Wednesday 11th of December 2024

English Tamil
Advertiesment


තෙල් ටැංකි වත්ත බද්ධටදී ඇස්සට දත නියවීම


2024-07-02 14901

 

(ජයශ්‍රී ප්‍රියලාල්)


උපමා ආප්තෝපදේෂ ජන වහරට එක් වන්නේ ජන සංස්කෘතියේ අතීත අත්දැකීම් සහ සිද්ධීන්ගෙන් උග තයුතු පාඩම් අනාගත පරපුරේ අවධානය පිණිස ජන ගත කරවීමටය.

වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය මව් භාෂාවෙන් පවත්වා ගෙන ගියද, සිසු දරුවන් පෙනී සිටින තරඟකාරී විභාග සමත්වීමේ ප්‍රමුඛතාවයට වැඩි අවධානයක් යොමු වීමේදී, සිය භාෂා සහ සාහිත්‍ය අවශ්‍යතාවන් යට වන තත්ත්වයන් ඉස්මතු වීම  කණගාටුවට කරුණකි. මෙම තත්ත්වය සියලු නිර්මාණශීලී සංස්කෘතික කලා කටයුතුවල පිරිහීමකට මුල පුරයි. වර්තමානයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන තාක්ෂණික ක්‍රියාදාමයන්ට සමගාමීව ක්‍රීඩා සහ කලා කටයුතු ක්ෂේත්‍රවල බිහි වීමට ඇති රැකියා අවස්ථාවන් අව තක්සේරු කළ යුතු නොවේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩා වැටීම වෙනමම ලිපියකින් සාකච්ඡා කළ යුතුවෙි.

"වත්ත බද්දටදී ඇස්සට" දත නියවීම යන ආප්තෝපදේශයෙන් ගම්‍ය වන අර්ථය නම්, කෙනෙකු සතු ඉහළ ආර්ථික වටිනාකමක් ඇති දිගු කාලයක් අඛණ්ඩ ආදායම් උපයා දීමට සමත් දේපළක් හුදෙක් කෙටි කාලීන ලාභ අපේක්ෂාවෙන් වෙනත් අයෙකුට බදුදී ඉන් ලැබෙන අවම ආර්ථික වාසියෙන් සෑහීමකට පත්වීමයි. 

මෙහිදී ඇස්ස යන වචනයේ නියම තේරුම කුමක්ද යන්න නව පරපුරේ පාඨකයින්ට ප්‍රශ්නයක් විය හැක. ඒය නම් ඵලයක් ගසකට බද්ධ කරන කොටසයි. ඉංග්‍රීසියෙන් Crown යනුවෙන් හඳුන්වනු ලබන ගෙඩිය වැඩෙන තෙක් විශේෂ කාර්යයක් කොට ඵලයක් බවට පත්වූ පසු වටිනාකමක් නැති කොටසක් බවට පත්වෙයි. 

තම දෙමාපියන් දහඩිය මහන්සියෙන් වවා ගත් පොල් වතු, සහ වෙනත් වගාවන් දෙවෙනි තෙවැනි පරම්පරාවල දරුවන් ඒවා වැඩි දියුණු කරනවා වෙනුවට ගිවිස ගත් බඳු මුදලකට වෙනෙ කෙනෙකුට පවරා යම් ආදායමක් උපයා ගනී. බදු හිමියා බදු කාලසීමාවේදී අස්වැන්න නෙලා ගෙන එයින් වෙළඳපළේ උපරිම මිල ලබා ගෙන අතිරික්ත ලාභයක් හිමි කර ගත්තද වගාවේ වැඩි දියුණුවට කිසිම ආයෝජනයක් නොකරයි. 

වාරයෙන්, වාරයට ඵලදාව නෙළා ගෙන සියලුම ආර්ථික වටිනාකමින් යුතු දේ වගා බිමෙන් ඉවත් කර ගෙන ඇස්ස පමණක් ඉතිරි කර යයි. වතු හිමියාට සිය භූමියේ  ඉතිරිව ඇති ඇස්ස ගණනය කිරීමෙන් තමන්ට අහිමි වූ ආදායමේ තරම කොපමණද යැයි යන හෝඩුවාවෙන් සෝසුසුම් ලෑම දත නියවීමෙන් අර්ථ ගන්වයි.  

