මල්වල ඇත්තේ ලස්සනම පමණක් නොවේ ඇතැම් මල්වල ඖෂධීය වටිනාකම කියා නිම කළ නොහැකි තරම්ය. දෛනික ජීවිතයේ ඔබට ඇතිවන විවිධාකාර රෝගාබාධවලට ඔබේ ගෙවත්තේ මල් උපයෝගී කරගත හැකියි. මෙම ප්‍රතිකර්ම ඔබට අත් බෙහෙත් ලෙස සකසාගත හැකි වුවත් වෛද්‍ය උපදෙස් ලබාගෙන භාවිත කිරීම වඩා වැදගත් වෙයි.
මෙය පොකුරු වශයෙන් හටගන්නා කුඩා මලකි. ගිනි දලු පැහැති රතු පාටකින් යුක්ත වේ. ආයුර්වේදයේ කසාය, අරිෂ්ඨ ආදී බෙහෙත් සැකසීමේදී ඒවා පැසවීමට හා කල්තබා ගැනීමටත් මලිත මල යොදා ගනී. මලිත මල් වේලා කුඩු කර මී පැණි සමග ගැනීම අතීසාරයට හා අර්ශස් රෝගවලට ගුණදායක වේ. එමෙන්ම පිළිස්සුම් තුවාල සුව කිරීම සඳහා මලිත මල් කුඩු තල තෙල් සමග ආලේප කිරීමෙන් සුවය ලැබීමට හැකියාව ඇත.
රෝස මල බොහෝවිට ආයුර්වේද රූපලාවණ්‍ය කටයුතු සඳහා යොදා ගනියි. රෝස මල් වියලා මෙන්ම අමුවෙන්ද රූපලාවණ්‍ය කටයුතු සඳහා යොදා ගැනීම සිදු කෙරෙයි. රෝස මල් රැයක් වතුර වීදුරුවක පෙඟෙන්නට තබා දිය පානය කිරීමෙන් සිරුර සිසිල් වේ. හෘද රෝගවලට ද ගුණදායක වෙයි. එමෙන්ම කුරැලෑ සුව වීමට ද හොඳ ඔසුවකි. ලේ පිරිසිදු වීමෙන් සමේ රෝග දුරු කිරීමටත් රෝස මල් උපකාරී වේ.
පින්න මල පොකුරු වශයෙන් පිපේ. මෙය විශේෂයෙන්ම ආයුර්වේදයේ අර්ශස් සුව කිරීම සඳහා යොදා ගන්නා ඔසුවකි. අර්ශස් ගෙඩිවලට දුම ඇල්ලීම සඳහා ඉබිකටු, මොනරපිල්, පින්න මල්, උණලී කුඩු දමා දුම් ඇල්ලීම සිදු කරයි.
දාස්පෙතියා නැතිනම් බුද්ධ මල ආයුර්වේදයේ නහර ගැට ගැසීම් සඳහා යොදා ගන්නා ප්‍රබල ඖෂධයකි. එවැනි පුද්ගලයන්ට දාස්පෙතියා මල් තැම්බූ වතුරෙන් පාද තැවීමෙන් සුවදායක බවක් අත්කර ගත හැකි වෙයි. එමෙන්ම දාස්පෙතියා ගිතෙල් සමග අඹරා නහර ගැට ගැසී ඇති ස්ථානවල ආලේප කරයි. ඇස්වල ඇතිවන නගන සඳහා වතුර වීදුරුවකට පැයක් පමණ දාස්පෙතියා මල් දමා එම වතුර පුළුන් කැබැල්ලක ආධාරයෙන් නගනය මත ආලේප කිරීමෙන් සුවයක් ලැබිය හැකිය. මීට අමතරව හිස කෙස් සහ මුහුණ සේදීම සඳහා දාස්පෙතියා තැම්බූ වතුර යොදා ගැනීමෙන් සුවදායක බවක් ගෙන දෙයි.
සියඹලා මල් ව්‍යංජනයක් ලෙස ආහාරයට ගත හැකියි. අර්ශස් රෝග සඳහා මෙන්ම අතීසාරය සඳහා ද සියඹලා මල් ගුණදායක වෙයි. එමෙන්ම ආහාර රුචිය වැඩි කරවන ආහාර ජීර්ණය පහසු කරවන ආහාරයක් ලෙස හඳුනාගත හැකියි. මල බද්ධය වළක්වා ගැනීමටත් සියඹලා මල් උපයෝගී වේ.
කෙසෙල් මල් ග්‍රෑම් සීයක යකඩ මිලිග්‍රෑම් 56ක් තරම් ප්‍රමාණයක් තිබේ. යකඩ පමණක් නොව පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සින්ක් ආදී ඛනිජ වර්ග රැසකින් සමන්විත වේ. මෙය තන්තු බහුල ආහාරයක් නිසා මල බද්දය වළක්වාලීමට ද පිටුවහලක් වෙයි. එමෙන්ම කෙසෙල් මල් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව, අධික තරබාරුව, මානසික අවපීඩනය, හදවත් රෝග, පිළිකා රෝග, ස්නායු ආබාධවලට එය සුවදායක වේ. එමෙන්ම ඔසප් කාලයේදී කාන්තාවන්ට ඇතිවන වේදනාව සුව කිරීමටත් කෙසෙල් මල් ගුණදායක වේ. ගර්භනී හා කිරි දෙන මව්වරුන්ට ද ඉතා ගුණදායක ආහාරයක් ලෙස කෙසෙල් මල් හඳුනාගත හැකියි.
අශෝක මල් චර්ම රෝග සුවපත් කිරීම සඳහා යොදා ගනී. සම පැහැපත් වීම සඳහා අශෝක මල් වෙනි වැල් ගැට, සුදු හඳුන් සමග අඹරා ආලේප කිරීම සිදුකරනු ලබයි. එමෙන්ම බොහෝ කාන්තා රෝග සුව කිරීම උදෙසා අශෝක මල් යොදා ගනු ලබයි. කුඩා දරුවන් නෑවීම සඳහා මෙම අශෝක මල් යොදා ගනු ලබයි
කතරුමුරුංගා මල් යකඩ කැල්සියම් මෙන්ම පිළිකා මර්දන ගුණයෙන් හා විටමින් වර්ග රැසක් අඩංගු ආහාරයක් ලෙස හඳුනාගත හැකියි. පණු රෝග, ස්වසන රෝග, අක්ෂි රෝග ආදී විවිධ රෝග රැසකට කතුරු මුරුංග මල් ගුණදායක වේ. එමෙන්ම උගුර වන වීමට හා සිරුරේ උෂ්ණාධික බව නැසීමට ද කතුරුමුරුංගා මල් ගුණදායක වේ.
නෙළුම් මල් පෙති රූපලාවන්‍ය සත්කාර සඳහා බහුලව යොදා ගනී. සමට තෙතමනය ලබා දීම, සම රැළි වැටීම අවම කිරීම, සම පැහැපත් කිරීම මෙන්ම හිසකෙස් සම්බන්ධ රෝගවලට නෙළුම් මල් පෙති යුෂ භාවිත කරයි.
Lanka Newsweek © 2024