Sunday 31st of May 2026

English Tamil
Advertiesment


ඡන්දයෙන් අගතියට පත් වෙන්න එපා


2024-08-20 14912


 

සතර අගතියට නොයා ඉන්නට පාලකයෝ උත්සාහවන්ත වෙත්වා!

 

මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයකු පත් කර ගන්නට දින තීරණය කර තිබේ. නුදුරේදීම එම ඡන්දය පැවැත්වෙනු ඇත.

 

ශ්‍රී ලංකාව ස්වාභාවික සම්පත් අනූන රටක්. අති දක්ෂයින් ඉන්න රටක්. ආධ්‍යාත්මික දියුණුවට, බාහිර දියුණුවට ඕනවටත් වඩා මඟපෙන්වන ඒ උතුම් බුදු දහම සුරක්ෂිතව තිබෙන රටක්. රට දියුණු කරන්න කාට හෝ වුවමනාව තිබෙනවා නම් ඒ සඳහා අවශ්‍ය සම්පත් ඕනවටත් වඩා පිරිලා උතුරන රටක් වන්නේ සුන්දර ශ්‍රී ලංකාවයි.

අතීතයේ මේ ලක් ධරණී තලයේ දියුණුවේ ස්වභාවය බලන්නට අවශ්‍ය ඕනෑම කෙනෙකුට රටේ ඕනෑම තැනකින් සාක්ෂි ඕනෑතරම් හමු වේ. අද දියුණු සමහර රටවල් ආරම්භ වෙන්නත් පෙර, ඔවුන් වැදි යුගයේ සිටින විට, ශ්‍රී ලංකාව අනුරාධපුර රාජධානියෙන් පටන් ගෙන සතුරු ආක්‍රමණ රැසකට මුහුණ දී, රාජධානි කිහිපයක් පසු කර ආවත්, අතීත ශ්‍රී ලාංකිකයින් මේ රට එකලට ගැළපෙන ලෙස ඉතාමත්ම ඉහළින් දියුණු රටක් ලෙස පවත්වාගෙන එන්නට විය.

1505 න් පසුව සියල්ලම කණපිට හැරෙන්නට විය. අද එම ආක්‍රමණවල ප්‍රතිඵලයන්ගේ දිගුවක් ලෙස රාජාණ්ඩු අහෝසි වී, ප්‍රජාතන්ත්‍රවාදී මහජන ඡන්ද බලය වෙනුවෙන් කුළල් කා ගන්නා පිරිසක් නිර්මාණය වී තිබේ. ඔවුන් රට, ජාතිය, ආගම, සංස්කෘතිය ආදිය ගැන සිතන්නේම නැත. බුදු දහම වැනි සෑම ඉසව්වක් ගැනම කතා කරන නවීන විද්‍යාව ඉක්මවා ගිය සැබෑ විද්‍යාවේ වටිනාකමවත් ඔවුන් දන්නේ නැත. ඔවුනට ඒවා සිතන්නට වේලාවක් නැත. මේ බලපොරයේ සිටින අයට අවශ්‍ය එකම දෙය බලය පමණි. ඔවුන් බලය ලබා ගැනීමට නොකරන දෙයක් නොමැත.

 
වර්තමාන දේශපාලකයන්

 

මේ රට විනාශ කළ එකම පිරිස වර්තමාන දේශපාලකයන් ය. එම දේශපාලනය නොකෙරෙන තැනක් නැත. තමන්ගේ ගෙදර සිට, රැකියාව කරන තැන, ගම, පළාත, රට, සියලුම ආගම්, ආයතන, පාසල්, විශ්වවිද්‍යාල සහ සමිති සමාගම් ආදී මෙකී නොකී සෑම තැනක්ම දේශපාලනය විසින් ගොදුරු කරගෙන අවසන් ය. මහජන ඡන්දය ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින සියලුම ඡන්ද බලය හිමි අයගේ අයිතියකි.

ඒ “ඡන්දය” ඒ සුන්දර ශ්‍රී ලංකාවට සියල්ලම අහිමි කළ මහා විනාශයේ බල මාරුවයි. නුදුරේදීම එහි තවත් ප්‍රධාන ඡන්දයක් පැවැත්වීමට සූදානම් වෙමින් පවතියි.

