Thursday 18th of June 2026

English Tamil
Advertiesment


සැඟවුණු අමුත්තා වෙස්ගත් දේශබන්දු එළියට ගත්තේ වටගල තියරියෙන්ද..?


2025-03-19 14890

 

නියෝජ්‍ය ඇමති වටගලගේ සහ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ තියරියට හසු වූ දේශබන්දු දේපළ තහනමට බයේ අධිකරණයට භාර වූ වගයි..?

 

දින 20ක් තිස්සේ අධිකරණය සහ පොලීසිය මගහරිමින් සැඟවී සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද උදෑසනම මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබුණා.

තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ඔහු අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණය විසින් පසුගිය 17වැනිදා ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් එම අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙත්සමක් ගොනුකර තවදුරටත් සැඟවී සිටීමට නොයා ඔහු කඩිනමින් පැමිණ අධිකරණයට භාරවුණේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පසුගිය 09 වනදා සිදුකළ ප්‍රකාශයක් නිසා බවයි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

යම් සැකකරුවෙකු වරෙන්තුවක් තිබියදී දිගින් දිගටම අධිකරණය මගහැර සිටින්නේ නම් ඔහුගේ දේපළ තහනම් කිරීමට හැකිවන පරිදි චක්‍රලේඛයක් ඇති බවට සුනිල් වටගල මහතා එදින මෝදර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කර තිබුනා. අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කලේ ඊට අදාළ චක්‍රලේඛයේ පිටපතක් ද පෙන්වමිනි. 

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විවෘත වරෙන්තුවක් ලබාගැනීමට ද පොලීසිය පසුගිය 11 වනදා කටයුතු කළේය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ඉදිරියට යමින් ඊයේ (18) දිනයේදී දේශබන්දු තෙන්නකෝන්ගේ හෝකන්දර නිවස සෝදිසි කර එහි තිබුණු මත්පැන් බෝතල් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබූ අතර ඔහුගේ දේපළ තහනමට අදාළ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවට පුවතක් ද මාධ්‍ය තුළ සංසරණය විය.

මේ තත්වය තුළ තම දේපළවලට අදාළව පොලීසිය තවදුරටත් ක්‍රියාමාර්ග ගතහොත් එය, දිගට ඇදෙන අනවශ්‍ය විශාල කරදරයක් විය හැකි නිසා දේශබන්දු තෙන්නකෝන් අද උදෑසනින්ම අධිකරණයට පැමිණ භාරවී ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ. හදිසියේවත් ඔහු අද දින අධිකරණයට භාර නොවී සැඟවී සිටියේ නම් වටගල තියරියට අනුව දේපළ තහනමකට ලක්වීමට බොහෝ දුරට ඉඩ තිබිණි.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment