Tuesday 19th of November 2019

English Tamil
Advertiesment


සිහළ ‘ෆ’අකුරේ නිර්මාතෘ මහා පඬි මැන්දිස් ගුණසේකර වාසල මුදලි..!


2017-12-17 1168

(දේ.සු.ද. සොයිසා)

අපේ රටේ ජීවත් වූ මුදලි මුහන්දිරම් ආදි තනතුරු ලැබුවන් ගෙන් තම භාෂාවේ දියුණුවට තමා ජීවත් වන ජන සමාජයේ අධ්‍යාපනික දියුණුවට කි‍්‍රයා කළ මුදලිවරු ප‍්‍රමාණය ඉතා අල්පය. තමා උපන් ජාතියේ මව් භාෂාවට අතිවිශාල මෙහෙවරක් සිදු කළ මුදලි පදවියක් දැරූ මහා පඬිවරයෙකි, තිරිමාදුර ඒබ‍්‍රහම් මැන්දිස් ගුණසේකර විජය ශී‍්‍ර වර්ධන වාසල මුදලිවරයාණෝ.

ඔහු පිළිබඳව හැඳින්වීමක් කරන ජර්මන් ජාතික ලෝක ප‍්‍රසිද්ධ පඬිවරයෙකු වූ විල්හෙල්ම් ගෙගර් මහතා මෙසේ පවසා ඇත. ‘‘ලංකාවේ පමණක් නොව යුරෝපයේවත් භාෂාවන් පිළිබඳ ඒ මැන්දිස් ගුණසේකර මුදලිතුමන් තරම් අතිවිශාල දැනුමක් තිබෙන පුද්ගලයෙකු සොයා ගැනීම දුෂ්කර ය. ලංකාවේ විසූ ප‍්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතා තමාගේ පුරාවිද්‍යාත්මක දැනුම භාෂමය ඥානයෙන් ඔසවා තබන්නට ඒ මැන්දිස් ගුණසේකර මුදලිවරයා ගෙන් ලැබුණු සහාය ඉතා විශාල බවත්, ඔහුගේ උසස් භාෂා දැනුම නිසා තමා හට බොහෝ පුරාවිද්‍යාත්මක කරුණු නිරවුල් කර ගන්නට හැකි වූ බවත් පවසා ඇත.

මෙලෙස විදේශීය  පඬිවරුන් ගෙන් කිත් පැසසුම් ලද මෙම උගත් පඬිවරයා සිංහල බසට සිදුකළ මහ මෙහෙවර කිසිම පඬිවරයෙකුට දෙවැනි නොවන බව ද පෙන්වා දිය යුතු ය. සිංහල භාෂාවේ පැවැත්ම, උන්නතිය, හා අනාගතයට දැනුම, අවබෝධය ලබාදෙන සිංහල මහා ශබ්දකෝෂයේ පළමුවන මුද්‍රිත කාණ්ඩය නිකුත් කර මෙම වසරට 80 වසරක් සපිරේ. සිංහල ශබ්දකෝෂය එළි දැක්වීමේ කටයුතු ආරම්භ කර වසර 90 ක් සම්පූර්ණ වීම ද මෙම වසරට සිදුවේ. සිංහලය පරයා ඉංගී‍්‍රසිය රජ කර වූ යුගයක ඉංගි‍්‍රසි ආණ්ඩුවේ ද සහය ඇතිව මෙරට සිංහල මහා ශබ්දකෝෂය බිහි කරන්නට එම ශබ්දකෝෂයක අවශ්‍යතාවය රටට පෙන්වා දුන් පඬිවරයා ද ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලිවරයාණන් ය. එතුමා බිහි වී නොසිටියා නම් අප රටට හෙළබසට ශබ්දකෝෂයක් බිහිවීමට ඉඩකඩ නොලැබෙන්නට තිබුණි.

වර්ෂ 1923 දී එවකට මෙරට සිටි ඉංගි‍්‍රසි ආණ්ඩුවට සිංහල භාෂා ශබ්දකෝෂයක අවශ්‍යතාවය පෙන්වා දී එය නිර්මාණය කිරීමට අප රටේ අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට ලිපියකින් දන්වා ඉල්ලා සිටියේ මෙම මුදලිවරයාය. එම යෝජනාව රාජකීය ආසියාතික සමිතියට ඉදිරිපත් වූයෙන් වර්ෂ 1926 සිට සිංහල මහා ශබ්දකෝෂයේ කටයුතු ආරම්භ විය. එයින් වසර 11කට පසුව සිංහල මහා ශබ්දකෝෂයේ පළමු කාණ්ඩය 1931 දී එළි දක්වන ලදී. එහි සංඥාපනයේ මෙසේ සඳහන් කර ඇත.

"දීර්ඝ කාලයක් අමතකව තිබුණු සිංහල ශබ්දකෝෂයක අවශ්‍යතාවය ඉදිරිපත් කිරීමේ ගෞරවය කථා ශේෂභාවෝපගත ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලිතුමාට අයිතිවේ’" යනුවෙනි.

මේ අයුරින් 1926 දී ආරම්භ කළ සිංහල ශබ්දකෝෂය ලියා අවසන් කිරීම සඳහා ගෙවී ගිය කාලය වසර 67 කි. 1993 වසරේදී සිංහල ශබ්දකෝෂය ලියා අවසන් කර එවකට ජනාධිපතිව සිටි රණසිංහ පේ‍්‍රමදාස මහතාට එය පිළිගන්වන්නට ශබ්දකෝෂ කාර්යාලය හා එහි සම්පාදක මණ්ඩලය කටයුතු කළහ.

නව අකුරක් නිර්මාණය කිරීම

සිංහල භාෂාව ලියන විට දී ‘ෆ’ ශබ්දය වෙනුවෙන් සැකසුන අක්ෂරය යෙදුමේ දී ඉංගි‍්‍රසි භාෂාවේත්‍ අක්ෂරය උපයෝගී කරගෙනය. උදාහරණ වශයෙන් ටොපි, පැෂන්, පාමසි, පිල්ටරය, එප්, පැමිලි, යනාදි වචන සඳහා ‘ප’ අකුරට එම අකුර මතත්‍ අකුර යෙදුනු බව පෙන්වා දිය හැක. මෙම භාෂා විකෘතිය නිරවුල් කරන ලද්දේ, ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලිතුමන් විසිනි. මෙතුමන් විසින් වර්ෂ 1897 වසරේ ලියා පළ කරන ලද ‘ඥානාදර්ශය’ නම් සඟරාව මෙරට සඟරා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ශාස්තී‍්‍රය ධන නිධානයකි. මෙතුමා මෙම සඟරා කලාපයකින් නිවේදනය කළේ තමා මෙතැන් සිට ‘ත්‍’ ශබ්දය ප‍්‍රකාශ කිරීම සඳහා නව අක්ෂරයක් ලෙස ‘ෆ’ අක්ෂරය යොදා ගන්නා බවයි. මීට වසර 110කට පමණ පෙර යොදාගත් ‘ෆ’ අක්ෂරය ඉංගි‍්‍රසි ආණ්ඩුවේ ද අධ්‍යාපන මණ්ඩලය විසින් පිළිගෙන අනුමත කරන්නට යෙදුණි. එය අද සිංහල භාෂාවේ වචන නිර්මාණයේ දී ප‍්‍රයෝජනයට ගනු ලබන පිළිගත් අකුරක් වේ. ඒ නිසා ‘ෆාමසි’, ෆැන්ටා, ෆැෂන්, ටොෆි, ෆිල්ටර්, ඇෆ් ආදි වචන ලිවීමේදී මේ අකුර භාවිතයට ගැනේ. එහි ගෞරවය හිමි වන්නේ ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලි පඬිවරයාණන්ට ය.

ශබ්දකෝෂ දෙකක් නිර්මාණය කිරීම

වර්තමානයේ ඉංගි‍්‍රසි බස උගන්නා පිරිසට විශාලතම අත්වැල සපයන්නේ මලලසේකර ඉංගි‍්‍රසි සිංහල ශබ්දකෝෂයයි. නැතිනම් ඒ.පී.ද සොයිසා ලියූ ‘ද සොයිසා’ ශබ්දකෝෂයයි. නමුත් අප රටේ පළමු සිංහල ඉංගි‍්‍රසි ශබ්දකෝෂයත්, ඉංගි‍්‍රසි-සිංහල ශබ්දකෝෂයත්, යන ශබ්දකෝෂ දෙකම ලියා පළ කළේ මෙම මුදලිතුමන් විසිනි. ඒ අනුව වර්ෂ 1905 දී ඉංගි‍්‍රසි සිංහල ශබ්දකෝෂය ලියා පළකර ඇත. දෙවනුව එයින් වසර 10කට පසුව 1915 දී සිංහල ඉංගි‍්‍රසි ශබ්දකෝෂය ලියා එළි දක්වන ලදී. මෙම ග‍්‍රන්ථයට වචන විසිදහසක් ඇතුළත් කර තිබුණි. මේ අනුව ගුණසේකර වාසල මුදලි පඬිතුමන් මෙරට ශබ්දකෝෂ ග‍්‍රන්ථ නිර්මාණයේ පියාණන් ලෙස හැඳින්වීම නිවැරැදිය.

වෙනත් ග‍්‍රන්ථ සම්පාදනයන්

ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලිතුමන් ප‍්‍රථමයෙන් ග‍්‍රන්ථ සම්පාදනයට යොමු වන්නේ බලපිටිය වැලිතර හාරඹ වලව්වේ විසූ ලූවී ද සොයිසා විජයසේකර මහා මුදලිතුමන් මහාවංශය ඉංගි‍්‍රසියට පරිවර්තනය කිරීමත් සමඟය. මෙම කාර්යයේ දී එතුමාගේ ප‍්‍රධාන සහකරුවා වන්නේ ගුණසේකර මහතාය. ඒ වන විට එතුමා කළුතර කච්චේරියේ ලේකම්වරයෙකු වශයෙන් සේවයේ යෙදී සිටි සමයයි.

ලංකාවේ විවිධ තනතුරු දරමින් ආණ්ඩුවේ සේවය කරන ඉංගි‍්‍රසි නිලධාරීන් හට සිංහල භාෂාව නොදැනීම නිසා සිදුවූයේ විශාල අවුලකි. එම නිසා නවක නිලධාරීන්ට සිංහල දැනගැනීම අවශ්‍යම කාරණාවක් විය. නමුත් සිංහල ඉගෙනගන්නට අවශ්‍ය දැනුම ගෙනෙන සරල ඉංගි‍්‍රසි සිංහල ව්‍යාකරණ ග‍්‍රන්ථ නොවීම මහත් පාඩුවක් විය. එබැවින් 1891 දී ඉංගි‍්‍රසි ජාතිකයනට සිංහල ඉගෙනීම සඳහා සරලව ඉංගි‍්‍රසි සහ සිංහල දෙබසින් ලියූ ව්‍යාකරණ පොතක් මුදලිතුමා විසින් ලියා ඉංගි‍්‍රසි ආණ්ඩුවට පිළිගැන්වීය. පිටු 530ක් පමණ වූ මෙම පොත ඉංගි‍්‍රසි ආණ්ඩුව විසින් පිළිගෙන රජයේ වියදමින් මුද්‍රණය කරවා බෙදා හරින ලදී. 1962 වසරේදී ද, එවකට තිබූ රජය මඟින් මෙම පොත නැවත මුද්‍රණය කර ඇත. මෙම ග‍්‍රන්ථය කියැවූ ඉන්දීය රාජ්‍ය පුස්තකාලාධිපති පදවිය දැරූ ආර්. රෝසට් මහතා ගුණසේකර මුදලිතුමාට ලිපියක් එවමින් යුරෝපීය අධිරාජ්‍ය තුළ පළමු පුස්තකයන් අතර උසස් පොතක් ලෙස මෙම ග‍්‍රන්ථය ගිනිය හැකි බව දන්වා තිබුණි.