බුදු දහමේ උගන්වන තවත් ප්‍රධාන කාරණාවක් වන්නේ සතර අගතිය යි. කිසිම හේතුවක් මත සතර අගතියට නොයා සිටින්නට නුවණැත්තා වග බලාගත යුතු ය. සතර අගතිය එක්තරා පාප ධර්ම කොටසකි. ඡන්දාගතිය, දෝසාගතිය, භයාගතිය, මෝහාගතිය කියන්නේ එම සතරයි. මේ අගතියට යන්නෝ ඒකාන්තයෙන්ම පිරිහෙන්නෝ ය. වර්තමාන ශ්‍රී ලංකාවේ මේ හතරම කිසිම අඩුවක් නැතුව තිබේ.

සතර අගතිය නම් :-

“ඡන්දා දොසා භයා මොහා – යො ධම්මං අති වත්තති

නිහීයති තස්ස යසො – කාලපක්ඛෙව චන්දිමා”

තේරුම:- “යමෙක් ඡන්දය නිසා ද, ද්වේෂය නිසා ද, භය නිසා ද, මෝහය නිසා ද යුක්තිය ඉක්මවා ක්‍රියා කෙරේ ද ඔහුගේ යසස කාල පක්ෂයේ චන්ද්‍ර‍යා පිරිහෙන්නාක් මෙන් පිරිහෙන්නේ ය” යන්න එහි අදහසයි.

1. ඡන්දාගතිය යනු කියන්නේ කිසිවකුට ඇති ඇල්ම නිසා, යුක්තිය ඉක්මවා ඔහුට වාසි වන සැටියට හා අනෙකාට අවාසි වන සැටියට ක්‍රියා කිරීමයි. යුක්තිය, සර්ව සාධාරණත්වය, මානුෂිකත්වය, සමාජ සදාචාරය, සමානාත්මතාව ආදිය නොතකා යම් යම් දේ ගැන සහ පුද්ගලයින් ගැන ඇති කැමැත්තයි.

එක් අයෙකුට හෝ එක් පක්ෂයකට ඇති ඇල්ම නිසා සමාජ යහපත හිතන්නේ නැත. තමන්ගේ ඇති, අන්තයට ගිය කැමැත්ත නිසා හොඳ නරක නොතකා, ඔහුට වාසි වන සැටියට, අනෙකාට අවාසි වන සැටියට ගන්නා ඒ අන්තවාදී කැමැත්ත ඡන්දාගතිය වේ.

2. දෝසාගතිය යනු ද්වේෂය නිසා විරුද්ධකාරයාට අවාසි වන සැටියට යුක්තිය ඉක්මවා ක්‍රියා කිරීම ය. පාලකයා විරුද්ධ පක්ෂය හෝ පුද්ගලයන්ට ඇති අකැමැත්ත නිසා ඔවුන්ගෙන් පළිගන්නට ඔවුන්ට අවාසි වන ලෙස කටයුතු කිරීම ආදිය යි.

3. භයාගතිය යනු යම් කිසිවකුට බියෙන් ඔහුට වාසි වන සැටියට යුක්තියට පිටුපා ක්‍රියා කිරීමයි.

4. මෝහාගතිය යනු යුක්තිය, අයුක්තිය විසඳාගැනීමේ නුවණ මඳකමින් යුක්තිය ඉක්මවා ක්‍රියාකිරීමයි.

මේ සතර අගතියට නොයා සිටිය හැකි නම් ශ්‍රී ලංකාව මේ වන විට දියුණුවේ හිණි පෙත්තටම පැමිණ අවසන්‍ ය. නමුත් ශ්‍රී ලාංකිකයන්ගේ සතර අගතියට පත්වීම සියලුම දියුණුව විනාශ කර තිබේ.

බොහෝ දෙනා බටහිර රටවල් සහ දියුණු රටවල් වර්ණනා කරමින් ශ්‍රී ලංකාව හෑල්ලු කරමින් සිටී. ඔවුනට ඕන වන්නේ ලංකාව ද බටහිර පන්නයට හැඩගස්වා ගන්නට ය. ඇත්තෙන්ම බටහිර රටවල් කුමන හෝ හොඳ, නරක දේවල් කරමින් මුදල් උපයා ගත්තත් ඒ ඇතුළත කතාව එතරම් සුබවාදී එකක් නොවේ. ඔවුනගේ වර්තමාන දියුණුව පිටුපස ඇති අතීත කතාව කළු එකකි. බටහිර ගැති අදහස් ඇත්තෝ ලාංකේය සංස්කෘතියට සහ ශිෂ්ටාචාරයට දොස් කියන්නට බොහෝ උත්සාහ කළත් බටහිර සංස්කෘතියේ ඇති ගන්නට දෙයක් නැත. ලෞකික දියුණුවට අදාළ බොහෝ දේවල් ඉගෙනගත හැකි වූවත් ඔවුනගේ නීතියට වඩා අපේ රටේ නීතිය හොඳ මට්ටමක පවතියි. මේ රටට අවශ්‍ය වන්නේ නීති පැනවීම නොවේ. තිබෙන නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමයි. නමුත් අවාසනාවකට සතර අගතියෙන් අගතැන්පත් පාලකයින් විසින් එය සිදු කරන්නේ නැත.

