සමගි ජන බලවේගය පොදු ජනතාව සමඟ සිටින නිසා මැතිවරණ පවත් වන වේලාව වැදගත් නොවන අතර ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් බවත් සමගි ජන බලවේගයේ කිසිවෙකු එක්සත් ජාතික පක්ෂයට එකතු නොවන බවත් එසේ එකතු කර ගැනීම ජනාධිපතිවරයාට හීනයක් බවත් ජනාධිපතිවරයා හෝ කවුරුන් හෝ කුමන කතා කිව්වත් ලක්ෂ 220 ඉලක්ක කර ගෙන සමගි ජන බලවේගය සිය සේවාවන් සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහනුවරට ගොස් මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක කිසිම බලයක් නොමැතිව විපක්ෂනායකවරයා වශයෙන් තමා සහ සමගි ජන බලවේගය රට-ජනතාව වෙනුවෙන් කර ඇති සේවය පිළිබඳව උන්වහන්සේලා දැනුම්වත් කරමිනි.
එසේ ම ජනාධිපතිවරයා 2024 ජූලි මස 02 වැනිදා පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ රටම අන්දවමින් සහ රවටවමින් බොරුව, මුසාව සහ මුලාව රජ කරවීමට බවත් සමගි ජන බලවේගය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩ කරන බවත් එහි දී ඇති කර ගන්නා ගිවිසුම ජනතා කේන්ද්‍රීය ප්‍රජාවට අහිත කර නොවන මානුෂීයවාදී ප්රගතිශීලී ගිවිසුමක් බවත් එම ගිවිසුම සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන ගිවිසුමක් නොව ජනතාව ජයග්‍රහණය කර වන ගිවිසුමක් බවට පත් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
එමෙන් ම රටත් බංකොලොත් වූ මොහොතක සුළුතරයක් දෙනා බංකොලොත් අදහස් දරන බවත් සක්වල සහ හුස්ම වැඩ සටහන් ක්‍රියාත්මක වන්නේ විවෘතභාවය, වගවිම සහ වගකීම උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කරමින් බවත් නොහැකියාවක් සහිත කයිය ගහන කණ්ඩායම් මේ වැඩ සටහන් විවේචනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
සමගි ජන බලවේගය මගින් ක්‍රියාත්මක හුස්ම, සක්වල, සුහුරු පන්ති කාමර සහ සක්වල බස් රථ වැඩ සටහන් සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් දැනුම්වත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සසුනට අරුණ වැඩ සටහන යටතේ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගෙන සිදු කළ ශාසනික මෙහෙවර ගැන ද කරුණු දැක්වීය.
එමෙන්ම මෙම වැඩ සටහන් සම්බන්ධ සියලු අයවැය වාර්තා සහ සවිස්තර තොරතුරු සහිත ලේඛනයක් මල්වතු-අස්ගිරි මහ නා හිමිවරුන්ගේ පරිශීලනය උදෙසා භාර දීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියා කළේය.
Lanka Newsweek © 2024