Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී රජය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරලා


2024-07-04 14339

 

රජයේ දුර්වලතා නිසා ණය ගෙවීමේ කාලය දීර්ඝ කර ගන්න නොහැකි වුණා

 

රජය ජාත්‍යන්තර බැදුම්කර ණය හිමිකරුවන්ට යටත් වෙලා

 

අපේ ජනාධිපති විදේශ සංචාර ගියාට ණය අඩු වීමක් නම් වෙලා නැහැ

 

ජනාධිපති මූල්‍ය විනය කියන්නේ හොරා කෑමට

 

රජයේ මධ්‍යම ස්නායු පද්ධතිය අක්‍රීය වෙලා

 

ජනාධිපතිවරයා විනිවිදභාවය සහ සම බර ආකාරයට පීඩනය බෙදා ගන්නවා කිව්වත් රජය අනුගමනය කර ඇත්තේ ද්විත්ව ප්‍රතිපත්තියක් බවත් ජාත්‍යනත්ර ස්වෛරී බැදුම්කර හිමියන්ට එක ප්‍රතිපත්තියක් සහ මෙරට ජනතාවට තවත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇති බවත් ඝානා, ජැමෙයිකාව සහ ඉක්වදෝරය වැනි රටවල් රටටත් ජනතාවටත් වාසිදායක ආකාරයක ගිවිසුමක ගියත් අපේ රටේ ජනාධිපතිවරයාට සහ රජයට එවැන්නක් කර ගැනීමට නොහැකි වී බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (02) සිදු කළ කතාවට පිළිතුරු කතාවක් සිදු කරමිනි.

ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ ඊට අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ ගණනාවක් කළ බවත් එක් අවස්ථාවක ශ්‍රී ලංකාව සෙසු රටවලට සාපේක්ෂව ඉතා ඉක්මනින් ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ බව පැවසුවත් එම ප්‍රකාශය අසත්‍ය බවත් ඝානාව, ආජන්ටිනාව, ඉක්වදෝරය, මොංගෝලියා, බෙලීස් සහ බාබේඩෝස් වැනි රටවල් අප රටට පෙර සීමා සහිත කාලයක දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කළ බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

ඝානාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කළේ 2023 ජනවාරි බවත් ඔවුන්ගේ ස්වෛරී බැදුම්කර ඇමරිකානු ඩොලර් බිලියන 13ක් තිබුණත් 2024 ජුනි වන විට බැදුම්කරකරුවන් සමඟ එකඟතාවලට පැමිණි බවත් ඒ අනුව ඔවුන්ගේ ණය සහ පොළිය 37%ක් අඩු කර ගත හැකි වූ බවත් ආජන්ටිනාව එම සාකච්ඡා 2019 දෙසැම්බර් ආරම්භ කර සිය ණය 36%කින් ද, ඉක්වදෝරයත් සිය ණය 42.2%කින් ද කප්පාදු කර ගත් නමුත් මේ සම්බන්ධයෙන් අප රටේ සංඛ්‍යා ලේඛන සහ දත්ත අපේක්ෂා කළත් ඒ කිසිවක් තවමත් නොලැබුණු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

හදීසියේම පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවා විවාදයක් පවා සැලසුම් කර නැවතත් හදිසියේම එම විවාද සියල්ල අවලංගු කළේ අංගසම්පූර්ණ ගිවිසුමකට නොයෑම නිසා බවත් ශ්‍රී ලංකාවත් ඝානාව සහ ඉක්වදෝරය වැනි රටවල් වගේ ණය අඩු කිරිම හෝ ඒ හා සමාන ප්‍රමාණයකට ගොස් තිබෙනවා ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන් ම ජනාධිපතිවරයා ජාතිය අමතන විට නැවත ණය ගෙවීමේ කාලය 2028 දක්වා දීර්ඝ කර ගත්තා යැයි කිව්වත් 2023 මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය ගෙවීමේ කාලය 2033 දක්වා දීර්ඝ කළත් ඒ ගිවිසුමට යාමට රජයට නොහැකි වී ඇති බවත් රජයේ සාකච්ඡාවල ඇති වූ දුර්වලතා නිසා මේ තත්ත්වය ඇතිව තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.