 
අපට සැමට සහ රටට මෙම ආප්තෝපදේශය අදාළ වනුයේ කෙසේද..?

 

ලිපියට යොදා ගෙන ඇති මාතෘකාවේ පණිවිඩයේ දිශානතිය කුමක්ද යැයි පාඨක ඔබට වටහා ගැනීම අපහසු නොවේ. ජාත්‍යන්තර ණය මා‌ෆියාවේ උපාය මාර්ගවලට හසුවී සිටින අපගේ දේශපාලනඥයින් සිදු කරනුයේ ඉහත ඡේදයෙන් විස්තර කර ඇති සංසිද්ධියම වෙයි. සමහර ආර්ථික වටිනාකම් සහිත සම්පත් බදු දීමට අමතර සම්පූර්ණයෙන් විදේශිකයින්ට විකුණා දැමීමට ණය උඟුලට හිර කර මාන බලයි. අවාසනාවකට ජනතාවගේ නීත්‍යානුකූල ජන වරමක් නොලද පරහිත ලැදි පාලක පිරිසකින් මෙම කටයුත්ත පහසුවෙන්ම කර ගත හැකි බව ඔවුන් දැඩි ලෙස විශ්වාස කරයි.

මානව ප්‍රවර්ධනයේ ආයෝජන එක් රැස් කර වීමට උපයා ගතයුතු බදු මුදල් රාජ්‍ය භාණ්ඩාගාරවලට නොයවා බදු රහිත අක්වෙරළ සුරපුරවලට යැවීමට පාර කපන නව ලිබරල්වාදී දර්ශනය ශ්‍රී ලංකාව පමණක් නොව තවත් දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල් කිහිපයක්ම මෙම ණය උගුලට හසු කර ඇත. Schuck Doctrine කම්පන කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය, නිරවි යුධ සමයේ බල ගැන් වුණු ඒකධ්‍රැවීය ජගත් සංවිධාන ඔස්සේ ණය උගුලට මැදි වෙන රටවල්වලට නියම කරයි. 

තමන්ටම ආවේණික ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති නව අදහස්වලින් බංකොලොත් පාලක සමූහයක් සහිත රටවල්වලට මෙම වැරදි මාත්‍රාව වැඩි වැඩියෙන් නියම කරයි. ණය උගුලෙන් ගොඩ විය හැකි විකල්ප වැඩ පිළිවෙළක් සොයා ගනු වෙනුවට පාලකයින් තව තවත් ණය මත ආර්ථිකය සංවර්ධනය කිරීමට උත්සහ කරයි. අවාසනාවක තරම වෙදාම ලෙඩේ බව තේරුම් නොගෙන ඔහුගේ ප්‍රතිකර්මයෙන් සුව වීමට උත්සහ කරන පාලකයින් නොදැනුවත්වම තම රටේ සහ ජනතාවගේ අනාගතය නොරටුන්ට උකස් කර සිටීමයි. 

කම්පන කේන්ද්‍රීය ආර්ථික න්‍යායයේ උපාය මාර්ග දෙකක් පැහැදිලිව හඳුනා ගත හැක. ඉන් පළමු වැන්න අර්බුදයට මුහුණ දෙන රටවල් මොන තරම් ආර්ථික අවපාතයන්ට ගොඳුරු වූවද, ගෙවිය යුතු ණය කපා නොහැරීමට ණය හිමියන් පොළඹ වනු ලැබීමයි.

දෙවැනුව සිය අනුග්‍රහාශීලීන් උපයා ගෙන ඇති බදු නොගෙ වන ධනය ආයෝජනය කිරීමට හැකි අවස්ථාවන් නිර්මාණය කර ගැනීමට අර්බුදවලට ගොදුරු රටවල බංකොලොත් දේශපාලකයින් සිය අනුගාමී උපදේශකයින් ලවා ක්‍රියාත්මක කරවීමට පොළොඹවයි. ඊළඟ ණය වාරිකය පෙන්වා මෙම නඩය නැවත ණය උඟුලේම හිරකර තැබීම ඔවුන්ගේ අභිප්‍රායයි. මෙය වෙනත් ආකාරයකට දැක්වූව හොත් ශක්තිමත් ආර්ථික වටිනාකම් සහිත රාජ්‍ය ආයතන දුර්වල කරමින් ඒවා පෞද්ගලීකරණය කිරීමට අනුබල දීමයි. 

එසේ පෞද්ගලීකරණයට භාජනය වන සේවාවන් ශක්තිමක් ලාබදායී ව්‍යාපාරයන් ‌මෙන්ම වෙළඳ ඒකාධිකාරීන් ගොඩනඟා ගැනීමට ඉඩකඩ සලස්වා දෙයි. කළු සල්ලි Shadow Finance විශුද්ධිකරණය කර ගැනීමට පහසු ක්‍රමවේදයන් ඉබේම නිර්මාණය වේ.

 
ත්‍රිකුණාමලයේ හිස් තෙල් ටැංකි වත්ත සහ රට වැසියන් කලින් කලට මුහුණ දෙන ඉන්ධන අර්බුද
 

විශාල ධාරිතාවකින් යුත් තෙල් ටැංකි පද්ධතියක් (100 ට ආසන්න) බ්‍රිතාන්‍යයන් ත්‍රිකුණාමලයේ වරාය ආසන්නව ඉදි කර ඇත්තේ 1930 දීය. සිය අධිරාජ්‍යය සම්පූර්ණයෙන්ම පරිපාලනය කර ගෙන යන ලද්දේ ශක්තිමත් රාජකීය නාවික හමුදාවක් සහිත නැව් සමූහයක් නඩත්තු කර ගෙන යාමෙන්ය. බ්‍රිතාන්‍යයද දූපතක් වීමත් ඔවුන් නිතරම තම යටත් විජිත අතරට දූපත් ඒකතු කර ගැනීමට ඇල්මක් දැක්වූහ. ඔවුන්ට ආවේණික රාජ්‍ය තන්ත්‍රය හඳුන්වනු ලැබුවේ Gun Boat Diplomacy යනුවෙනි. 

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පද්ධතිය ඉදි කර ඇත්තේ ආසියා ශාන්තිකර කලාපයේ සිය ඒකාධිකාරිය නාවික කටයුතු මගින් පාලනය කිරීමට අවශ්‍ය ඉන්ධන ගබඩා කිරීමටය. ඒහෙත් ඉන් වසර 20 කාල පරාසයක් තුළදී හිරු නොබසින අධිරාජ්‍යයේ කඩා වැටීම සිදු වීය. 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබුණද ත්‍රිකුණාමල වරාය, ගුවන් තොටුපළවල් සිය ග්‍රහණයේ තබා ගැනීමට බ්‍රිතාන්‍යයෝ දැඩි උත්සහයක් ගත්හ. ඒවකට සිටි ජන හිතකාමී දේශපාලන නායකයින් බටහිර කඳවුරේ බලපෑම් නොසලකා බහු ජාතික සමාගම් සතුව තිබූ ව්‍යාපාර ජන සතු කළේ පොදු ජනතාවගේ යහපත උදෙසාය.

දිවයිනේ ඉන්ධන අවශ්‍යතාවන් සුරක්ෂා කර ගැනීමට වර්තමානයේ අපගේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් දූරදර්ශීව කටයුතු කර නොමැති බව කණගාටුවෙන් සටහන් කළ යුතුව ඇත. බටහිර බහු ජාතික සමාගම් සතුව තිබූ ඛණිජ තෙල් බෙදා හැරීමේ ඒකාධිකාරිය බිද දමා එම කාර්ය සඳහා බිහි කරන ලද ඛණිජ තෙල් සංස්ථාවට අවර ගනයේ දේශපාලකයින් අත්කරදී ඇති ඉරණම ගැන අප කම්පා විය යුතුවේ.

දැනට ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් බෙදා හැරීමට ප්‍රධාන වශයෙන්ම මැදිහත්ව ඇත්තේ ඉන්දීය IOC සමාගම සහ චීනයේ SINOPEC සමාගමයි. ඉන්දියාවවත් චීනයවත් ලෝකයේ ඛණිජ තෙල් නිෂ්පාදනය කරන්නේ නැත. ඔවුන්ගේ බල ශක්ති අවශ්‍යතාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට එම රටවල් දෙකම විශිෂ්ට ගනයේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවන් මැද පෙර දිග රටවල් සහ රුසියාව සමඟ පවත්වා ගෙන යයි. 

ප්‍රගතිශීලී රටවල් හා ශ්‍රී ලංකාව පවත්වා ගෙන ගිය යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හේතුවෙන් බටහිර රටවල් සහ ඉන්ධන සමාගම්වල බලපෑම්වලට හසු නොවීමට ඉරාණ රජයේ දායකත්වය මත සපුගස්කන්දේ තෙල් පිරිපහදු කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදි කරන ලදි. 

ඒවා වැඩි දියුණු කර, වෙළදපළේ බොර තෙල් මිල අඩු වන විට ආනයනය කොට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කිහිපයක් වත් අලුත්වැඩියා කොට ගබඩා කොට නඩත්තු කරවීමට තරම්වත් දුර දක්නා දැන නුවණක් තිබුණු රාජ්‍ය පාලකයින් නොසිටීම ජාතියේ අවාසනාවකි. ඛණිජ තෙල් ආනයනය කරවීමට කැඳ වන ටෙන්ඩර් මගඩි පාලනය කර සිය මඩිය තර කර ගැනීමේ කෙටි කාලීන වාසිය තකා ජාතියේ අනාගතය නොරටුන් අතට භාර දීමට පොර කන දේශපාලකයින් ගැන ශ්‍රී ලාංකේයන් සියලු දෙනාම විමසිලිමත් විය යුතුය.

 
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ණය බර සැහැල්ලු කර විදේශ ආයෝජකයින්ට පිරිනැමීම 

 

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙසට ශ්‍රී ලාංකාව පැවැති කාලයේ රාජ්‍ය පාලනය සතු වූයේ සිය අධිරාජ්‍යයේ පැවැත්ම තහවුරු කරවීමට තීන්දු තීරණ ගත් රාජ්‍ය තාන්ත්‍රිකයින් සතුවය. රාජ්‍ය තාන්ත්‍රිකයින්  කටයුතු කරනුයේ සිය අරමුණු අභිප්‍රායන් මුදුන්පත් කර ගැනීමේ දිගු කාලීන වැඩ පිළීවෙළක් මත පිහිටාය. නිදහසින් පසු දිවයිනේ රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙන් කටයුතු කර ඇත්තේ අතලොස්සක් වූ දේශපාලකයින් කිහිප දෙනෙකි.

විශේෂයින් 1978 ව්‍යවස්ථා සංශෝධනයින් පසු ඒතෙක් රාජ්‍ය තන්ත්‍රය උසස් මට්ටමකින් පවත්වා ගෙන යන ලද සිවිල් පරිපාලනය අවර ගනයේ දේශපාලකයින්ගේ අත කොළුක් බවට පත්වීය. ඉන් අනතුරුව දේශයේ කඩා වැටීම උත්සන්න විය. වත්මන් දේශපාලකයින් විදේශ උපදේශකයින්ගේ උපදෙස් අනුව නටනවා හැර රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ග සොයා නිර්මාණශීලී වැඩ පිළිවෙළක් රටට හඳුන්වා දීමට සම්පූරුණයෙන්ම අසමත්ය. ඔවුන් සියලු දෙනාම ජාත්‍යන්තර ණය මාෆියාවේ සුරතළුන් වීමට කළු කෝට්වලින් සහ කිරි කොකුන් මෙන් ජාතික ඇඳුමෙන් සැරසී පොර කති.

රාජ්‍ය ආයතන නිසි පරිදි කළමනාකරණය නොකර දේශපාලන හෙංචයියලා යටතේ අව භාවිතාව රට දැනට මුහුණපා ඇති ආර්ථික අර්බුදයේ මර්මස්ථානයයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛණිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය මේ අතරින් ඉදිරියෙන්ම සිටී. දැනට ශ්‍රී ලාංකේයන්ගේ ජීවන වියදම අසාමාන්‍ය ලෙසට ඉහළ යාමට හේතුව මෙම ආයතනවල සිදූ වූ දූෂණ, වංචාවන් සහ දුර්වල කළමණාකරණයයි. 

මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ රාජ්‍ය පාලකයින් සිය බලය අයුතු ලෙසට භාවිත කරමින් බැංකුවලට මෙම ආයතනවලට ණය මුදල් සපයා දීමට බල කර සිටීමයි. මේ සඳහා බැංකුවලට භාණ්ඩාගාර ඇපකර සුරැකුම් ලෙසට සපයමින් කෙටි කාලීන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා දිගු කාලීනව ආයතන බංකොලොත් කරවීමට කටයුතු කර ඇත. ඉතාමත් පටු දැක්මක් සහිත අවර ගනයේ දේශපාලකයින් සිය කෙටි කාලීන ලාභ අපේක්ෂාවන් උදෙසා ජාතියේ අනාගතය විනාශ කර ඇති ආකාරයන් තව දුරටත් පහත ඡේදයන්හි සාකච්ඡා කෙරේ.

 
රාජ්‍ය බැංකු දුර්වල කර කඩා වැට්ටවීමේ නව උපාය මාර්ගය

 

දරා ගත නොහැකි මට්ටම්වලට රාජ්‍ය ණය ප්‍රසාරණය කිරීම හේතු කොට ගෙන වර්තමාන මුල්‍ය ක්‍රමවේදය දැඬි අවදානමකට ලක්ව ඇත. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් බලපාන තත්ත්වයක් නොවන අතර දියුණු ශක්තිමත් ආර්ථික මට්ටම් ඇති බොහෝ රටවල්වලද මෙම අවදානම වැඩිවෙමින් පවතී. 

මූල්‍ය අර්බුදයන් තාවකාලිකව සමනය කර ගැනීම සඳහා මුදල් අච්චු ගැසීමේ Quantitative Easing උපාය මාර්ගය වෙනත් ආකාරයේ අර්බුද රැසක් අත්කර දී ඇත. ඒ අනුව දැඩි උද්ධමනකාරී තත්ත්වය නිසා පාරිභෝගික භාණ්ඩ සහ සේවාවල මිල ගණන් සීඝ්‍රයෙන් වැඩි වන අතර, වෙළදපළේ පොලී අනුපාතයන් ඉහළ මට්ටමක පවතී. 

අසාමාන්‍ය ලෙසට ඉහළ  මට්ටම්වල ඇති ණය ප්‍රමාණයන්ට අවශ්‍ය කරන පොලී ගෙවීමට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කර ගත යුතුවේ. ආර්ථිකයේ ප්‍රසාරණයන් කිසිසේත් වැඩි කර ගැනීමට අපොහොසත් රජයන් ණය බර අඩු කර වීමේ විකල්ප වැඩ පිළිවෙළ වෙත යොමු වෙන තත්ත්වයන් දැක ගත හැක. 

මහ ජන තැන්පතුවලින් ශක්තිමත් වී ඇති රාජ්‍ය බැංකු මතට වැඩි බරක් පැටවීමේ උත්සහයක හෝඩුවාවක් දැන් කරළියට පැමිණ ඇත. රාජ්‍ය බැංකුවල පැවැත්ම සහ ආර්ථික කටයුතුවලට සක්‍රිය ලෙසට දායකවීම ලතින් ඇමෙරිකානු රටවල සහ ආසියාතික රටවල පැවැතුණ ද බටහිර ධනවාදී කදවුරේ මුල්‍ය පද්ධතිය මෙහෙය වන්නේ පෞද්ගලික බැංකු මාර්ගයෙනි. 

එකී රටවලද ආර්ථික අවපාතයන් පාලනය කරනු වස් දැන් දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් Quantitative Tightening අනුගමනය කිරීමට පෙළඹී තිබේ. ශ්‍රී ලංකාව මෙන්ම නිරතුරු රාජ්‍ය ණය අර්බුද සහ ජාත්‍යන්කර ණය මාෆියාවේ ගොදුරක්ව ඇති ලතින් ඇමෙරිකාවේ ආජන්ටිනාවේ Banco Nacion යනු රටේ ආර්ථික මර්මස්ථානයක් වන රාජ්‍ය බැංකුව පෞද්ගලීකරණයට ලක් කිරීමට වත්මන් ජනාධිපති ජාවියර් මිලීගේ උත්සහය බැංකු සේවකයින්ගේ La Bancarios යන ශක්තිමත් වෘත්තීය සමිතියේ විරෝධතාවය මත වළක්වා ගෙන ඇත. 

La Bancarios වෘත්තීය සමිතිය මහා වැඩ වර්ජනයක් සහ සිය බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ අත්සන් දශ ලක්ෂයක් ලබා ගෙන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික තීන්දුව පරාජය කළහ. උග්‍ර දක්ෂිණාංශික මතධාරියෙකු වන  ජනාධිපති ජාවියර් මිලීගේ දේශපාලන පැවැත්මට මෙකී විරෝධය දැඩි බලපෑමක් එල්ල කර තිබේ.  