පැරැණි සිංහල පොත් අතරට ගැනෙන හෝඩිය නම් පොත, මඟුල් ලකුණ, ගණදෙවි හෑල්ල, වදන් කවි පොත, බුද්ධ ගද්‍යය, සකස්කඩය, නාමාෂ්ඨ ශතකය, ව්‍යාසකාරය, අමරකෝෂය, ආදි සියලූ පොත් එකතු කර සැකසූ නව ග‍්‍රන්ථයක් පිටු 300කින් පමණ සකසා ‘ග‍්‍රන්ථාර්ණවය’ යනුවෙන් මුදලිතුමන් ලියා පළකරන්නට යෙදුණි. ශී‍්‍ර සද්ධර්ම කෝෂය නමින් මුදලිතුමා ලියූ ශාසනික ග‍්‍රන්ථයට සමාන එවන් බෞද්ධ කෝෂ ග‍්‍රන්ථයක් තවමත් පළ නොවූ බව විද්වත් මතයයි.

සඟරා

මෙරට සඟරා ප‍්‍රකාශයේ දී ගුණසේකර මුදලිතුමා වර්ෂ 1896 සිට 1905 දක්වා වාර්ෂිකව ලියා පළ කළ සඟරා සමූහය ඥානාදර්ශයයි. එම සඟරා තරම් විවිධ තොරතුරු උපදේශ ආදියෙන් යුතුව පළමු වෙනත් සාරගර්භ සඟරාවක් අප රටේ මෙතෙක් පළ වී ඇතිදැයි සැකයකි. මීට අමතරව මෙතුමා ලියා පළ කළ පොත්පත් අතර ගුත්තිල කාව්‍ය, සාධුචරිතෝදය හා වත්තක්ඛන්ධය, කුස ජාතකය, ලංකා කතාව, අරාබි නිසොල්ලාසය ඈ ග‍්‍රන්ථ ප‍්‍රධාන තැන්හිලා සැලකිය හැක.

මේසා විශාල ශාස්තී‍්‍රය සේවාවක යෙදුණු මේ මහා ප‍්‍රඥායාගේ ජීවන තොරතුරු ද අප රටවැසි පාඨකයන් දැනගෙන සිටීම ද, ඉතා වටිනා කාරණයක් වන්නේ යැයි සිතමි.

දකුණු සිරිලක බලපිටිය ප‍්‍රදේශය මෙතුමන්ගේ ජන්ම භූමියයි. වාදීභසිංහ මිගෙට්ටුවත්තේ, ශී‍්‍ර ගුණානන්ද මාහිමියන් පළමුවරට පැවිදි වූ බලපිටිය ශී‍්‍ර සුභද්‍රාරාම පුරාණ රාජ මහා විහාරයට යාබඳ වූ භූමිය මෙම මුදලිතුමන් ජීවත්වූ නිවෙස ඇති තැනය. බලපිටිය ප්‍රදේශයේ ඇති වලව් තිස් දෙකකින් එක් වලව්වක් වන මෙම ගෘහය අදටත් පෞරාණික භාවය සුරැකෙමින් තිබෙනු දැකිය හැක. ‘බස්නායක වලව්ව’ ලෙස හඳුන්වන මෙම ස්ථානය අතීතයේදී ප‍්‍රදේශයේ දරුවනට අධ්‍යාපනය ලබාදුන් ශිල්ප ශාලාවක් ද පිහිටා තිබුණ ස්ථානයකි. කුමාරණතුංග මුනිදාස පඬිවරයාණන් කුඩා කළ බලපිටියට අවුත් නැවතී මෙම සිප්හලේ උගත් බව එතුමන් ගේ ‘පියසමර’ ගතෙහි සඳහන් වේ. වලව්වත්, පාසලත්, පුස්තකාලයත්, මුද්‍රණාලයකුත් තිබුණු මෙම ස්ථානය අතීතයේ අප රටේ විසූ ගිහි පැවිදි මහා පඬුවන් නිතර ආ ගිය ස්ථානයකි. දෙස් විදෙස් විද්වතුන් නැවතී පර්යේෂණවල යෙදුන විද්‍යාගාරයකි.

