රටක ජනතාව ආර්ථික ප්‍රශ්නවලට මැදිව ජීවිතය ගැට ගසා ගැනීම සඳහා අතිශය පීඩාකාරී ජීවන අරගලයක යෙදී සිටින විට සමාජ වෛරය පතුරුවා ඒ රට විනාශ කිරීම දුෂ්ඨ සහ සතුරු බලවේගවලට ඉතා පහසු යැයි "United Youth" සංවිධානයේ සභාපති සහ එහි නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර මහතා අවධාරණය කර සිටියේය.
සිය පටු දේශපාලන න්‍යාය පත්‍ර, අරමුණු සහ බල ලෝභීත්වය මත රටට-ජනතාවට ආදරයක් නොමැති සමහර අවස්ථාවාදීන් එවැනි අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීම ඉතාම ඛෙදනීය තත්ත්වයක් වන අතර එම දුෂ්ඨ ක්‍රියා පිළිවෙත තරයේ හෙළා දකින්නේ යැයි ද සුදත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේය.
රටක් පාලනය කළ යුත්තේ දස රාජ ධර්මයෙන් යුතුව යැයි ලොව්තුරා බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ නිසා යැයි ද, ඒ හේතුවෙන් දස රාජ ධර්මයෙන් රට ගෙන යා හැකි පාලනයක් වෙත ජනතාව එකට ඒකරාශී විය යුතු යැයි ද සුදත් චන්ද්‍රසේකර මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.
"United Youth" සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර මහතා මේ බව කියා සිටියේ, මොරටුව, බොරුපන සාම විහාරයේ ඉරිදා (30) පැවති දහම් පාසල් දරු දැරියන් විශාල පිරිසකට නොමිලයේ පාසල් උපකරණ ප්රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයේ දී ජනමාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
"United Youth" සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රවීන රංගන ශිල්පී අර්ජුන කමලනාත් සහ මොරටුව හිටපු නාගරික මන්ත්‍රී අරුණසිරි යන මහත්වරුන් මෙම වැඩ සටහන ඉතා සාර්ථක ලෙස සංවිධාය කර තිබූ අතර ඒ සදහා කලාකරුවන්වන රෝහිනී වීරසිංහ, නිලූශි පවන්ය, රජිත හිරාන්, නෙරංජලා ජයසිංහ, තාර්යා කෙනදා, රංග විජේවික්‍රම, සම්පත් වාස්, කුමාර ජයකාන්ත සහ ශෂිකලා හෙට්ටිආරච්චි සමග ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගනේගම ඇතුඵ විශාල පිරිසක් සිය දායකත්වය ලබා දීම කැපි පෙනෙන සිද්ධියක් විය.
එහිදී විශේෂ අනුශාසනාවක් සිදු කරමින් මොරටුව, බොරුපන සාම විහාරාධිපති සහ කොළඹ ආනන්ද විදුහලේ ආචාර්යය පූජ්‍ය සුමන හිමියන් අවධාරණය කර සිටියේ අද සමාජය ගුණ ධර්මවලින් ක්‍රමයෙන් ඈත් වෙමින් පැවතීම කණගාටුවට කරුණක් බවයි.
"විශේෂයෙන්ම ඇති හැකි අය, නැති බැරි අයට පමණක් නොව, සියලු සත්වයින්ට යමක් ලබා දීම සමාජ සත්කාරයක් වගේම යුතුකමක් කොට මම සලකනවා. අද ඒ යුතුකම ඉටු කරන්න "United Youth" සංවිධානය පෙරමුණ ගෙන සිටින බව අපට අසන්නට සහ දකින්නට ලැබෙනවා. "United Youth" සංවිධානය ඔබ වෙනුවෙන් ඒ යුතුකම් ඉටු කිරීමට මෙම විහාරස්ථානයට පැමිණීම මා ඉතා අගය කොට සලකනවා.
අපි මිනිසුන් වශයෙන් එකිනෙකාට උදව් පදව් කළ යුතුයි. නැති බැරි අයට හැකි ආකාරයට උපකාරයක් කළ යුතුයි. ඒකට තමයි කියන්නේ පින් දහම් කරනවා කියලා. ඒ පිං දහම් කළාම ලැබෙන ආනිසංස ගොඩක් තියෙනවා. ඒ ආනිසංස මේ ආත්මයේ පමණක් නොව ලබන ආත්මයටත් ඔබට ප්‍රතිඵල ගෙන දෙනවා. එම නිසා අපි සෑම කෙනෙක්ම යුතුකම් ඉටු කරන සමාජයක් වෙනුවෙන් පෙළ ගැසිය යුතුයි." යනුවෙන් ද උන්වහන්සේ සඳහන් කළහ.
මෙහිදී අදහස් දැක් වූ ප්‍රවීන රංගන ශිල්පී අර්ජුන කමලනාත් මහතා කියා සිටියේ කලාකරුවන් වශයෙන් පමණක් නොව මිනිසුන් වශයෙන් ආගම දහමට ලැදි කිසිවෙකුටත් වෛර නොකරන පිරිසිදු හදවතක් ඇති මිනිසුන් වශයෙන් ජීවත් විය යුතු බවය.
"අප එකිනෙකාට වෛර කරමින්, සමාජයටම වෛර කරමින් ජීවත් වීම නැවැත්වීමට ක්‍රියා කළ යුතුයි. අද සමාජයේ දක්නට ලැබෙන්නේ ඊර්ෂාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් පිරිගිය පිරිසක් විසින් සමස්ත මිනිසුන්ව එවැනි සිතුවිලිවලට පෙළඹවීමට උත්සාහ කිරීමයි. මෙසේ රටේ අනාගත පරපුර ගුණ ධර්මවලින් ඈත් කිරීමට දරන උත්සාහය දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා. අප මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. ඒ සඳහා අපට කළ හැකි සෑම දෙයක්ම කිරීමට අප පෙරමුණ ගෙන ක්‍රියා කරනවා." යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
Lanka Newsweek © 2024