Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


රට හමුවේ ඇති අභියෝග සහ මෙවර ජනාධිපතිවරණය


2024-09-14 5644

කරුණු කාරණා කිහිපයකටම අදාලව සැළකීමේදී සුවිශේෂි මැතිවරණයක් ලෙස මෙවර ජනාධිපතිවරණය   සැළකිය හැකිය. අප මේ මුහුණ දෙන්නේ වසර හතරකට පසුව මුහුණ දෙන පළමු මැතිවරණයට ය. ඉන් අදහස් වන්නේ පසුගිය වසර හතරක කාල සීමාව තුළ පැවැත්විය යුතුව තිබු පළාත් සභා සහ පළාත් පාලන යන මැතිවරණ විවිධ හේතුන් මත නොපවත්වා ඇති පසුබිමක රටේ ජනමතය උරගා බැලීමට වසර හතරකට පසුව අවස්ථාව ලැබෙන්නේ මෙවර ජනාධිපතිවරණයේ දීය. අනෙක් අතට මෙම ජනාධිපතිවරණය විශේෂිත වන්නා වූ තවත්  කාරණයක් ද තිබේ. එනම් ශ්‍රී ලංකා ඉතිහාසය තුළ සිදු වූ ඉතාමත් ම බැරෑරුම් සහගත සිදුවීමක් ලෙස සැළකිය යුතු ආර්ථික බංකොලොත්භාවයට පත්ව තිබෙන රටක් ඉන් මිදීමට ගනු ලබන ප්‍රයත්නයන් අතරතුර පැවැත්වෙන  මෙම ජනාධිපතිවරණය රටට ඉතාමත්ම තීරණාත්මක ය. 


අනෙක් අතට නිදහසින් පසු රට තුළ ස්ථාවරව පැවති ප්‍රධාන දේශපාලන පක්ෂ කිසිවක් මෙවර ජනාධිපතිවරණයට සෘජුව තරඟ වදින්නේ නැත. මෙම ජනාධිපතිවරණයට තරඟ වදින පක්ෂ හා සන්ධාන සැළකීමේ දී ඒ්වායෙහි ඉතිහාසය දශකයක තරම්වත් කාලයකට හෝ හිමිකම් නොකියයි. එමෙන් ම ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර පවතින්නේ  ද්වන්ධ සටනක් නොවේ. මූලික වශයෙන් එය තුන්කොන් සටනක් බවටද පත්ව තිබේ. ඒ් කිසිවක් නොතකා සිටිය ද ශ්‍රී ලංකාවට අදාලව සැළකීමේ දී ජනාධිපතිවරණයක් යනු ඉදිරි වසර පහක කාලයකට අදාලව රාජ්‍ය නායකත්වයට සුදුස්සෙකු තෝරාපත් කරගැනීම සඳහා එළැඹ ඇති අවස්ථාවකි. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් රටේ ඉදිරි අනාගතයෙහි දිශානතිය බොහෝ දුරට තීන්දු විය හැකි මෙන් ම ඒ් තුළ ජනතාවගේ ඉරණමට බලපෑමක් ඇති කල හැකි නායකත්වයක් තීන්දු කරනු ඇත්තේ ජනාධිපතිවරණයෙහි ප්‍රතිඵලයට අනුවය. නිශ්චිත වශයෙන් ම එය රටේ මෙන් ම ජනතාවගේ ඉරණමට අදාල සුවිශේෂි කඩඉමකි. 


මෙවැනි සුවිශේෂි තත්ත්වයක් අපට වැදගත් වන්නේ ජයගත යුතුව ඇති අභියෝග ලෙස කරුණු තුනක් අප ඉදිරියේ අප ඉදිරියේ පවතින නිසාය. එකී අභියෝග අතර තීරණාත්මක අභියෝගය ලෙස සැළකිය හැක්කේ රට ආර්ථික බංකොලොත් භාවයෙන් මුදා ගැනීමේ සටන ජයග්‍රාහි අවසානයක් කරා රැගෙන යාමය.  එය සරළ හෝ පහසු අභියෝගයක් ලෙස නොසැළකීම ද වැදගත් ය. ලෝකයේ එවැනි අනෙකුත් උදාහරණ සළකා බැලීමේ දී ඉතා කෙටි කාලයක් තුළ අප රටක් ලෙස ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව යම් පමණකට හෝ සතුටු විය හැකි වුවත් අප ඉදිරියේ ඇති දැවැන්ත අවදානම සැළකීමේ දී එය කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකි ය.  සත්‍ය වශයෙන් ම එකී අභියෝගය අපට ජයගත හැක්කේ සාමුහික ප්‍රයත්නයකිනි. ජාතික වශයෙන් ඇති කර ගන්නා ඒ්කාග්‍රතාවයකින් සහ පරිශ්‍රමයකිනි. ඒ් අනුව අවම වශයෙන් නුදුරු  කාලසීමාවකට හෝ ඊට නායකත්වය දීමට සිදු වන්නේ ‌මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් තෝරාගැනීමට නියමිත ජනාධිපතිවරයාට ය. 