මෙම වලව්වේ විසූ තිරිමාදුර බස්තියන් මැන්දිස් ගුණසේකර මුදලිතුමන් උඩරට රාජධානියේ විසූ වැලිතොට මහ නිලමේට ඥාති සබඳතා ඇති පරපුරක අයෙකි. මෙම බස්තියන් මැන්දිස් ගුණසේකර විවාහ වූයේ බලපිටිය ගරුමුණි වලව්වේ ගරුමුණි ආමිස් ද සොයිසා වික‍්‍රමරත්න ගම්පතිතුමන් ගේ සොහොයුරියක වූ ගරුමුණි අසේසා ද සොයිසා නමැත්තිය සමඟ ය. එතුමිය අප රටේ විසූ කීර්තිමත් දේශපාලනඥයෙකු වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘවර රාජනීතිඥ එච්. ශී‍්‍ර නිශ්ශංක මැන්දිස්හු ගේ මවගේ නැන්දණියයි. මෙම බස්තියන් ගුණසේකර මුදලිතුමන්ට හා අසේසා ද සොයිසා ළමාතැනියට ද 1860 ජුනි මස 14 වන දින උපන් පුත් රුවන අප කතානායක ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලිතුමන්ය. කුඩා අවධියේ දී තම වලව්වේම පිහිටි පාසලෙන් අධ්‍යාපනය ලැබූ අතර සවස් කාලයේ වලව්ව සමීපයේ පිහිටි ශී‍්‍ර සුභද්‍රාරාම පුරාණ රාජමහා විහාරයට ගොස් දැන උගත් විනයධර මාහිමිවරුන් සෙවනේ පාලි සංස්කෘත හා බුද දහම ද උගත්තේ ය. වැඩිදුර අධ්‍යාපනය සඳහා රන්දොඹේ වෙස්ලියන් විද්‍යාලයට ගිය ගුණසේකර ශිෂ්‍යයා එයින් පසුව පිවිසුණේ කොළඹ රාජකීය විද්‍යාලයට ය. එම පාසලේ උගන්නා අතර ඉංගි‍්‍රසි ආණ්ඩුවේ ලිපිකරු විභාගයකට පෙනී සිටියේ සැමට හොර රහසේ ය. විභාගය දා විභාග පරීක්‍ෂාවට පැමිණි නිලධාරියා මෙම කුඩා දරුවා දැක ‘තමා පැමිණියේත් විභාගයට පෙනී සිටින්නටදැ යි’ ප‍්‍රශ්න කර ඇත. ‘ඔව්’ යැ යි පිළිතුරු දුන් විට ‘තමාට ලැබෙන ප‍්‍රශ්නවලට පිළිතුරු ලියන්න හැකි දැ යි’ දෙවනුව ප‍්‍රශ්න කර ඇත. ‘ප‍්‍රශ්න පත්තර බලලා තමයි උත්තර දෙන්න වෙන්නේ’’ යැයි මොහු පිළිතුරු දුනි. එවිට ඔහු දිහා රවා බැලූ විභාග පරීක්ෂකවරයා විභාගයේ තරම නොදැන පෙනී සිටින ගමන් පණ්ඩිතකමට උත්තරත් දෙනවා යැයි පවසා විභාගය ආරම්භ කළේ ය. විභාගය අවසන් විය. ප‍්‍රතිඵල ලැබෙන විට විභාගයෙන් සමත් වී ඇති පළමුවැනියාට හිමි ත්‍යාගය සහ සහතිකය ද ලැබුණේ මැන්දිස් ගුණසේකර සිසුවාට ය.

