එළඹෙන සැප්තැම්බර් 21 දින පැවත්වීමට නියමිත ජනාධිපතිවරණයට තිස් දෙනෙක් පමණ තරග වදී. මෙයින් ප්‍රධාන අපේක්ෂකයන් ඇත්තේ තුන් දෙනෙකි. ඒ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක යි. මෙම අප්පෙක්ෂකයන් සිය මැතිවරණ ප්‍රකාශ තවමත් ඉදිරිපත් කොට නැතත් ප්‍රචාරණ රැළි ආරම්භ කොට ඔවුන් සිය මූලික ප්‍රතිපත්ති දැනටමත් ජනතාව හමුවේ තබා ඇත. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මූලික අභිලාශය වන්නේ 2022 දී වැටුණු රටේ ඉදිරි ගමන අරපිරිමැස්ම, දිළිඳු සහන, ජාත්‍යන්තර සහයෝගීතාව, හා උපක්‍රමික සැලසුම් ඔස්සේ දිගු කාලීන මුල්‍ය ස්ථායීතාව, ණය ප්‍රතිවුහගතකරණය, යනාදිය ඔස්සේ රට බංකොලොත් භාවයෙන් මුදවා ගෙන සංවර්ධනය කිරීමය. සජිත් ප්‍රේමදාස නිදිවර්ජිතව පැය 24x7 වැඩකරමින් සියලු ජනතා අවශ්‍යතා ක්ෂණිකව සහ පූර්ණ ලෙස සපුරා සිතූ පැතූ දේ නොමිලේ ලැබෙන සුරපුරයක් නිර්මාණය කිරීමට සැරසේ. ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක සිය මාක්ස් ලෙනින්වාදී වාමාංශික ප්‍රතිපත්තිවල පිහිටා අවුරුදු 75ක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය උඩු යටිකුරු කරන සිස්ටම් චේන්ජ් ඔස්සේ ප්‍රශ්නවලට විසඳුම් සොයන බව කියයි.
මෙම පසුබිම තුළ ඡන්ද දායකයා සිය අරමුණු මොනවාද යන්න තේරුම් බේරුම් කර ගත යුතුව ඇත. මෙවර ජනාධිපතිවරණය මින් පෙර වූ කිසිදු මැතිවරණයකට වඩා වෙනස් වන්නේ අපේක්ෂකයන් ගණන ඉහළ ගොස් ඔවුන් දෙන පොරොන්දු අසීමිත නිසාය. ඡන්ද දායකයා අතීතයේදී මෙන් මෙවර සුරංගනා ඡන්ද පොරොන්දුවලට සංවේදී වේද? එදා පටන් නොමිලේ හාල් සේරු දෙක, ධාන්‍ය රාත්තල් අට, විවෘත ආර්ථිකයට මානුශීය මුහුණුවර, ආසියාවේ ආශ්චර්ය, යහපාලනය, සෞභාග්‍යමත් රටක් යනාදී දේශපාලන පොරොන්දු පසුපස ගිය ඡන්ද දායකයන් අද සිටින්නේ කොතනද? අද අපට ඇත්තේ යළි ප්‍රතිසංස්කරණය කිරීමේ නිරතව සිටින කඩා වැටුණු ආර්ථිකයකි. 2022 ආර්ථික බංකොලොත් භාවයෙන් බැට කෑ ඡන්ද දායකයා නැවතත් එවැනි සිල්ලර පොරොන්දුවලට රැවටී සුබසාධනය, රජයේ රැකියා, කාපට් පාරවල්, ගමට විශ්වවිද්‍යාල, ගමට විදුලිය, පයිප්ප බට, සෙවිලි තහඩු, කැරම් බෝඩ්, හා සිල් රෙදි දේශපාලනය විශ්වාස කරන්නේ නැත. එමෙන්ම අන්ධයන් මෙන් යල් පැනපු පුස් ලෝඩන් සමාජවාදීන් හා චෙගුවේරාකාර සිස්ටම් චේන්ජ් විශ්වාස කරන්නේද නැත. එසේ නම් මෙවර ඡන්ද දායකයා ඡන්දය දිය යුත්තේ කාටද? ඒ කුමක් සඳහාද..?
