අධ්‍යපනය හා සමානව ක්‍රීඩාව සහ කලාවත් අපේ ජීවිතවලට ඉතා වැදගත් වන නමුත්, තරඟකාරී අධ්‍යපනය හේතුවෙන් දෙමව්පියන් සිය දූ දරුවන් ක්‍රීඩාව සහ කලාව වෙත යොමු කිරීමට මැළි වන්නේ යැයි "United Youth" සංවිධානයේ සභාපති සහ එහි නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර මහතා පැවසීය.
ක්‍රීඩාවට සහ කලාවට ලැදි ආනාගත පරපුරක් බිහි කිරීම සදහා ආකල්පමය වශයෙන් සමාජ පෙරළියක් සිදු කිරීමට ක්‍රියා කිරීම පුරවැසියන් වශෙයන් අප සියලු දෙනාගේම මූලික වගකීමක් සහ යුතුකමක් වන්නේ යැයි පෙන්වා දුන් සුදත් චන්ද්‍රසේකර මහතා විභාග සමත්ව උගතකු වූ පමණින්ම අංග සම්පූර්ණ මිනිසෙකු බිහි නොවන්නේ යැයි ද අවධාරණය කළේය.
"United Youth" සංවිධානයේ සභාපති සහ එහි නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර මහතා මේ බව කියා සිටියේ, එම සංවිධානයේ ක්‍රීඩා එකමුතුව මගින් මාතර, කඹුරුපිටිය, නාරන්දෙණිය ජාතික පාසලේ සංවිධානය කෙරුණු ක්‍රිකට් පුහුණු වැඩ සටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.
ලක්ෂ්මන් සුල්තානාගොඩ මහතා විසින් එම ක්‍රිකට් පුහුණු වැඩමුළුව සංවිධානය සහ සම්බන්ධිකරණය කරනු ලැබූ අතර ඒ සඳහා මාතර දිස්ත්‍රික්කයේ, කඹුරුපිටිය අධ්‍යාපන කලාපයේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ක්‍රිකට් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන් සීයකට අධික පිරිසක් සහ ඔවුන්ගේ දෙමව්පියන් සහභාගිවී සිටියහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ "United Youth" ක්‍රීඩා එකමුතුවේ අධ්යක්ෂ ජෙනරාල් අකලංක ගනේගම සමග ප්‍රවීන ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් විසින් මෙම පුහුණු කඳවුර ස්වේච්ඡාවෙන්ම සමාජ සේවයක් ලෙස සලකා සංවිධානය කළ අතර ඔවුන්ගේ සේවය ජනතාවගේ ප්‍රසාදයට ද හේතු විය.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ සුදත් චන්ද්‍රසේකර මහතා කියා සිටියේ, ක්‍රීඩාවෙන් නායකත්වය, ජය පරාජය විඳ දරා ගැනීම සහ කණ්ඩායම් හැගීම ඇති වන අතර කලාවෙන් සාමකාමිව ද, රසවින්දනයකින් සහ නිරවුල් මනසකින් යුතුව කටයුතු කිරීමට පුරුදු පුහුණු වන බවත්, ඒ නිසා වර්තමාන තරුණ පරපුර ඒ සදහා යොමු කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවය.
Covid-19 වසංගතය සහ රටේ ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් බොහෝ තරුණ පිරිස් ක්‍රීඩාවෙන් ඉවත් වුණේ යැයි ද, ආර්ථික අර්බුදය නිසා ක්‍රීඩා භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ ගිය අතර ඩොලර් හිඟය නිසා විදේශ රටවලින් භාණ්ඩ ආනයනය සීමා වීම හේතුවෙන් වෙළඳ පොළේ විශාල ලෙස ක්‍රීඩා භාණ්ඩ හිඟයක් ද ඇති වූයේ යැයි ද පෙන්වා දුන් සුදත් චන්ද්‍රසේකර මහතා මේ නිසා විශේෂයෙන්ම ගම්බද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා උපකරණ ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් ක්‍රම ක්‍රමයෙන් ක්‍රීඩාවෙන් ඈත් වෙමින් සිටින්නේ යැයි සඳහන් කළේය.
නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය මගින් ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ලබා ගැනීමට වෙන් කළ රුපියල් බිලියන එකහාමාරක මුදලින් දැනට පාසැල්වලට අවශ්‍ය ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ලබා දීම ක්රමාණුකූලව සිදු වෙමින් පවතින්නේ යැයි ද, ඒ හේතුවෙන් නැවත වතාවක් පාසල් ක්‍රිකට් සහ ග්‍රාමීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට හැකියාව ලැබී ඇතැයි ද පෙන්වා දුන්නේය.
ශ්‍රී ලාංකා ක්‍රිකට් ආයතනය මගින් ආරම්භ කර ඇති ගමට ක්‍රිකට් වැඩ සටහන මගින් ද ක්‍රම ක්‍රමයෙන් ගමේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු වෙමින් පවතින්නේ යැයි ද, ඊට සමගාමීව "United Youth" සංවිධානයේ අධ්යක්ෂ මණ්ඩලයේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ක්‍රීඩා උපකරණ සහ පාසල් උපකරණ රට පුරා පාසල් දරු දැරියන්ට නොමිලයේ ලබා දෙන නිසා අධ්‍යාපනය සහ ක්‍රීඩාව දියුණු වෙමින් පවතින්නේ යැයි ද හෙතෙම පැවසීය.
මේ අතර "United Youth" කලා එකමුතුවේ අධ්යක්ෂ ජෙනරාල් කුමාර ජයකාන්ත සහ එහි මහා ලේකම් අර්ජුන කමලනාත් ප්රමුඛ කලාකරුවන් විසින් ග්‍රාමීය මට්ටමෙන් රට පුරා රංගන, නිවේදන සහ ගායන පාඨමාලාවන් සංවිධානය කරමින් දරු දැරියන්ගේ කුසලතා වර්ධනය කරමින් සිටින්නේ යැයි ද "United Youth" සභාපති සුදත් චන්ද්‍රසේකර මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාව සඳහා "United Youth" කාන්තා එකමුතුවේ අධ්යක්ෂ ජනරාල් ශෂිකලා හෙට්ටිආරච්චි,"United Youth" සංවිධානයේ භාණ්ඩාගාරික මනෝජ් පුංචිහේවා සහ ප්‍රවීණ රංගන ශිල්පී නිරෝෂන් පෙරේරා යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Lanka Newsweek © 2024