Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


නියමිත ආකාරයට මැතිවරණ පැවැත්වීමට කටයුතු කළ යුතුයි


2024-07-01 14586

 

-ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය-


2024 කියන්නේ මේ රටේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත වර්ෂයක්. ඒ නිසා දේශපාලනඥයින් වගේම, ඊටත් වඩා පුරවැසියන් මේ මැතිවරණ ගැන උනන්දුවක් දක්වනවා. ඔබතුමා විශ්වාස කරන ආකාරයට මේ මැතිවරණ සමයේදී පුරවැසියන් වෙනුවෙන් දේශපාලන පක්ෂ වගවිය යුත්තේ කෙසේද..?

ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණයක් ද මේ වර්ෂයේදී පැවැත්වීමට ව්‍යවස්ථානුකූල හැකියාවක් තිබෙනවා. මෙහිදී වැදගත් කරුණක් අවධාරණය කළ යුතුයි. ඒ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම මේ වර්ෂයේදී, ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන අනුව පැවැත්විය යුතුයි. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ජනාධිපතිවරයාට වරමක් දුන්නේ අවුරුදු පහකටයි. ඒ අනුව ඒ ජනවරම මේ වර්ෂයේදී අවසන් වෙනවා. ඒ වගේම ව්‍යවස්ථානුකූලව මහ මැතිවරණය ලබන වර්ෂයේදී පැවැත්විය යුතු වුවත් ව්‍යවස්ථාව අනුව මේ වර්ෂයේදීත් මහ මැතිවරණයක් පැවැත්වීමට හැකියාව තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම මේ වර්ෂයේදී පැවැත්විය යුතුයි. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. එසේම පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙකුගේම යුතුකම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කිරීමයි. විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයට මේ සම්බන්ධයෙන් වැඩි වගකීමක් තිබෙනවා.

මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල්දැමීම ගැන ප්‍රබල අදහසක් ජනාධිපතිවරයාම නියෝජනය කරන දේශපාලන පක්ෂය තුළ තිබෙනවා. ඒ වගේම ඒ සඳහා ඇති ව්‍යස්ථාමය හැකියාවන් ගැනත් කතා වෙනවා. යම්කිසි ආකාරයකින් ජනාධිපතිවරණය කල්දැමීමට ආණ්ඩුව පියවර ගතහොත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කුමනාකාර පියවරක් ද ගන්නේ..?

පළමුවෙන්ම කියන්න ඕනෑ ජනාධිපතිවරණය පදනම් කරගෙන ස්වභාවික මත මෙන්ම අස්වාභාවික මත ද සමාජය තුළ පැතිරෙනවා. මේවා කටකතා. අපි ඒවා විශ්වාස කරන්නේ නැහැ. අපේ මතය අනුව 2019 දී ජනතාව ජනාධිපතිවරයාට ජනවරමක් දුන්නේ අවුරුදු පහකට පමණයි. ඒ නිසා නියමිත කාලය තුළ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව අපේ ස්ථාවරයයි. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. සිවිල් සමාජ සංවිධානයක් ලෙස අපි නැවත අවධාරණය කරන්නේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අනුව නියමිත කාලය තුළ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන කියන්නේ මැතිවරණ සමයකදී වැදගත් මාතෘකාවක්. ඒත් බොහෝ දේශපාලන පක්ෂ මේ ගැන නිසි වගකීමකින් කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා මැතිවරණ ප්‍රකාශන ගැන ජනතාව අතර විශ්වාසය පළුදු වී තිබෙනවා. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධයෙන් ඔබතුමා දරන ස්ථාවරය කුමක්ද..?