 
ඛණිජතෙල් සංස්ථාව ගොදුරු වූ ඉරණමට රාජ්‍ය බැංකු පත් කරවීම

 

රටේ ආර්ථික කටයුතු විධිමත්ව පවත්වා ගෙන යාමේ ප්‍රම්‍රඛතාව මත පිහිටා රාජ්‍ය බැංකු ඛණිජ තෙල් සංස්ථාවට විශේෂ ණය පහසුකම් රජයේ ඇපකරණයන් මත කාලයක් තිස්සේ සපයා ඇත. කෙටි කාලීන ලාභ අපේක්ෂාවෙන්න් පාරිභෝගිකයින් ගසා කමින් දූෂිත කළමනාකරණයන් මත ණය බරින් පිරි තෙල් සංස්ථාව දැන් රජයට පවත්වා ගෙන යා නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට උපදෙස් ලැබී ඇත.

මෙම ආයතනය සිය ආධිපත්‍යට ගැනීමට කැස කවන ජගත් භූ දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයේ නැඟී ඒන රටවල් දෙකක් ලාභදායී ඛණිජ තෙල් බෙදා හැරීමේ ව්‍යාපාරයට ශ්‍රී ලංකාවේ මැදිහත්ව ඇත. මෙම රටවල් දෙකම සිය බල ශක්ති අවශ්‍යතාවන් සපුරා ගැනීමට දිගු කාලීන වැඩ පිළිවෙළවල් ක්‍රමවත්ව දියත් කර ඇත. ඒවැනි අවශ්‍යතාවන් ගැන කිසියම් සංගණන  වැඩ පිළිවෙළක් නොමැති ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් ඒම රටවල උපාය මාර්ග ශක්තිමත් කිරීමට මඟ බලා සිටිත්.

මෑතකදී ස්වීයත්වය ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත ඛණිජ තෙල් සංස්ථාවේ ණය ප්‍රමාණය රාජ්‍ය භාණ්ඩාගාරයට පවරා ණය බරින් සැහැල්ලු ව්‍යාපාරය පෞද්ගලීකරණය කිරීමට සුදානම් කරමින් සිටී. ජනමාධ්‍ය වාර්තාවන් සහ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රකාශන අනුව බැංකුවලට ඛණිජ තෙල් සංස්ථාව ගෙවීමට නියමිත පොලී ප්‍රමාණයන් අත්හිටු වීමට නියෝග ලැබී ඇතැයි වාර්තා කර සිටී. 

මහජන තැන්පත්වලින් පවත්වා ගෙන යන රාජ්‍ය බැංකුවලට හිමි විය යුතු විශාල ණය ප්‍රමාණයක පොලිය අහිමි වීම ඒකී ආයතන ලාභදායීව පවත්වා ගෙන යාමේ තර්ජනයට මුහුණ දීමට සිදුව ඇත. මෙම ප්‍රයත්නයේ යටි අරමුණ ශක්තිමත් රාජ්‍ය බැංකු දුර්වල කර රටේ සංවර්ධනයට අවශ්‍ය අරමුදල් ජාත්‍යන්තර ණය මාෆියාවෙන්ම සපයා ගැනීමට පෙළඹවීමකට මුල පිරීමක් විය හැක. ඉහත විස්තර කළ කරුණු සළකා බැලීමේදී දැන් සිදු වෙමින් පවතින්නේ දරා ගත නොහැකි මට්ටමකට ව්‍යාප්තවී ඇති ස්වෛරීය ණය මහ ජනතාවගේ ඉතුරුම්වලින් හිලව් කර දේශීය ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යොමු කරවීම සඳහා විය හැක.

ආප්තෝපදේශයකින් ඇරඹි ලිපිය තවත් ජන වහරේ ඒන උපමා කතාවකින් අවසන් කරමි. "කැවුම් ගෙඩියට පොර කෑ බලළුන් දෙදෙනාට සිදුවූ ඉරණමම" දැන් ශ්‍රී ලාංකේය ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් අත්විදිමින් සිටී. වෙනසකට ඇත්තේ ලාංකේය දේශපාලකයින් සිය බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලාංකේය කැවුම් ගෙඩිය වඳුරන් දෙදෙනෙකු වෙත ගෙන යාමට පොර කෑමය.

 


 

Advertiesment