Sunday 9th of November 2025

English Tamil
Advertiesment


අද්විතීය ක්‍රීඩක ලැයිස්තුවට එකටම පා තැබූ විශිෂ්ටයින් දෙදෙනාගේ ගැටුමක තරම


2025-08-08 1414

 

(Kanchana Pitigala)

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අද්විතීය ක්‍රීඩකයින් ගේ ලැයිස්තුවට මහේල ජයවර්ධන සහ හිටපු දකුණු අප්‍රිකානු නායක ශෝන් පොලොක් එක් වුණේ එකම කාලයක.

මේ විශිෂ්ට ක්‍රීඩකයින් දෙදෙනා ක්‍රිකට් පිටියේ එකිනෙකා ගැටුණ අමුතු සිදුවීමක් ඉතිහාස පොත්වල තිබෙනවා.

2002/03 ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්ගේ ගැටුම් මැද ක්‍රියාත්මක වූ තරගාවලියක් කියලා හඳුන්වන්න පුළුවන්.

එම සංචාරයේ සෙන්චූරියන් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය අභියසට පැමිණෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ජොහැන්ස්බර්ග් නුවර පැවති පළමු ටෙස්ට් තරගයේ දී අවමන් සහගත පරාජයක් ලැබීමෙන් අනතුරුවයි.

දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ එක් අවස්ථාවක ශෝන් පොලොක්ගේ කෙටි පන්දුවට මහේල ජයවර්ධන එල්ල කළ හුක් පහර පිත්තේ ඉහළ දාරයේ වැදී මාක් බවුචර්ගේ හිසට උඩින් කඩුල්ල පිටුපසින් හතරේ සීමාව පසු කළා.

ඒ සමඟම දකුණු අප්‍රිකානුවන් පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාවට වැඩියෙන් ලබා ගෙන සිටි ලකුණු සංඛ්‍යාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

සාමාන්‍යයෙන් මහේල හතරේ හෝ හයේ පහරක් එල්ල කළ විට පන්දු යවන්නාගේ අන්තයට දිව ගොස් සීමාව ලකුණු කර පැමිණීම අප කාටත් සුලබ දසුනක්.

නමුත් මෙවර මහේල අනෙක් අන්තයට දිව එනතෙක් දකුණු අප්‍රිකානු නායකයා තණතීරුව තුළ නොඉවසිලිමත්ව බලා සිටියා. ක්ෂණිකවම මහේලගේ කර වටා අත යැවූ පොලොක් හිස අත ගාන ස්වරූපයකින් මහේලගේ හෙල්මටය වේගයෙන් සොලවන්නට වුණා.

වහාම පොලොක් ඉවතට තල්ලු කළ මහේල විනිසුරු ඩැරල් හාපර් දෙසට හැරී ඉකුත් සිදුවීම ගැන සිය අප්‍රසාදය පළ කළා.

ඒ අවස්ථාවේ දී විස්තර විචාරකයින් ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානුවන් වහාම පොලොක්ගේ අකටයුත්ත සාධාරණීකරණය කරන්නට පසුබට වුනේ නැහැ.

එය විහිළුවට කළ දෙයක් ඔවුන් පැවසුවා.

නමුත් මෙම සිදුවීම මහේලගේ මානසික ඒකාග්‍රතාවය යම් තාක් දුරකට බිඳ දමන්නට සමත් වුනා.

ඉකුත් සිදුවීමෙන් පන්දු දෙකක් ගත වන තැන ලෙහෙසියෙන්ම ලබා ගැනීමට තිබූ ලකුණකට ගිය මහේල සිය කඩුල්ල බේරා ගත්තේ අනූ නමයෙන්.

ඉතා පහසු ලකුණක් වුව ද දිව යන අතරවාරයේ ඔහු නැවත වතාවක් ශෝන් පොලොක් සමඟ වචන හරඹයකට පැටලුණා.

මේ අතරවාරයේ වේගයෙන් ස්ක්වෙයාර් ලෙග් කලාපයට දිව ගිය කඩුලු රකින ක්‍රීඩක මාක් බවුචර් පන්දුව රැගෙන පන්දු යවන්නාගේ අන්තයට දමා ගැසුවා. එය කඩුල්ලට ඉතාම සමීපයෙන් පියඹා ගියේ මහේලගේ වාසනාවකට.

ඉක්මනින් මෙම ගැටුම සමථයට පත් කරන්නට තරග තීරක ගුන්දප්පා විශ්වනාත් ඇතුළු බලධාරීන් සමත් වුණා.

Advertiesment