චීනයේ එක්සිම් බැංකුවේ ණය ඇමරිකානු ඩොලර් බිලියන 3.9ක් එකඟ වූ බව පැවසුවත් ඩොලර් මිලියන 13.8ක චීන රජයේ ණය ගැනත් චීන සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 538ක ණය ගැනත් කිසිදු කරුණක් සඳහන් නොකළ බවත් යම් යම් තොරතුරු කරුණු කාරණා රටට අනාවරණය නොකර ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය ගැන කතා කරන බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

තවද රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී ජාත්‍යන්තර බැදුම්කර ණය හිමිකරුවන්ට යටත් වී කටයුතු කර ඇති බව ඔප්පු වී ඇති බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරිමක් සිදු නොකරන බව රජය 2022 දී කියා සිටියත් ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හිමියන්ගේ තර්ජනය මත අවසානයේ දී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කර සුපිරි පොහොසතුන් ආරක්ෂා කර වැඩ කරන ජනතාවගේ විශ්‍රාමික අරමුදල්වලට බලපෑම් සිදු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළි කළේය.

ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හිමියන් සමඟ සාකච්ඡා කිරීම ප්‍රශස්ත සහ ප්‍රබුද්ධ ආකාරයට ක්‍රියාත්මක වූයේ නම් ස්වෛරී බැදුම්කර හිමියන් නියෝජනය කරන කණ්ඩායම ප්‍රකාශ නිකුත් නොකරන බවත් රජයේ උනන්දුවක් නොමැතිකම ගැන 2024 ජනවාරි 31 වැනිදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එසේම ඝානාවේ මුදල් ඇමතිවරයා ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හිමියන් සමඟ සෘජුවම කතා කර රට වෙනුවෙන් 37%ක ණය කප්පාදුවක් සිදු කර ගත්තත් විදේශ සංචාර රැසක නිරත වූ අප රටේ ජනාධිපතිවරයාට එවැන්නක් කර ගැනීමට නොහැකි වූ බවත් ආජන්ටිනා මුදල් ඇමතිවරයා ද 2023 දි සෘජුවම ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හිමියන් සමඟ සාකච්ඡා කර විශ්වාසය දිනා ගෙන ණය කප්පාදුවක් කර ගත්තත් මුදල් ඇමතිවරයා ලෙස අප රටේ ජනාධිපතිවරයා විදේශ සංචාරවල නිරත වන අවස්ථාවල දී ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හිමියන් සමඟ සාකච්ඡා පැවැත්වීමට හැකියාව පැවැතියත් අප රටට හොදම ගිවිසුමකට යාමට හැකියාව තිබුණත් ජනාධිපතිවරයාගේ අපොහොසත්කම නිසා එම අවස්ථාව ලබා ගැනීමට නොහැකි වූ බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිදු කළ තාක්ෂණික තක්සේරු වාර්තා අද වන තුරු සභා ගත කර නොමැති බවත් එදා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාට ඇගිල්ල දිගු කර එම වාර්තා ලබා දෙන්න කියා කිව්වත් අද ජනාධිපතිවරයාම එම වාර්තා ලබා දීම වළක්වා ඇති බවත් එම නිසා එම වාර්තා සභා ගත කරන ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.

මූල්‍ය විනය ගැන කතා කරන ජනාධිපතිවරයා පූනකරි ව්‍යාපෘතිය ගැන මේ සභාවේ කතා කළ බවත් මෙගාවොට් 700ක බලාගාරයක් ඇති කරන බව කිව්වත් අවසානයේ වෙනත් රටක සූර්ය පැනල බෙදා හරින ආයතනයකට ලබා දී එම බලපත්‍රය විකුණා කෑමට අවසර දී ඇති බවත් මෙගාවොට් 500ක සුළං විදුලි බලාගාරයේ දි පවා විශාල මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත් මේ ක්‍රියා ජනාධිපතිවරයාගේ මූල්‍ය විනය ද කියා ප්‍රශ්න කරන බවත් මේ වන විට රජයේ මධ්‍යම ස්නායු පද්ධතිය වැඩ නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

Advertiesment