Thursday 30th of April 2026

English Tamil
Advertiesment


ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාත් විෂය නිලධාරීන් දැණුවත් කෙරේ


2025-07-27 14877

 

ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණ වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව අද (26) මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති අරමුදලේ සියලු කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගගත ක්‍රමවේදය (Online System) පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වී තිබේ.

ඒ අනුව පළාත් මට්ටමින් ක්‍රියාත්මක පුහුණු වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව පැවති අතර අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීහු 100කට වැඩි පිරිසක් ඊට සහභාගි වී සිටියහ.

මෙම වැඩසටහන මගින්, නැගෙනහිර පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම, නවීකරණය වූ මාර්ගගත ක්‍රමවේද හදුන්වා දීම හා වඩාත් කඩිනම් සේවාවන් සැපයීම පිණිස අදාළ දැනුම හා පුහුණුව ලබා දීමට අපේක්ෂිතය.

කොළඹ කේන්ද්‍රීයව සීමිත පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබා දුන් ජනාධිපති අරමුදල රට පුරා වෙසෙන ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දෙන ජනතාවගේ අරමුදලක් ලෙස ක්‍රියාත්මක කිරීම වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ පාලක මණ්ඩලයේ මූලික අරමුණක් වී ඇති අතර එම අරමුණ ඉටු කර ගැනීම සඳහා මෙවැනි පුහුණු වැඩසටහන් මේ වන විට බස්නාහිර, උතුර සහ දකුණු පළාතේ ක්‍රියාත්මක කර ඇති අතර අනෙකුත් පළාත්වල ද ඉදිරියේ දී වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.

ජනාධිපති අරමුදලේ කාර්යභාරය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් මෙහිදී පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී. පරිගණක පද්ධතියේ ආරක්ෂාව සහ භාවිතය පිළිබඳව මෙන්ම වෛද්‍යාධාර අයදුම්පත් භාර ගැනීමේ සිට අනුමැතිය දක්වා සිදු වන ක්‍රියාවලිය සහ අනුමත වීමෙන් පසු වෛද්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳවද ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කරුණු පැහැදිලි කළහ.

එමෙන්ම, විෂය නිලධාරින් මුහුණ දෙන ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම්ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර සහභාගිත්වය වෙනුවෙන් විෂය භාර නිලධාරින් වෙත සහතික පත් ප්‍රදානය කිරීමක්ද සිදු කෙරිණි.

අදාළ දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය නිලධාරින් හා ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

- ජනාධිපති මාධ්‍ය අංශය -
Advertiesment