ඡන්ද දායකයා මෙවර අවධානය යොමුකළ යුතු ප්‍රධාන කරුණු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය රැක ගැනීමයි. රට අරාජික කොට බලය අල්ලා ගැනීමේ සිස්ටම් චේන්ජ් අරගලකාරී චේගුවේරා කාරයන්ට අප රට මෙතෙක් රැකගත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය විනාශ කොට ඒකාධිපති උතුරු කොරියානු, කියුබානු, වෙනිසියුලානු, රුසියානු රාජ්‍යයන්ගේ තැනට ඇද දමන්නට ඡන්ද දායකයා ඉඩ දෙන්නේ නැත. සමාජවාදය හා සිස්ටම් චේන්ජ් කිරීමේ මුවාවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාව ඉරා දමා ඒකාධිපති ව්‍යවස්ථාවක් අනුව පාලනය කරන ලද රටවල මිනිසුන් කෝටි ගණනින් පීඩා විඳි අතර දස ලක්ෂ ගණනින් එම රජයන් විසින් මරා දමන ලදී. කාම්බෝජයේ පොල්පොට්, චීනයේ මාවෝ, රුසියාවේ ස්ටාලින් යටතේ රට වැසියෝ එසේ මැරුණහ, නැතිනම් මැරුම් කෑහ.
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ආරක්ෂාකර නොගතහොත් ඒකාධිපති කොමියුනිස්ට්වාදීන් ජාතික ගීය ඉවත්කොට විප්ලවීය ගීතයක් ආදේශ කරනු ඇත. සිංහ කොඩිය දැකැති මිටි රූපවලට හරවනු ඇත. වසර 2500ක අභිමානවත් ඉතිහාසය වළලා සමාජවාදී ඉතිහාසයක් හඳුන්වා දෙනු ඇත. පාසල් පාඨමාලා, පෙළපොත්, යනාදිය අලුතින් හඳුන්වා දී ලෝක සමාජවාය හා සමාජවාදීන් ගැන කියාදෙනු ඇත. ආගම් හා සාසනය තහනම් කොට නිරාගමික සමාජයක් බිහිකරනු ඇත. ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, දළදා මාලිගාව යනාදී බෞද්ධ සිද්ධස්ථාන වල්බිහිවනු ඇත. සැබෑ ජාතියේ පියාගේ පිළිරුව බිම අද දමා වෙඩි කා මැරුණු ත්‍රස්තවාදී නායකයෙකු ජාතියේ පියා ලෙස නම් කොට ස්මාරක තනනු ඇත. එබැවින් ඡන්ද දායකයා මෙවන් ව්‍යසනයකට ඉඩ නොතැබීමට බුද්ධිමත් විය යුතුය.
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය රැකගැනීමට ක්‍රියා නොකළහොත් රටේ ඉරණම නැවත වෙනස් කිරීමට නොහැකි වනු ඇත. එබැවින් නිදහසේ ජීවත් වීමට, නිදහසේ ඡන්දයක් ප්‍රකාශ කිරීමට, කැමති ආගමක් ඇදහීමට, කැමති දෙවියෙක් ඇදහීමට, නිදහසේ කතාකිරීමට, කියවීමට, ලිවීමට, ඉගෙනීමට, හැසිරීමට, ව්‍යාපාර කිරීමට, හරිහම්බ කිරීමට, ඇඳුමක් ඇඳීමට, ගමනක් බිමනක් යාමට ඇති සිය නිදහස හා අයිතිය සමාජවාදීන්ට පාවා දීමට ඡන්ද දායකයා ක්‍රියා නොකළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය රැක ගැනීම පිණිස ඡන්ද දායකයා මෙවර ඡන්දය පාවිච්චි කළ යුතු බැවින් සමාජවාදී රටවල ඒකාධිපති පාලනය හා ජන පීඩාව ගැන අන්තර් ජාලය ඔස්සේ හෝ කියවා විචාරවත්ව කල්පනා කළ යුතුය. සමාජවාදී රටවල පුරවැසියන්ට එම ක්‍රමය තිත්ත වී තිබෙන පසුබිමක එම පාලන ක්‍රම ඔස්සේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී උතුම් ගුණාංග හා උසස් නිදහස අහිමිකර ගැනීම අනාගත පරපුර විනාශ කර දැමීමකට සමාන බැව් තේරුම් ගතයුතුය. එබැවින් දිවි හිමියෙන් ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා රාජ්‍යය රැක ගැනීම සියලු ඡන්ද දායකයාගේ වගකීම හා යුතුකම වේ.