ඈත අතීතයේ සිට අපි දකින ආකාරයට මැතිවරණවලදී දේශපාලන පක්ෂ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන හරහා විවිධ පොරොන්දු දුන්නත් ඒවායින් ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි ක්‍රියාත්මක කරන්නේ. ඒක ජනතාව මුලා කිරීමක්. නමුත් අපි කියන්නේ, උදාහරණයක් ලෙස යම් පක්ෂයක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දී බලයට පැමිණියොත් එය ඉටුකරන කාල රාමුව, මාර්ග සිතියම පැහැදිලිව ප්‍රකාශ කළ යුතු අතර එය ඒ ක්‍රමවේදය තුළ ක්‍රියාත්මක කළ යුතුයි. ඇතැම් රටවල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන හරහා ජනතාවට ලබා දෙන පොරොන්දු ඉටුකරවා ගැනීමේ අයිතිය ව්‍යවස්ථාව මගින්ම හිමිකර දී තිබෙනවා. ලංකාව එතරම් දුරට ගිහින් නැහැ. නමුත් අපි ඡන්දදායකයින්ට කියනවා මැතිවරණවලදී දෙන බොරු පොරොන්දුවලට රැවටෙන්න එපා කියලා. ජනතාවටත් වගකීමක් තිබෙනවා මේ පොරොන්දු දෙන්නේ කවුද ? ඔවුන් අතීතයේ දුන්න පොරොන්දු ඉටුකළාද ? මේවා ඉටුකළ හැකි පොරොන්දු ද ආදි වශයෙන් සැලකිලිමත් වෙන්න.

දැන් විධායක ජනාධිපති ධූරය දරන්නේ ඔබතුමාත් එක්තරා කාලයක සම්බන්ධ වී සිටි එක්සත් ජාතික පක්ෂයේ නායකයා. මේ අනුව ඔබතුමාට යම් අවස්ථාවක් ලැබුණොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්න ඔබතුමා ගන්නා වූ ස්ථාවරය කුමක්ද..?

අපි අපේ ස්ථාවරය ජනාධිපතිතුමාට ඉතාම පැහැදිලිව කියා තිබෙනවා. එසේම එතුමා පැහැදිලිව දන්නවා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන මතයේ දැඩිව සිටින බව.පසුගිය දිනක ජනාධිපතිවරයා කියා තිබුණා විධායක ජනාධිපති ක්‍රමයේ හොඳ පැවැත්ත වගේම නරක පැත්තකුත් තිබෙනවා කියලා. නමුත් අපි අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන විට ඒ ගැන අවධානය යොමු කරන බවත් ජනාධිපතිතුමා කියා තිබුණා. අපි ඒ අවස්ථාවේදී අපේ ස්ථාවරය පැහැදිලි කළා. අපි කිව්වා ‘ඉතාම පැහැදිලි ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතුමයි‘ කියලා. මේ රටේ ජීවත් වන ලක්ෂ 22කගේ ඉරණම තනි පුද්ගලයෙකුට භාරදීම කිසිසේත්ම සාධාරණ නැහැ. අපේ ස්ථාවරය තමයි පාර්ලිමේන්තුවට බලය පැවරුණු පාලන ක්‍රමයක් බිහි කිරීම. අපි ඒ වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටිනවා.

ඔබතුමාගේ ඔය ස්ථාවරයට ජනාධිපතිවරයාගෙන් ලැබුණු ප්‍රතිචාරය කුමක්ද..?

ජනාධිපතිවරයා දන්වා ඒ අපේ ස්ථාවරය බව. ජනාධිපතුමා ඉතාම පැහැදිලිව කිව්වා අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන විට මේ ගැන අවධානය යොමුකරනවා කියලා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය 1995දී පැවැති ජාතික සම්මේලනයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන තිබෙනවා. ඒක තවමත් වලංගුයි.

පොදුවේ අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලට වගකීමක් තිබෙනවා නේද..?

පැහැදිලිවම ‘ඔව්‘. සුදුසු පුද්ගලයින් ඉදිරිපත් කිරීම පක්ෂ නායකයින්ගේ යුතුකමක්. අවාසනාවට ඒක සිදුවන්නේ නැහැ. නමුත් දේශපාලනයට ඉතාමත්ම සුදුසු සමාජයේ පුද්ගලයින් සිටිනවා. විශේෂයෙන් පාසල් ගුරුවරුන්, සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති  අය ඉන්නවා. ඔවුන් වැදගත් වගේම චරිතවත්. ජනතාවගේ ඉල්ලීම් අනුව මෙවැනි පුද්ගලයින් ඉදිරියට එනවා. ඔවුන්ට, විශේෂයෙන් තරුණයින්ට අවස්ථාව  ලබාදීමයි කළ යුත්තේ.