 
ආත්මාර්ථකාමී ජීවිත

 

බටහිර දියුණු රටවල් යැයි කියා ගන්නා බොහෝ රටවල ජීවත් වන්නෝ දැඩි ආත්මාර්ථකාමී පිරිසකි. බොහෝවිට තමන් ගැන පමණක්ම හිතන ඔවුන්ගේ ජීවිතය ඉතාමත්ම ඒකාකාරී එකකි. අපි එය මෙසේ පෙළගස්වමු.

උපතේ පටන් නව යොවුන් විය දක්වා මවුපිය සෙවණේ සිටියත් ඔවුනගේ අධ්‍යාපන ක්‍රමවේදයේ මූලික ටික අවසන් වන විට දැඩි ස්වාධීනකමක් දරුවාට ලබා දේ. ඇතැම් සුළු පවුල් කිහිපයක් හැර බහුතරයක් ළමයින් දැලි රැවුල් එද්දීම මුදල් සොයන්නට පෙලඹෙන අතර ඔවුන්ගේ ආශාවන්ට ප්‍රමුඛස්ථානය දේ. මවුපියෝ ද ළමයින්ගෙන් නිදහස් වන්නට ඉක්මනින්ම උත්සාහ කරති. බටහිර රටවල ගුණධර්ම කියා දෙන, උගන්වන වැඩපිළිවෙළක් නැති අතර නීතියට දැඩිව හිස නමන වැඩපිළිවෙළක් පමණක් ඇත. නීතිය දැඩි ය. ගුණධර්ම නැති ය. ආත්මාර්ථකාමීත්වය දැඩිව රජයයි.

බොහෝ බටහිර රටවල දරුවන් වයස අවුරුදු 16, 18 වන විටම රැකියාවක් සඳහා යොමු වේ. ඔවුනට ආශාවන් පසුපස්සේ යන්නට ඕනෑතරම් නිදහස ලබා දෙයි. වයස අවුරුදු 18 සම්පූර්ණ වී තවදුරටත් මවුපියන්ගේ නිවෙසේ සිටිනවානම් මවුපියන් දරුවන්ගෙන් ඒ සඳහා කුලිය ඉල්ලා සිටින තරමටම ඔවුන් මුදල් පසුපස හඹා යයි.

බටහිර බහුතරයක් රටවල් සති දෙකෙන් දෙකට මහජනතාවට පඩි ගෙවන අතර ඔවුන් අතින් මුදල් ඉතුරු කර ගන්නට ඉඩ නොදී වියදම් කරන්නට නම් ක්‍රම, විධි රාශියක් නිර්මාණය කර තිබේ. ඒවායින් බහුතරයක්ම ක්‍රම සවසට බාර් එකට යන්නත්, සමාජශාලා, කැසිනෝ සහ ට්‍රැවලින් කරන්නත් ආදිය ය. කෑම බීම ද වැඩි වශයෙන් මස් මාංසම වේ. එළවළු වර්ග පමණක් ආහාරයට ගන්නා පිරිස් ද තරමක් සිටිති. සෑම මොහොතක්ම ඇත්තේ ඒ මොහොත ගෙවා දැමීමට පමණක් වන අතර මානුෂීය ධර්ම නම් ඉතාමත්ම අඩු ය. රැකියාව අනුව මනින සමාජ පන්ති ක්‍රමයක් නැති වුවත් දරුවාගේ සිට මහලු පුද්ගලයා දක්වාම නීතිය අනුව හැඩගස්වන නිසා ඉතා දැඩි විනයක් තිබේ.

කලින් වැටුපෙන් කපා ගත් ස්වභාවය අනුව විශ්‍රාම වැටුප් ක්‍රමයක් සෑම පුරවැසියකුටම දෙයි. ඔස්ට්‍රේලියාව වැනි රටවල රැකියා නොකරන අයට ද යම් වැටුපක් ගෙවන අතර, මේ සෑම සමාජ ස්ථරයක්ම ආශාව, ගැටීම් ආදිය මුල කරගෙනම පවතියි.

අඹුසැමි බැඳීම්වලට කල්පැවැත්මක් නොමැති තරම් ය. දූ දරු බැඳීම් ද එසේය. බොහෝ බැඳීම් ඉක්මනටම කෙළවර වේ. දික්කසාද නඩු බුරුතු පිටින් ගොඩ ගැසෙන අතර, හැමෝම දුව යන්නේ ආශාවන් පසුපසමය. තරුණ කාලයේදී ලස්සන විශාල නිවාස තිබුණත් වයසට යන විට ඒවා විකුණා දමා බෙහෙවින් සංචාරක ජීවිතයක් ගෙවා දමයි. ඒ අති බහුතරයක් විශාල රටවල වාහනය පිටුපසම කුඩා ගෙයක් වැනි වාහනයක් සවි කරගෙන ට්‍රැවලින් කරයි.

දරු මල්ලෝ ද වෙන්ව ගිය පසුව මවුපියන් සමඟ සම්බන්ධයක් ද නැති තරම් ය. බොහෝ වයසක අය කුලියට නිවාස දී අමතර ආදායම් මාර්ගයක් සලසා ගනියි.

 
නිරාගාමික ලේබලය

 

බටහිර බොහෝ රටවල ජීවත් වන්නෝ උච්ඡේද දෘෂ්ටිකයෝය. ඔවුහු සියල්ලම මේ ජීවිතයෙන් අවසන් වේ යැයි විශ්වාස කරති. අතීතයේ බහුතරයක් කිතුනුවන් වූවත් දැන් බහුතරයක් නිරාගමිකයන් වේ. ඒ ලංකාවේ මෙන් නිරාගමික ලේබලය ගසාගෙන බුදු දහමට විරුද්ධව කටයුතු කරන කඩාකප්පල්කාරීන් මෙන් නොවේ. සැබෑ නිරාගමිකයෝය. ඔවුහු ඇති තාක් කා බී, කම්සැපම විඳිමින් ජීවත් වෙති. ජීවිතයේ සැඳෑ කාලයේදී දූ දරුවන් ද වෙන්ව සිටින නිසා තමන්ගේ සම්පත් විකුණා දමා මහලු මඩම්වලට ගොස් අවසාන භාගය ගත කරති.

සමහරුන් වයසට යන විට හෝ සුව නොවන ලෙඩ රෝග වැලඳෙන විට නීත්‍යානුකූල අයිතිය ඇති නිසා අවසර ගෙන සිය දිවි නසා ගනිති. සර්වබලධාරී දෙවි කෙනෙක් වෙත යාමට හෝ උච්ඡේද දෘෂ්ටිය අනුව සියල්ල මෙතෙකින් අවසන් වේ යැයි සිතන බහුතරයකගේ අදහස් හා විද්‍යාව ආදිය කවලම් වී පවතින බටහිර ලෝකයා වුවත් හැකි තරම් සතර අගතියට නොයා සිටිති. බුදු දහම එම රටවල නැති වුවත් සතර අගතියට නොයා ඉන්නට ඔවුන් ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා එම රටවල් දියුණුවේ හිණිපෙත්තටම ගොස් තිබේ.

ලංකාවේ ජීවත්වන ඇතැමුන් බටහිර රටවල මෙන් ජීවිත ගෙවන්නට සිහින දකී. කා, බී, විනෝද වී ජීවිතය අවසන් කර ගන්නට පමණක් සිතති. සියල්ලම මෙතෙකින් අවසන් වේ යැයි උච්ඡේද දෘෂ්ටි ගන්නා බොහෝ දෙනා තමන් ළඟ තිබෙනා මුළු ජීවිතයම හැම අතින්ම පෝෂණය කරන බුදු දහමේ වටිනාකම හඳුනන්නේ ද නැත. සතර අගතියට යන්නට එපා පිරිහෙනවා යැයි කොතෙක් කීවත් ලාංකිකයා යන්නේම අගතියටයි. ඒ නිසා ඔවුන් මේ වන විටත් බොහෝ දේ අහිමි කරගෙන අවසන් ය.

බුදු දහමේ උගන්වන ක්‍රමවේද අනුව කටයුතු කරනවා නම් අතීතයේ මේ රට ස්වයංපෝෂිත කර ගත්තාක් මෙන් අනාගතයේදී ද දියුණුවේ හිණිපෙත්තටම රැගෙන යා හැකි ය. නමුත් එය කරන්නට ශ්‍රී ලාංකිකයාට බැරිය. වත්මන් ශ්‍රී ලාංකිකයා යන්නේම අගතියටය. ඡන්දයෙන් අගතියට පත්ව කටයුතු කරන ආකාරය නුදුරේදීම දැක බලා ගත හැකි වේ.

Advertiesment