ඡන්ද දායකයා උනන්දු විය යුතු දෙවැනි කාරණය වන්නේ ආර්ථිකය හා ජන ජීවිතය අවම වශයෙන් අද පවතින මට්ටමේවත් තබාගෙන එය ක්‍රමයෙන් ඉහළට ගෙන යාමයි. විදුලිය, තෙල්, ගෑස්, බෙහෙත්, ආහාර, ප්‍රවාහන සේවා, ව්‍යාපාර යනාදී සියලු දේ කඩා වැටී තිබුණු ආර්ථිකය අද මේ තත්වයට ගොඩගෙන තිබෙන බව අමතක නොකළ යුතුය. සුරංගනා ලෝකවල සිටින විරුද්ධ පක්ෂ නායකයන්ට රටේ ප්‍රශ්න ඇතත් පොදු ජනතාවට එදා මෙන් අද ප්‍රශ්න නැත. එබැවින් බොහෝ ඡන්ද දායකයන්ගේ අපේක්ෂාව වන්නේ රටේ ආර්ථිකය හා ජීවන තත්වය අඩු තරමින් අද පවතින මට්ටමේ හෝ පැවතිය යුතුය යන්නය. මින් ඉදිරියට ආර්ථිකය සකස් කරගත යුත්තේ සීරුවෙන් හා උපාය ශීලී ලෙසය. තවද එය හෙමින් ගමනක් බවද දත යුතුය. ඉවසීමෙන් ක්‍රියා නොකළහොත් රට යළි නියත ලෙසම 2022 දී තිබුණු තත්වයට වඩා ප්‍රපාතයට වැටෙනු ඇත. එවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ඉන්දියාව, ජපානය, ඇමෙරිකාව වැනි කිසිදු රටක් උදව්වට නොඑනු ඇත. එසේ නම් වත්මන් ජීවන තත්වයවත් රැකගෙන සැලසුමක් ඇතිව කෙමෙන් ඉදිරියට යාම මිස අන් මගක් නැත. ඡන්දයේ දී වැරදි තෝරාගැනීමක් කළහොත් සැප්තැම්බර් 22 දාට ශ්‍රී ලංකාවේ අත්දැකීම වන්නේ ද වත්මන් බංගලි දේශයේ ඉරණමයි. ආර්ථිකයත්, ජන ජීවිතයත්, ආරක්ෂාවත්, සියල්ල එකවර අහිමි කරගැනීමට ශ්‍රී ලංකා ඡන්ද දායකයා නොපෙළඹෙනු ඇත.
ඡන්ද දායකයාගේ එම අභිප්‍රායයන් දෙක මුදුන් පමුණුවා ගැනීමට නම් ඒ සඳහා සුදුසුකම් ඇති අපේක්ෂකයෙකු බුද්ධිමත්ව තෝරාගත යුතුය. එහිලා ඡන්ද දායකයාගේ තෝරාගැනීම නිවැරදි වන්නේ කුමන නිර්ණායක මත දැයි විමසා බැලිය යුතුය. තෝරාගනු ලබන අපේක්ෂකයා ඉහත කී ජනතා අභිලාෂයන් ඉටුකර දීමට සමත් විය යුතුය. එමෙන්ම යළි ආර්ථික බිඳවැටීමක් නොවීමටත් දිගු කාලීනව ආර්ථිකය ඉහළ සංවර්ධන ඉලක්ක කරා ගෙනයාමටත් ඔහු සමත් විය යුතුය. එසේනම් වඩාත් සුදුසු ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමේ දී ඔහු සතුවිය යුතු ගුණාග කීපයක් කෙරෙහි ඡන්ද දායකයා බුද්ධිමත්ව අවධානය යොමු කළ යුතුව ඇත. ප්‍රධාන අපේක්ෂකයන් තුන් දෙනා අතුරින් පහත දැක්වෙන ගුණාංග දිස්වන්නේ කුමන අපේක්ෂකයාගෙන් දැයි ඔබ සාධාරණ ලෙසත් පක්ෂ දේශපාලනයට ඔබ්බෙනුත්ග් විමසා බලා එම අපේක්ෂකයා තෝරා ගතහොත් ප්‍රජාතන්ත්‍රීය, සාමකාමී, නිදහස්, හා සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් යළි ගොඩනැගීමට හැකි වනු ඇත.