යහපත් දේශපාලන සංස්කෘතියක් ගැන සමාජයේ ප්‍රබල ඉල්ලීමක් තිබෙනවා. ඒ සඳහා ආගමික නායකයින්ට විශේෂ වගකීමක් මෙන්ම මැදිහත්වීමක් කළ හැකි බවට මතයක් තිබෙනවා. ඔබතුමා මේ ගැන කුමක්ද සිතන්නේ ..?

ඔව්, විශේෂයෙන් ආගමික නායකත්වයට සමාජය නිසිමගට ගැනීමට අනුශාසනා කිරීමට හැකියාව සහ අවස්ථාව තිබෙනවා. මට මතයි අපේ තරුණ කාලේ ගමක කුමක් හෝ ප්‍රශ්නයක්, ගැටුමක් ඇති වුණ අවස්ථාවක පොලිසියට යන්නේ නැහැ, යන්නේ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ ළඟට. උන් වහන්සේ දෙපාර්ශ්වයම කැදවලා අවවාද, උපදෙස් දීලා ගැටුම හෝ ගැටළුව සමහන් කරනවා. වර්තමානයටත් මේක අදාළයි. පැවිදි සමාජයට සුවිශාල බලයක් හා පිළිගැනීමක් තිබෙනවා. නමුත් අවාසනාවට ගිහි සමාජයේ වගේම පැවිදි සමාජයෙත් විවිධ අඩුපාඩුකම් තිබෙනවා. ඒ වගේම සමහර දේශපාලනඥයින් විවිධ අවශ්‍යතා සඳහා පැවිදි සමාජය දේශපාලනයට ගේනවා. ඒ නිසා සමහර අවස්ථාවල චීවරයට හානි වුණ අවස්ථා තිබෙනවා. ආගමික නායකත්වයට රාජ්‍ය පාලනයට අවශ්‍ය අවවාද, අනුශාසනා කිරීමේ හැකියාව හා බලය තිබෙනවා. යහපත් රාජ්‍ය පාලනයක් සඳහා එවැනි අවවාද හා අනුශාසනා අවශ්‍යයි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම ගැන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අදහස කුමක්ද..?

පූජ්‍ය මාදුළුවාවේ සෝහිත හිමියන්ගේ බලාපොරොත්තුව වුණේ මේ රටේ සියලුම ජන කොටස් සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත් වෙනවා දැකීමයි. අපි කැමැති වුණත් අකමැති වුණත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය දැන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්ව තිබෙනවා. දමිළ භාෂාව කතා කරන සමාජය තවමත් භාෂාව නිසා පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්ට බොහෝ විට ලිපි ලැබෙන්නේ සිංහල භාෂාවෙන්. පොලිසිය නිසා ඔවුන් ඇතැම් විට අගතියට පත්වෙනවා. මේ තත්ත්වය තුළ තමන් දෙවැනි පංතියේ පුරවැසියන්ය යන අදහසක් දෙමළ භාෂාව කතා කරන ජනතාව තුළ තිබෙනවා. මේ තත්ත්වය තුළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක විය යුතුය යන මතයේ අපි දැඩිව ඉන්නවා. ජවිපෙ ද ඇතුළත්ව අද පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්ව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුය යන ස්ථාවරයේ සිටිනවා. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා කල් මරමින් නොසිට, ජනාධිපතිවරණයට පෙර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්න කියලා.  ඉඩම් ප්‍රශ්නය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජාතික ඉඩම් කොමිෂමක් පත්කරන ලෙසත්, පොලිස් බලතල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වටමේස සාකච්ඡාවක් කැඳවන ලෙසත් අපි ඉල්ලා සිටියා. වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ට යම්කිසි යුතුකමක් තිබෙනවා මේ ප්‍රශ්නය තව දුරටත් කල් නොදමා ඊට තිරසාර විසඳුමක් ලබා දෙන්න.මේ ගැටලුව මේ පරම්පරාවෙන් අවසන් කළ යුතුයි. 09 වන පාර්ලිමේන්තුවෙන් මේ ගැටලුව අවසන් කළ යුතුයි. ඒ ආයාචනය අපි කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් අපේ ආයාචනයට කන් දෙයි කියලා.

 
-සංවාදය-
 
ලසන්ත ද සිල්වා
 
-MIDPOINT-
Advertiesment