දෙවන වැදගත්ම කරුණ වන්නේ රට තුළ දේශපාලන ස්ථාවරභාවයක් තහවුරු කිරීමය. විශේෂයෙන් ම මැත භාගයෙහි දි අප රට තුළ දක්නට ලැබුණ සුවිශේෂි තත්ත්වයන් තුළ රටේ ස්ථාවරව පැවති පක්ෂ ක්‍රමය මේ වන විට බලවත් ලෙස දුර්වල කර තිබේ. නිදහසින් පසු රටේ පාලන බලයට නායකත්වය දුන් ප්‍රධාන පක්ෂ දෙකට අත්ව ඇති ඉරණම මෙන් ම රටට ඉමහත් සහ තීරණාත්මක බලපෑමක් සිදු කළ සාම්ප්‍රදායික වම අතිශය දුර්වලවීම තුළ පක්ෂ ක්‍රමය වෙනුවට පුද්ගල නායකත්වයන් කෙරෙහි විශ්වාසය තැබීම දක්වාම ජනතාව තුළ ද පෙළඹීමක් ඇති බව පෙනෙන්නට තිබේ. මේ රටේ සෑම දේශපාලන ධාරාවකටම නායකත්වය ලබාදෙන පුද්ගලයන් කෙරෙහි මහත් වූ ගෞරවයක් අප තුළ පවත්නේ වුව ද රටක් පිළිබඳව සැළකීමේ දී අප වඩාත්ම විශ්වාසය තැබිය යුත්තේ ප්‍රතිපත්ති කෙරෙහි ය. එහිදි කිසියම් ප්‍රතිපත්තිමය රාමුවක් තුළ ජනතාව සංවිධානය කරනු ලබන්නේ දේශපාලන පක්ෂ විසින් ය. එහි දි බහු පක්ෂ ක්‍රියාකාරිත්වය රටක නීරෝගී ප්‍රජාතන්ත්‍රවාදි පැවැත්මට අතිශයින් ම වැදගත් ය. රටක පාලනයට අදාලව තීන්දු තීරණ ගත යුතුව ඇත්තේ සාමූහිකව ය. තනි පුද්ගල ආඥාදායකත්වයක් සෑම විටකට ඔිනෑම රටකට අදාලව ගෙනවිත් ඇත්තේ විනාශයන් ය. සමස්ත ලෝක ඉතිහාසයම ඊට සාක්ෂි දරනු ඇත. අප රටට අදාලව සැළකීමේ දී තනි පුද්ගල ආඥාදායකත්වයකට මඟ විවර කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ද පත්වන ජනාධිපතිවරයාගෙන් හා පාර්ලිමේන්තුවෙන් අපේක්ෂා කරන ජාතික වගකීමක් වේ. ඒ් අනුව අප රටේ දේශපාලන ස්ථාවරභාවය තහවුරු කරනු උදෙසා පත්වන ජනාධිපතිවරයා වෙත පැවරෙන්නේ තීරණාත්මක කාර්ය භාරයකි. ඒ් වගකීම ඔහු වෙත පැවරෙන්නේ ජනතාව වෙතින් වන නිසා ජනතාව ද තමන් සතුව පවතින බරපතල වගකීම කෙරෙහි අවබෝධයකින් යුතුව කටයුතු කල යුතුව තිබේ. 


