Friday 4th of October 2024

English Tamil
Advertiesment


ක්‍රිකට් ඇතුළු සමස්ත ක්‍රීඩාව විනාශ කළේ හිටපු ක්‍රීඩා ඇමති 


2024-07-08 14513

 

ක්‍රිකට් තරඟයක් පරාජය වුණාම කාලකන්නි සතුටක් ලබන මල පෙරේතයින් දෙදෙනෙකු සිටිනවා 

 

රටේ-ජනතාවගේ අභිමානය ගැන තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ 

 

ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ජනපති ලොකු පියවරක් ඉදිරියට තැබුවා 

 

-සුදත් චන්ද්‍රසේකර අවධාරණය කරයි-

 

 

ක්‍රිකට් ඇතුළු රටේ සමස්ත ක්‍රීඩාවම සිය දේශපාලන බල පුළුවන්කාරකම යොදවා සම්පූර්ණයෙන්ම විනාශ කළේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා යැයි ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු උපදේශක සහ "United Youth" සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර මහතා චෝදනා කර සිටියි.

ක්‍රිකට් තරඟයක් පරාජය වූ විට සතුටු වන මල පෙරේතයින් දෙන්නෙකුත් සිටින්නේ යැයි හෙළි කළ සුදත් චන්ද්‍රසේකර මහතා කණ්ඩායම ජයග්‍රහණය කළාම සද්ධ නැතුව දුක් වෙමින් සිටින මෙම මල පෙරේතයින් පරාජය වූ විගස ජනමාධ්‍ය ඉදිරියේ මයික් ටයිසන්ලා වගේ කිසිම හිරිකිතයකින් තොරව රටේ සහ ජනතාවගේ අභිමානය නොතකා හැසිරෙන්නේ යැයි ද චෝදනා කළේය. 

"United Youth" සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර මහතා මේ චෝදනා එල්ල කර සිටියේ, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙනවියට උපහාර පිදීම වෙනුවෙන් ඇය අධ්‍යාපනය ලැබු ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවනාගාරයේදි පැවති උත්සවයේ දී ය.

මහා ජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වූ ඒ.එම්. ජයවර්ධන බණ්ඩාර (2008 දි මිය ගොස් ඇත) සහ ඩී.බී. චන්ද්‍රා ජයවර්ධන යන දෙපොළට දාව උපන් චමරි අතපත්තු සිය මූලික අධාපනය සඳහා ගොකරැල්ල මහා විද්‍යාලයට ඇතුළත් වී, පහ වසර  ශිෂ්‍යත්වයෙන් සමත්ව වැඩි දුර අධ්‍යාපනය වෙනුවෙන් ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී ඇත.

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලීය සිසු දරු දුරියන් සහ ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම උපහාර උළෙල සංවිධානය කර තිබූ අතර, රථ පෙරහරකින් කුරුණෑගල සිට ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය දක්වා චමරි අතපත්තු කැඳවා ගෙන එනු ලැබුවේ මාර්ගය අවට රැස්ව සිටි ජනතා ඔල්වරසන් මධ්‍යයේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු උපදේශක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික ලේකම්ව සිටී "United Youth" සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර යන මහත්වරු විශේෂ ආරාධිත අමුත්තන් ලෙස එක්ව සිටියහ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ "United Youth" සංවිධානයේ සභාපති සහ එහි නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර මහතා මෙසේ ද කියා සිටියේය.  

"අද අපට විශේෂිත වූ දිනයක් වනවා. ශ්‍රී ලංකාවේ නම ලෝකයට රැගෙන ගිය අපේ කාන්තා ක්‍රිකට් රැජින නැත හොත් එම ක්‍රිකට් තරුවට ශ්‍රී ලාංකික අප සැමගේ ප්‍රණාමය පුද කර සිටන මෙම අවස්ථාව අප ජාතියටම වැදගත් දිනයක් කොට මා සලකනවා. අපට නොහැකි වුණාට ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ක්‍රීඩාංගන ප්‍රේක්ෂකාගාරයක් චමරි අතපත්තුගේ නමින් නම් කිරීම අපට ආඩම්බරයක් බව කිව යුතුයි.

 
කැලයේ පිපී පරව යන මල්
 

මෙවැනි බැබලිය යුතු තරු දස දහස් ගණනක් කැලයේ පිපී පරව යන මල් ලෙස පරව ගොස් තිබෙනවා. වාසනාවකට වගේ චමිරි අතපත්තුගේ හැකියාව මෙම විදුහලේ එවකට සිටි පුහුණුකරු විසින් හදුනා ගෙන ඇයව නිසි ලෙස පුහුණු කිරීමේ මුල් අඩිතාලම දැමුවා. එතුමා ප්‍රමුඛ එම කාර්යයට මුල් වූ සියලුම දෙනාටත් අපගේ උපහාරය පිරි නැමීම අපගේ යුතුකමක් කොට මා සලකනවා.

 
ගමට ක්‍රිකට්

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහත්මයාණෙනි, ඔබ ආයතනය විසින් ආරම්භ කර ඇති "ගමට ක්‍රිකට්" වැඩ සටහන යටතේ ගමේ පිපෙන මල් කැකුඵ අයාලේ පරවී යැමට ඉඩ නොදි රටට දායදා කිරීමේ මහගු කාර්යය තව තවත් පුළුල් කරන ලෙසට මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

 
පාසැල් ක්‍රිකට් සංවර්ධනය 

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්‍රශ්නය නිවැරදිව හඳුනා ගෙන අයවැය මගින් රුපියල් බිලියන 1.5 ක මුදලක් පාසැල් ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් වෙන් කිරීම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන අප සැමගේ ප්‍රශංසාවට ලක් විය යුතු කරුණක් ලෙස මම දකිනවා.

ගෙවුණු වකවානුවේ ඇති වූ Covid-19 වසංගතය සහ ඊට පසුව ඇති වූ ආර්ථික අර්බුදය නිසා ක්‍රිකට් ඇතුළු සියලුම ක්‍රීඩාවන් කඩා වැටුණා. ඒ අවුරුදු හතරක පමණ කාලයේ දී බිහි විය යුතුව සිටී ක්‍රීඩකයින්ගේ හිඩසක් අද ඇති වෙලා තිබෙනවා. එම තත්ත්වයත් වර්තමානයේ ක්‍රීඩාවට තදින් බලපාන කරුණක් බව සිහිපත් කළ යුතුයි. 

ඊටත් වඩා හිටපු ක්‍රීඩා අමත්‍යවරයෙක් සම්පූර්ණ ක්‍රීඩාවම සිය දේශපාලන බල පුළුවන්කාර කමින් විනාශ කර දැම්මා. මම ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු උපදේශකවරයා ලෙස වගකීමෙන් මෙම ප්‍රකාශය සිදු කරනවා.

රටේ වැඩිපුර මුදල් ගැවසෙන ක්‍රිකට්, පාපන්දු සහ රගර් ක්‍රීඩා සංගම්වලට බල ප්‍රේතයින්ගේ ඇල්ම බැල්ම වැඩි වුණා. ඒ අනුව සිය හිතවතුන් වන එම බල ප්‍රේතයින්ගේ ඉල්ලීමට සහ බලපෑමට මේ ආයතන ඔවුන්ට භාර දෙන්න ඔහු උත්සහා කළා. ඒ නිසා මෙම ක්‍රීඩාන් සදහා ජාත්‍යන්තර තහනම් පැනවීමට පවා එම ජාත්‍යන්තර මව් සංගම්වලට සිදු වුණා. ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් නිදහස් විය යුතු අතර අමාත්‍යංශය නිසි ලෙස නියාමනය සහ ප්‍රගතිය සොයා බැලිම කළ යුතුයි කියා මම විශ්වාස කරනවා

 
ක්‍රීඩා අධිකාරිය
 

ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති ක්‍රීඩා අධිකාරිය ඉතා වැදගත් පියවරක් වේවි. ක්‍රීඩාවෙන් අපට උගන්වන මූලික හරය වන්නේ නායකත්වය, කණ්ඩායම් හැගීම, ඉක්මන් තීරණ ගැනීම සහ ජය පරාජය සමව විඳ දරා ගැනීමයි. විපක්ෂයේ දේශපාලකයින් මේ තත්ත්වය නිවැරදිව අවබෝධ කර ගෙන කටයුතු කරනවා කියා මම විශ්වාස කරන්නේ නැහැ. නොඑසේ නම් සිය පුද්ගලික වාසියට ඔවුන් ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙසේ අදූරදර්ශීව ක්‍රියා කරන්නේ නැහැ. 

ක්‍රිකට් තරඟයක් පරාජය වන විට සතුටු වන මල ප්‍රේතයින් දෙන්නෙකුත් සිටිනවා. කණ්ඩායම ජයග්‍රහණය කළාම සද්ධ නැතුව දුක් වෙමින් සිටිනවා. පරාජය වූ විගස ජනමාධ්‍ය ඉදිරියේ මයික් ටයිසන්ලා වගේ කිසිම හිරිකිතයකින් තොරව රටේ සහ ජනතාවගේ අභිමානය නොතකා හැසිරෙනවා. 

මේ දෙදෙනාගෙන් එක් අයෙකු ඇඹිලිපිටියේ. ඔහු පොලිසියේ ආර්.එස්.අයි. ලෙස සේවය කරමින් සිටිය දී නිධන් හාරා අසු වුණා. පොලීසියෙන් පැන්නුවා. ඊට පස්සේ විදේශිකයෙකුගේ හෝටලයක සේවය කරමින් සිටිය දී මිනිහටත් පොල්ල තැබුවා. අනතුරුව පාර්ලිමේන්තුවට ඇවිත් මංගල සමරවීර මහතාගෙන් දින 52 ආණ්ඩුවේදී එතනෝල් බලපත්‍රයක් ඇතුළු මත්පැන් බලපත්‍ර ලබා ගෙන එමගිනුත් නීති විරෝධි වැඩ කළා. මොහු මහා පරිමාණ හොර ජාවාරම්කාරයෙක් බව කිව යුතුයි. 

ඉතිං අනාගත ක්‍රීඩා ඇමතිකම් ගන්න මාන බලමින් සහ සිහින දකිමින් සිටින්නේ ක්‍රීඩාව ගැන කිසිම හැගීමක් නොමැතිව රටේ සහ ජනතාවගේ අභිමානය ගැන තුට්ටුවකට මායිම් නොකරන මෙවැනි ජාවරම්කරුන් බව කිව යුතුයි. මේ සිහින කුමාරයින්ගේ සිහින සැබැ වුණොත් රටට, ජනතාවට සහ ක්‍රීඩාවට අබ සරණයි.

අප සියලු දෙනාම කැමයිති ක්‍රීඩාවෙන් හෝ වෙනත් යම් මාර්ගයකින් රට නියෝජනය කර ජයග්‍රහණය ලබා ලබා ගෙන කවුරුන් හෝ රටට කීර්තියක් ගෙන එනවාටයි. ඒ කටයුත්ත චමරි අතපත්තු සිය කණ්ඩායම සමග අප ජාතිය වෙනුවෙන් නිසි ලෙස ඉටු කළ නිසා අප අද මෙසේ සතුටු වනවා. 

එකම පරිපාලනයක් යටතේ තිබෙන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියට යන විට දී පිරිම කණ්ඩායම ඉදිරියට නොයන්නේ සහ ජයග්‍රහණය නොකරන්නේ කුමක් නිසාද යන ගැටලුව අපට තිබෙනවා. වර්තමාන නායකයාගේ සහ සමහර ක්‍රීඩකයින්ගේ හැසිරීම් සම්බන්ධයෙන්ද සමාජ විරෝධයක් ගොඩ නැගෙමින් පවතිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ අවධානය ඒ සදහා යොමු කරන ලෙස මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

 
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් 

 

අවසාන වශයෙන් ඉදිරියේදි පැවැත් වීමට නියමිත ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී අප ශ්‍රී ලංකා මාතාවට එම කුසලානය හිමි කර දීම සදහා චමිරි අතපත්තු ඇතුඵ එම කණ්ඩායමට ශක්තිය, ධෛර්යය, වාසනාව සහ සියලු දෙවි රැකවරණය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා." 

 


 

Advertiesment