විභාගයෙන් සමත් වුවද රැකියාවකට ගියේ නැත. එවිට ඔහුගේ වයස යන්තම් අවුරුදු 17 කි. 1880 දී පැවැත් වූ පරිපාලන විභාගයකින් ද සමත් වූ මොහු එම විභාගයෙන් ද පළමුවැනි තැන දිනාගෙන තිබුණි. එයින් පසු කළුතර කච්චේරියේ රැකියාවක් ලැබී එහි සේවයට ගියහ. ඒ අතරතුරදී මෙම තරුණ රාජ්‍ය නිලධාරියා ඇසුරට ගියේ කළුතර ආසන්නයේ වස්කඩුවේ වැඩ විසූ අතිපූජ්‍ය රාජගුරු ශී‍්‍ර සුභූති නාහිමියන් ගේ ඇසුරට ය. උන්වහන්සේ වෙතින් ද සිංහල පාලි අභිධර්මය මනාව උගත් ගුණසේකර මහතා පසුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප‍්‍රාචින භාෂෝපකර සමාගමේ ලේඛක මුදලි තනතුරට පත්විය. ඊට පෙර කොළඹ රෙජිස්ටාර් ජනරාල් කාර්යාලයේ මුදලි තනතුරට පත් වූ ගුණසේකර මහතාට 1901 දී ‘විජය ශී‍්‍ර වර්ධන’ ගෞරව නාමය ඉංගි‍්‍රසි ආණ්ඩුව මඟින් පිරිනමා ගෞරව කළහ. ඒ සමඟම වාසලමුදලි තනතුර ද හිමි විය.

කුමන නිලතල ලැබුණ ද යුරෝපීය කලිසම් කෝට් ටයි තොප්පි ඇඳ පැළඳ ගන්නට කැමැත්තක් නොදැක් වූ මෙතුමාණන් සිංහල සිරිත් විරිත්වලට ගරු කළේ ය. රෙද්ද, බැනියම ඇන්දේ ය. සිංහල භාෂාවේත්, බුද්ධ ශාසනයේත් උන්නතියට සිය කාලය ශ‍්‍රමය හා ධනය කැප කළ මෙම මුදලිවරයා සිල්වත් උවසුවෙකු විය. වසර 71 ක් දිගාසිරි වැළඳ මෙතුමා 1931 පෙබරවාරි 09 වන දින දිවංගත විය. එම අභාවය මෙරට ශාස්ත‍්‍රාලෝකයට සිදු වූ බලවත් හානියක් විය.

ඒ මැන්දිස් ගුණසේකර මුදලිතුමන්ට දරුවන් තිදෙනෙකු විය. කීර්ති ඇම්. ගුණසේකර, ආනන්ද ඇම්. ගුණසේකර හා අමිතා ගුණසේකර එකම දියණිය වේ. ආනන්ද ඇම්. ගුණසේකර බලපිටිය සුළු නගර සභාවේ සභාපති පදවිය ද දැරූ අතර සිරිමා මැතිණියගේ රජයේ හෝටල් සංස්ථාවේ සභාපති ධූරය ද දැරුවේ ය. ඊට අමතරව එතුමා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති පදවිය ද හෙබවීය .

අප රටේ තිබෙන දුර්වලකමක් වන්නේ පිදිය යුත්තාට කිසිම පිදීමක් සිදු නොකිරීම ය. ඒ මැන්දිස් ගුණසේකර මහතා දිවංගත වී වසර 81 ක් ගත වුවද එතුමාගේ සේවය තවමත් නිසි ඇගයීමකට ලක්ව නැත. එතුමා වෙනුවෙන් සමරු මුද්දරයක්වත් නිකුත් කර නොතිබීමෙන් අපගේ අකෘතඥ භාවය හොඳින් පෙනී යයි. පමා වී හෝ ඒ යුතුකම් සිදුකිරීම ඉතා වටිනු ඇත.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment