Sunday 9th of November 2025

English Tamil
Advertiesment


ජාතික ආර්ථිකයේ කාන්තා දායකත්වය වර්ධනය කෙරේ 


2025-03-28 1472

 

ගෝලීය වශයෙන් සහ ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය වෙනුවෙන් කාන්තාවන්ගෙන් ලබා ගන්නා දායකත්වය සහ කාන්තා සහභාගිත්වය වැඩි කළ යුතු යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අවධාරණය කළාය.

අගමැතිනී හරිනි අමරසූරිය මෙනවිය මේ බව කියා සිටියේ, කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති මුදල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සේම ආසියානු සංවර්ධන බැංකුව මගින් සංවිධානය කෙරුණු  "WE" කාන්තා ව්‍යවසායක මූල්‍ය සංග්‍රහය  ස්ථාපිත කිරීමේ උත්සවයේදීය. 

"ශ්‍රම බළකා සහභාගිත්වයේ දැඩි ස්ත්‍රී පුරුෂ විෂමතා පවතිනවා. ගෝලීය වශයෙන් කාන්තාවන්ගෙන් 47%ක් සහ ශ්‍රී ලංකාවේ 32%ක් පමණක් ආර්ථික වශයෙන් ක්‍රියාකාරී වන අතර, පිරිමින්ගෙන් 72%ක් සහ 71%ක් පිළිවෙළින් සිටිනවා. කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව උත්සාහයන්ට බාධා කරන මූල්‍ය, වෙ‍ෙළඳපොළ, පුහුණු ශ්‍රමය සහ තාක්ෂණය සඳහා සීමිත ප්‍රවේශයක් වැනි බාධක අවම කිරීම ඉතා වැදගත් වනවා.

අනාරක්ෂිත පොදු ප්‍රවාහන සහ සේවා ස්ථාන පරිසරයන් සේම සැලකිය යුතු ගෘහස්ථ වගකීම් ඔවුන් මත පට වන සමාජ-සංස්කෘතික සම්මතයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවන් බොහෝ අභියෝගවලට මුහුණ දෙනවා” අගමැතිනිය වැඩි දුරටත් පැවසුවාය.

"ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) MSME මූල්‍ය පරතර වාර්තාවට අනුව, විධිමත් MSME සඳහා අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.2ක් සහ අවිධිමත් MSME සඳහා අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.9ක ඇස්තමේන්තුගත ගෝලීය මූල්‍ය පරතරයක් පවතිනවා.

ශ්‍රී ලංකාවේ MSME සඳහා වන මූල්‍ය පරතරය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 17 ක් වන අතර, එම වටිනාකම රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 21% ක් වනවා. මෙම පරතරයට සැලකිය යුතු සාධකයක් වන්නේ කාන්තාවන් විසින් මෙහෙය වනු ලබන MSME ව්‍යාපාර කෙරෙහි ඇති අසමානුපාතික බලපෑමයි.

කාන්තා ව්‍යවසායකයින් සඳහා වන මූල්‍ය පරතරය ඉවත් කිරීමෙන් ගෝලීය ආර්ථික වටිනාකමෙන් අතිරේක අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5-6ක් විවෘත කළ හැකි බව සඳහන් වනවා." ඇය පැවසුවාය.

මෙම උත්සවයේ විශේෂ අරමුණ වූයේ කාන්තා ව්‍යවසායකයින් සඳහා මූල්‍ය ප්‍රවේශය වැඩි දියුණු කිරීම අරමුණු කර ගත් ගෝලීය මුලපිරීමක් වන කාන්තා ව්‍යවසායකයින්ගේ මූල්‍ය ඉලක්කය සැපිරීමට සහාය වීම වන අතර නායකත්වය, ක්‍රියාකාරීත්වය සහ දත්ත මත පදනම් වූ ප්‍රවේශයන් ඔස්සේ කාන්තා ව්‍යවසායකයින් සඳහා මූල්‍ය ප්‍රවේශය වැඩි දියුණු කිරීම අරමුණු කර ගත් ගෝලීය මුල පිරීමක් වන කාන්තා ව්‍යවසායකයින්ගේ මූල්‍ය ඉලක්කය වන බව (අපි මූල්‍ය ඉලක්කය) ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

මේ සඳහා පියවර ගත් පළමු රටවල් 24 අතර ශ්‍රී ලංකාව සිටින බවත්, ආසියානු සංවර්ධන බැංකුව (ADB) එම වැඩ සටහන  ක්‍රියාත්මක කිරීමට සහාය වන බවත් 2024 අගෝස්තු මාසයේදී කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර සඳහා ජාතික අර්ථ දැක්වීම සාර්ථකව සකස් කර ඇති බවත් ඇය තව දුරටත් අවධාරණය කළාය.

"ආසියානු සංවර්ධන බැංකුව (ADB) එම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට සහ 2024 අගෝස්තු මාසයේදී කාන්තාවන් විසින් මෙහෙය වනු ලබන ව්‍යාපාර සඳහා ජාතික අර්ථ දැක්වීම සාර්ථකව සකස් කිරීමට ක්‍රියා කළා. ආසියානු සංවර්ධන බැංකුව (ADB) ලබා දුන් පුළුල් සහයෝගයට ප්‍රශංසා කරනවා. මෙම මුලපිරීම මගින් වැඩි දියුණු කළ දත්ත රැස්කිරීම සහ වාර්තා කිරීම සඳහා පහසුකම් සපයා තිබෙනවා. එමඟින් වඩා හොඳ ප්‍රතිපත්ති සම්පාදනයකට මඟ පෑදී තිබෙනවා" යනුවෙන් ද හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළාය . 

කාන්තා නායකත්වයෙන් යුත් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට (WMSMEs) සහාය වීම සඳහා ජාතික සන්ධානයක් පිහිටුවීමට රජයේ කැප වී සිටින අතර ඒ ඔස්සේ කාන්තා ආර්ථිකය සවි බල ගැන්වීම ශක්තිමත් කිරීම සඳහා ක්‍රියා කරන බව ද අගමැතිනිය අවධාරණය කළාය. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා, මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ බැංකු සහ මූල්‍ය ආයතනවල නියෝජිතයෝ සහභාගි වූහ.

 

Advertiesment