Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


අනුර කුමාර අද ජෝකර් කෙනෙක් වෙලා


2024-07-01 14336

 

පරණ ජෙප්පෝ-අලුත් ජෙප්පෝ සේරම හැමදාම විකට ඇදුම් අදිනවා

 

මාස තුනකින් අනුර ආණ්ඩු ගන්නවා නම් ගුරුවරු පාරට බස්සන්නේ ඇයි..?


කයියනායකලා සහ ජෝකර්ලා  බේර ගන්න බෑ කියපු මේ රට, රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක් ඇතුළත ආර්ථික බංකොලොත්භාවයෙන්  මුදා ගැනීමට කටයුතු කරමින් දුක්විදි ජනතාව සුවපත් කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කළ  බවත්, ඒ නිසා රට නිවරදි දිශානතියකට රැගෙන ගිය ජනාධිපතිවරයාටම නැවත රට භාර දිය යුතු බවත්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 

වත්මන් රජයේ වැඩ පිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඉරිදා (30)  මාතර කොටුව  ක්‍රිඩාංගණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජන හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

“එක්ව ජයගමු - අපි මාතර” මැයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සංවිධානය කර තිබු මෙම ජන හමුවට මාතර දිස්ත්‍රික්කයේ ජනතාව අති විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත්  අදහස් දැක්වූ මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මෙසේද කීය.

එදා විදේශගත  ශ්‍රමිකයන් විසින්, අවුරුද්දකට එවනු ලැබූ ඩොලර් මිලියන 220,  වර්තමානය වන විට මාසයකට ඩොලර්  මිලියන 700ක් පමණ ඉහළ ගොස්  තිබෙනවා.  එදා  73%ක්ව පැවති  උද්ධමනය අද වන විට තනි ඉලක්කමට ගෙනවිත්  තිබෙනවා.  රුපියල් 4500/-ක්ව පැවති  ගෑස් සිලින්ඩරය අද   රුපියල් 2982/-ක් දක්වාත් , එදා  රුපියල් 660/-ක් වූ පරිප්පු කිලෝව රුපියල් 360/- දක්වාත් අඩු වී තිබෙනවා . 

මේ පසුගිය වසර දෙක තුළ ආණ්ඩුවේ ශේෂ පත්‍රයයි. අද පෝලිම්වල ජනතාව මැරෙන්නෙ නැහැ. එදා බංකොලොත් රටක් වුවත් අද රට බංකොලොත්භාවයෙන්  මුදවාගෙන තිබෙනවා. ඒ වගේම අසරණ ජනතාව වෙනුවෙන් අස්වැසුම ලබාදෙමින් ජනතාවගේ ඉඩම් අයිතිය  වෙනුවෙන් උරුමය ලබා දෙමින්,  ජනතාව සුවපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  විශාල මෙහෙයක් කළා.  

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක  එක එක වේදිකාවල එක එක සිංදු කියන්නේ. අනුර එක සිංදුවක්  කියනකොට ටිල්වින් තව සිංදුවක්  කියනවා. අනුර කුමාර අද ජෝකර් කෙනෙක් වෙලා. පරණ ජෙප්පොයි  අලුත් ජෙප්පොයි සේරම විකට ඇදුම්  අදිනවා. ඉංජිනේරුවෝ  වගේ ඇදගෙන ඊයේ එකකට යනවා. ඒ අයම විද්‍යාඥයෝ  වගේ ඇදගෙන අද  තවත් රැස්වීමකට  එනවා.

යුද ජයග්‍රහණය කිරීමේදී මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව එකතු වී සහයෝගය ලබා දුන්නා. අද ශ්‍රී ලංකාවේ ආර්ථික යුද්ධය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාටත් එවැනි සහයෝගයක් මේ ජනතාවගෙන් ලැබේවි . පසුගිය  කාලයේ  තිබුණු මැතිවරණ පැවැත්වූයේ ආගම හෝ රට බේරා ගැනීම වෙනුවෙන්. නමුත් මෙවර මැතිවරණය පවත්වන්නේ ඔබ ඔබව බේරා ගැනීම සඳහා යි. මෙවර ඔබ ගන්නා තීරණය වැරදුනොත්  ඔබව බේරා ගැනීමට කවුරුවත් ඉදිරිපත් වෙන එකක් නැහැ. ඒ නිසා ආර්ථිකය නිවැරැදි  දිශානතියකට ගෙන ගිය  රනිල් වික්‍රමසිංහ මහතා ට නැවත රට භාර දෙමු.

Advertiesment