Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


දේපොළ මත ආරොපිත බද්ද ජනතාවගෙන් සියයට අනූ පහකට ගෑවෙන්නෙවත් නෑ 


2024-06-30 14332

 

නිවාස හතරක් කුලියට දී තිබෙන අයෙකු එමගින් උපයන ආදායම ලක්ෂයට වඩා වැඩි නම් විතරයි මේ බද්ද අය වෙන්නේ

 

විපක්ෂය බිල්ලන් මවනවා 

 

ජනතාව නොමඟ යවා රට ගිනි තබා සියල්ල කඩාකප්පල් කරනවා 

 

දේපොළ මත ආරෝපිත බද්ද ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 95%ක ට ගෑවෙන්නෙවත් නැතැයි ද, විපක්ෂය බොරු බිල්ලන් මවා රට-ජනතාව නොමඟ යවමින් සිටින්නේ යැයි ද එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුනානායක මහතා මේ බව පැවසුවේ කොළඹ දී ඉරිදා (30) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග යන ගමන සාර්ථක වී තිබෙන අතර අපට ණය ගෙවිය හැකි ප්‍රමාණය සහ ගෙවිය හැකි ආකාරය ගැන ශ්‍රී ලංකාවට ණය දුන් රටවල් සහ ආයතන පිළි ගෙන තිබෙනවා. ඒ අනුව තව හොඳ හොඳ තව ඉදිරියේ දී සිදු වේවි. 

කෙසේ නමුත් ජන ජීවිතය ඒ තරම් පහසු නොවන අතර ජනතාව තවමත් සිටින්නේ පීඩනයෙන් කියා අප දන්නා අතර ඒ ප්‍රශ්නය ද ඉදිරියේ දී විසඳෙනවා. ව්‍යවසායකයින් දස ලක්ෂයක් ජාතියට බිහි කිරීමේ ඉලක්කය වෙත අප ගමන් කරමින් සිටින අතර නිලධාරි වාදය පරාජය කරමින් මේ වැඩ කටයුතු ඉක්මන් කළ යුතුයි. 

අපට මේ මොහොතේ කතා කිරීමට තිබෙන්නේ ස්වෛරී බැඳුම්කර ණය ගැනයි. අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පැරිස් සමාජය, ජපානය, චිනය සහ ඉන්දියාව වගේ රටවල් පිළි ගෙන තිබෙනවා. අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ආණ්ඩුවට තොරතුරු සැඟවීමට නොහැකි අතර අපට එවැනි අවශ්‍යතාවයක් ඇත්තේ ද නැහැ. මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයක් තිබෙනවා. ඒ අනුව තොරතුරු ලැබෙයි. කෙසේ නමුත් විපක්ෂය මේ සම්බන්ධව ඒ අයගේ විසදුම් ඉදිරිපත් කරන්නේ නැහැ. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන බොරු බිල්ලන් මවා සිය පටු දේශපාලන වාසි වෙනුවෙන් රට-ජනතාව නොමඟ යවා රට යළි වැට්ටීමට උත්සහ කරනවා. දේපොළ මත ආරෝපිත බද්ද ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 95%ක ට ගෑවෙන්නෙවත් නැහැ. ගෙවල් දෙක තුනක් තිබෙන අයෙකු ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතු නැද්ද..? මේ කතා විහිළු. 

දේපොළ මත ආරොපිත බද්ද වත්කම් ඔස්සේ එන බද්දක් බව කිව යුතුයි. එසේ තිබිය දී රටේ සියලු දෙනා මේ බද්දට යටත් වනවා කියා කියමින් අවස්ථාවාදී සහ බල ලෝභී විපක්ෂය රට ගිනි තබනවා. නිවාස හතරක් කුලියට දී තිබෙන අයෙකු එමගින්  උපයන ආදායම රුපියල් ලක්ෂයට වඩා වැඩි නම් විතරයි මේ බද්ද අය වෙන්නේ කියා පැහැදිළිව කිව යුතුයි.

2024 ඔක්තොම්බර් මාසේ දෙවන සතියේ ජනාධිපතිවරණය පැවැත් විය යුතුයි. ඊට අප සුදානම්. විපක්ෂය ඊට සුදානම් ද, නැද්ද කියා අප දන්නෙ නෑ ජාතාවට දේශපාලනය එපා වෙලා. ප්‍රජාතන්ත්‍රවාදය තවුරු කර මැතිවරණයක් පැවැත් විය යුත්තේ ඒ නිසයි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට වෙනුවෙන් යමක් කරාවි කියා මිනිස්සු හිතනවා. එතුමා මේ කෙටි කාලය ඇතුළත දී රට වෙනුවෙන් යමක් කරමින් ඒ බව ආදර්ශයෙන්ම ඔප්පු කර ජනතාවගේ විශ්වාසය දිනා ගෙන තිබෙනවා. එම නිසා ජනතාව එතුමා යළි මේ රටේ ජනාධිපති කරවනවා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය ජය ගන්නේ අති විශාල ඡන්ද ප්‍රමාණයකින් බව කිව යුතුයි. මේ රට ගොඩ ගත හැක්කේ එතුමාට සහ එක්සත් ජාතික පක්ෂයට විතරයි.  

  

Advertiesment