පත්වන ජනාධිපතිවරයා හමුවේ ඇති අනෙක් ප්‍රධාන අභියෝගය වන්නේ රට තුළ ජාතික හා ආගමික සංහිඳියාව සහතික කිරීමය. සැබැවින් ම නිදහසින් පසු ගෙවු වසර හැත්ත හයක කාලය තුළ අප කිසිදු ප්‍රගතියක් අත්කරගෙන නොමැති ප්‍රමුඛතම ක්ෂේත්‍රය ලෙස එය පෙන්වා දිය හැකි ය.  රටක් ලෙස අප පසුපසට ඇද දැමිමට හේතුකාරක වූ ප්‍රමුඛතම සාධකය ලෙස සැළකිය හැක්කේ පූර්ණ ජාතික රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට අපොහොසත් වීමය. එහි ප්‍රතිවිපාක මේ දක්වාම නිවැරදි ලෙස තක්සේරු නොකිරීම ද රටක්‌ ලෙස අප සිදු කර ඇති බලවත් වැරැද්දකි. ජාතික රාජ්‍යයක් පරිපූර්ණ වන්නේ ජාතික ඒ්කාග්‍රතාවය මතය. නිදහසින් පසු සමස්ත ඉතිහාසය සළකා බැලීමේ දී අප සැළකෙන්නේ බෙදී ගිය ජාතියක් ලෙසටය. එය නොපමාවම නිවැරදි කල යුතුය. ඒ් මඟින් රටේ අනාගතය යහපත් හා ශක්තිමත් කිරීමේ වගකීම ද ඉදිරි රාජ්‍ය නායකත්වයට පැවරෙන ප්‍රධානතම වගකීමක් වනු ඇත. 


එයට අමතරව මෙවර මැතිවරණය සාමකාමි එකක් බවට පත් කරගැනීමේ ඇති වගකීම ද අප අමතක කල යුතු නැත. ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය සැළකීමේ දී ඈත අතීතයට සාපේක්ෂව ගෙවුණ දශක තුනක කාලය ගැන අපට බෙහෙවින් සතුටු විය හැකිය. ඒ් නිදහස් හා සාධාරණ මැතිවරණ සංස්කෘතියක් තහවුරු කරගැනීමට කටයුතු කිරිම නිසාවෙනි. ඒ් සඳහා මේ රටේ සිවිල් සමාජ සංවිධාන විසින් සිදු කරන ලද මැදිහත්වීම මේ මොහොතේ දී ද ඉතාමත් ම අගය කල යුතු ය. එහිදි අප විශ්වාස කරන ආකාරයට අප මේ මොහොතේ අවධානය යොමු කල යුතුව ඇති එක් සුවිශේෂි වැදගත් කාරණයක් ද තිබේ. එනම් මැතිවරණ පැවැත්වෙන ආසන්න දින වකවානුව තුළ හා පශ්චාත් මැතිවරණ සමයේ දි ආරක්ෂා කර ගත යුතුව ඇති ජන ජීවිතයෙහි සාමකාමිත්වයයි.  


මෙවර ජනාධිපතිවරණයට අදාලව අප  එසේ අවධාරණය කරන්නේ ඇතිවීමට විභවයක් ඇති එක් විශේෂ තත්ත්වයක් ද සැළකිල්ලට ගනිමින් ය. එනම් මේ වන විට බොහෝ විචාරකයන් පුරෝකථනය කරන ආකාරයට මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින කිසිදු අපේක්ෂකයෙකුට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් හා තවත් වැඩිපුර එක් ඡන්දයක් ලබාගත නොහැකි වන තත්ත්වයක් ද උද්ගත විය හැකි ය. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් දෙවැනි මනාපය ගණනය කිරීමට අනිවාර්යෙන් ම යොමු විය යුතුව තිබේ. එහිදි දෙවෙනි මනාපය ගණනය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව යොමු වනු ඇත්තේ මුල් වටයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ය. එමෙන් ම දෙවෙනි මනාපය ගණනය කිරීමට දිනකට වඩා වැඩි කාලයක් ගතවිමට ද බොහෝ සේ ඉඩකඩ තිබේ. එය අපේ රටට අදාලව සැළකීමේ දි අලුත් අත්දැකීමකි. එමෙන් ම දෙවෙනි මනාපය ගණනය කිරීමෙන් පසු මුල් වටයේ ඉදිරියෙන් සිටි ජයග්‍රාහකයා අභිබවා දෙවැන්නා ජයග්‍රාහකයා වීමට ඇති විභවයක් ද පවති. මේ ක්‍රියාවලියට ගතවන කාලය සහ මැතිවරණයට අදාලව මහජනතාව තුළ පැවතිය හැකි උද්වේගයන් සැළකීමේ දී එකී කාලසීමාව පිළිබඳව වගකිව යුතු සෑම අංශයක්ම බලවත් අවධානයක් යොමු කල යුතුව තිබේ. එකී කාලය තුළ ජන ජීවිතයෙහි සාමකාමිත්වයට මෙන් ම රටේ යහපැවැත්මට හානිකර විය හැකි කිසිදු  තත්ත්වයකට ඉඩක් නොතැබිය යුතුය.

 

- ශ්‍රී ලංකාභිමාන්‍ය දේශබන්දු කරු ජයසුරිය -
සභාපති 
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය 
Advertiesment