පළමුවෙන්ම, ඔබ තෝරාගන්නා අපේක්ෂකයා සත්‍යවාදී හා ස්වාධීන විය යුතුය. කට වාචාල, කයිවාරු, හා බොරුවලින් තොර යතාවාදී, සත්‍ය කතා කරන, ඡන්ද දායකයාට රටේ තත්වය හා අනාගත අභියෝග පිළිබඳව සත්‍ය අවබෝධකර දෙන නායකයෙකු තෝරාගත යුතුය. සුරලොව සැප පෙන්වන, යුටෝපීය පාලන ක්‍රම ගැන විශ්වාස කරන, ජාත්‍යන්තර ප්‍රජාව මට්ටු කිරීමට පුරසාරම් දොඩන, ගොවිතැනින් රට සංවර්ධනය කිරීමට හැකි යැයි කියන පොල්පොට් පන්නයේ අපේක්ෂකයන්ගෙන් රටට වැඩක් නොව අවැඩක් සිදුවන බව වටහාගත යුතුය. එවැනි අප්පෙක්ෂකයන් සිය පක්ෂය හෝ පවුල දිනවීමට ක්‍රියාකරයි. එබැවින් පක්ෂ දේශපාලනයෙන් තොර අපේක්ෂකයෙකු තෝරාගැනීම වඩාත් යෝග්‍ය වේ. ඒ මක්නිසාද යත් පක්ෂයකට කොටු වී රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බැවිනි.
දෙවනුව, අප්ක්ෂකායාගේ රාජ්‍යතාන්ත්‍රික පළපුරුද්ද මෙන්ම කළ පුරුද්ද ද විමසා බැලිය යුතුය. අමාත්‍ය ධුර මෙන්ම අගමැති හා ජනාධිපති ධුර දැරීමෙන් ලත් පළපුරුද්ද අද රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රයෝජනවත් වේ. 2019 දී දේශපාලන පළපුරුද්දක් නොමැති අයෙකු ජනාධිපතිවරයෙකු ලෙස තෝරාගෙන රට අරාජිකත්වයට පත්වීමෙන් පාඩමක් ඉගෙන ගත යුතු අතර ඒ අනුව රාජ්‍ය තන්ත්‍රයේ කිසිදා පළපුරුද්දක් හා කළ පුරුද්දක් නොමැති අපේක්ෂකයෙකුට ඡන්දය දීමෙන් රෑ වැටුන වලේ දවල් වැටිය යුතු නැත. කළ පුරුද්ද යනු අතීතයේ දී යමක් කර ප්‍රතිඵල පෙන්වීමය. අතීතයේ දැරූ ඇමැති තනතුරු ඔස්සේ රටට කළ මෙහෙය ඒවායෙහි සදාතනික සාර්ථකත්වය, මහජනයාට සැලසුණු සේවය යනාදිය කෙරෙහි ඡන්ද දායක ඇස යොමුවිය යුතුය. එමෙන්ම බිඳවැටුණු ආර්ථිකයක් හා අරාජික රාජ්‍යයක් යළි ගොඩනැගීමෙහිලා සමත්කම් දැක්වූයේ කවුරුන්ද යන්න අමතක නොකළ යුතුය. එසේ නොකරන්නට අද රටේ තිබිය හැකි ව්‍යසනය තේරුම් කරගත යුතුය.
අපේක්ෂකයාගේ නායකත්ව ගුණාංග ජනාධිපත්වරනයක දී වැදගත් වේ. අද රටට අවශ්‍යව තිබෙන නායකයා ලංකා කුඩා දිවයිනට පමණක් සීමා නොවන පුළුල් දැක්මක් තිබිය යුතු කෙනෙකි. අභියෝග හමුවේ පලා නොගිය, වගකීම් භාර ගැනීමට එඩිතරව ඉදිරිපත් වූ, භාරගත් වගකීම් සාර්ථකව ඉටුකිරීමට සමත් වූ අපේක්ෂකයා කවුරුන් දැයි කල්පනාවට ගත යුතුය. වගකීම් හමුවේ පලායන, කොන්ද පණ නැති එහෙත් කටින් බතල සිටුවන නායකයන්ගෙන් රටට මෙන්ම හෙටටද අවැඩක් මිස වැඩක් නොවන බව ඡන්ද දායකයාගේ අවධානයට යොමුවිය යුතුය. පළමුව අභියෝගවලින් පලා ගොස් ප්‍රශ්න විසඳුනු පසු ආපසු පැමිණ කයිවාරු ගහන උදවිය අද අප රට සොයන නායකයන් නොවේ. එවැනි පුද්ගලයන් ජනාධිපති කමට තබා මරණාධාර සමිතියක සභාපතිකමටවත් නොගැලපේ.
අප තෝරාගන්නා අපේක්ෂකයා ජාතික නායකයෙකු විය යුතුය. අනුන්ගේ කුණු අවුස්සන, අනුන්ට අවලාද නගන, විදේශීය ඥානය අතින් දුප්පත්, චින්තනයෙන් දුප්පත්, ලෝක දේශපාලන දැනුමෙන් දුප්පත්, අනාගත දැක්මක් නොමැති අපේක්ෂකයන් ජාතික නායකයන් නොවේ. අනාගත දැක්ම, ලෝක භූ දේශපාලනය ගැන දැනුම, රාජ්‍ය පාලනයෙහි දක්වන පරිචය, ජාත්‍යන්තර පිළිගැනීම, කලාපීය සම්බන්ධතා, රටේ බහුවාර්ගික ගැටළු විසඳීමේ ක්‍රමෝපාය පිළිබඳ දැනුම යනාදිය ජාතික නායකයෙකු සතු ප්‍රධාන ගුණාංග වේ. සිල්ලර චින්තනය, සිල්ලර පොරොන්දු, අපි ආවොත් එසේ කරනවා, මෙසේ කරනවා, අපට විතරයි පුළුවන්, අපි පක්‍ෂයේ ප්‍රතිපත්ති රකිනවා, අවුරුදු 75ක් කිසිවක් කරලා නෑ යනාදි හිස් බස් දොඩන උදවිය ජාතික නායකත්වයට තබා ප්‍රාදේශීය සභාවක නායකත්වයටවත් කිසිදා සුදුසු නොවන්නේය. ජාතික නායකයෙකු යනු තමා හෝ තම පක්ෂය ගැන කතා කරන්නෙකු නොව රට ගැන කතාකරන විශ්වාසවන්තයෙකි, නිර්පාක්ෂිකයෙකි, එබැවින් සියලු ඡන්ද දායකයන්ට එකග විය හැකි සර්වපාක්ෂිකයෙකි.
තිස් දෙනෙකු පමණ වන අපේක්ෂකයන්ගෙන් ඉහත සඳහන් සුදුසුකම් සපුරන අපේක්ෂකයන් කී දෙනෙකු සිටීද? හුදු ප්‍රචාරණයෙන්, සෙනග පෙන්වීමෙන්, හා සිල්ලර පොරොන්දුවලින් ඡන්ද දායකයා නොමග ගියහොත් එහි ප්‍රතිවිපාක දරුණු වනු නියතය. ඒ මක්නිසාද යත් අද වන විටත් අපේ රටේ බංකොලොත් භාවයෙන් මුළුමනින් අප මිදී නැති බැවිනි. එබැවින් ඉදිරි වසර පහක කාලය සඳහා ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම බැරෑරුම් වගකීමකි. එබැවින් අවිචාරවත්, අදූරදර්ශී, අතාර්කික අපේක්ෂකයන් වෙනුවට දූරදර්ශී, විචාරවත්, තාර්කික අපේක්ෂකයා වෙන්කර ගැනීමට අප දක්වන සමත්කම තුළින් බංකොලොත් භාවයෙන් මිදීමටත් ආර්ථිකය හා ජන ජීවිතය උසස් මට්ටමකට ගෙන ඒමටත් හැකිවනු ඇත. එබැවින් පළපුරුද්ද, කළ පුරුද්ද, දක්ෂකම, දැනුම, දැක්ම, පිළිගැනීම, කීර්තිය යන නිර්ණායක මත මී ළඟ ජනාධිපතිවරයා තෝරාගනිමු. විකල්ප නැත.
Lanka Newsweek © 2024