුණත් පස්සේ දවසක ඒ ගැන කතා කරමු,
ජවිපෙට අනුව නං රාජිත හොරෙක්.ජවිපෙ ඉතිහාසයට අනුව මිනීමරුවෙක්.ඉතිහාසයේදී ජවිපෙ වෙනුවෙන් රාජිතලාට එහෙරහිව සටන් කරපු රටේ රාළලත්,එදා ජවිපෙට එරෙහිව සටන් කරපු රාජිතලත් අද ජවිපෙට ද්‍රෝහීන්.ඒත් රාජිතත්,රටේ රාළත්,ජවිපෙත් පිලිගන්න සත්‍යක් තියනවා.ඒ තමයි ඉතිහාසය විසින් අප නිවැරදි කරනු ඇති කියලයි.ඒක ඉතිහාසයට බාරදෙන්න ඕනි.ඇතිවෙලා තියන තත්වයට මුහුණ දෙන්න රාජිතට ධෛර්යය ශක්තිය ප්‍රාර්ථනා කරනවා.නැවත හමුවෙමු රාජිත මිත්‍රයා.
Lanka Newsweek © 2026