Sunday 13th of October 2024

English Tamil
Advertiesment


තව දුරටත් නොරැවටෙනු..! රට ඩොලර් බිලියන 92ක් ණයයි..! 


2024-06-28 14320

 

තවත් ඩොලර් බිලියන 1.6ක පොලියකුත් තිබෙනවා 

 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ලක්ෂ 220ක ජනතාව ගැන සිතිය යුතුයි 

 

දත්ත සඟවලා-දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජනතාව පිට විශාල බරක් පටවලා 

 

විදේශ ණය හිමිකරුවන්ට සහන දුන්නා-EPF කප්පාදු කළා

 

රටේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ඉහළ නැංවිය යුතුයි

 

අප දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැංවිය යුතුයි

 

ආණ්ඩුවේ තොරතුරු තාක්ෂණ විප්ලවය කට වචනයට විතරයි

 

නිදහස් අධ්‍යාපනය රැක ගත යුතුයි

 

ශ්‍රී ලංකාව දෙස් විදෙස් ඩොලර් බිලියන අනූ දෙකකට වැඩිය ණය බවත් ඊට අමතරව තවත් ඩොලර් බිලියන 1.6ක ණය පොළියක් ඇති බවත් මේ ඉහළ ණය බරතාව ගැන රටේ පොදු ජනතාව අවබෝධයක් ලබා ගත යුතු බවත් එවිට පාලකයන්ට තව දුරටත් නොමග යවන්න හෝ රැවටීම්වලට ලක් කිරීමට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ද්විපාර්ශ්වීය, බහු පාර්ශ්වීය සහ පෞද්ගලික ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ණය රටට ඇති බවත් අපේ රට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ අවබෝධතාවකට පැමිණ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියක නිරත වන බවත් එහි දී ණය ප්‍රතිව්‍යූහගත කරන විට සාධාරණ ප්‍රමාණයක් ණය ගෙවන්න අවස්ථාව ලබා දෙන්න කියා ඉල්ලීම් සිදු කරන බවත් මේ ගිවිසුම්වලට එළැඹෙන විට ලක්ෂ 220ක් ජනතාව ගැන සිතිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

නමුත් මේ වන විට රටේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ දී රටේ වැඩ කරන ජනතාවගේ කර පිට වැඩි බරකුත් විදේශීය ණය හිමිකරුවන්ට සහනදායී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන ආකාරයේ ගිවිසුමක් ක්‍රියාත්මක වන බවත් මේ ගැන රටේ පුරවැසියා දැනුවත් විය යුතු බවත් එසේ නොවුණ හොත් පාලකයෝ කියන කියන පදයට ලක්ෂ 220ට නටන්න සිදු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, කොළඹ කඩුවෙල මුණිදාස කුමාරතුංග විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩ සටහනේ 261 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමේ දූ දරුවන්ට ඇඳුම් ලබා ගැනීම සඳහා පාසල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් ද, සමස්ත ලංකා ජයග්‍රහණ ලැබීමට අපේක්ෂාවෙන් සිටින දක්ෂ බෙර වාදනයක නිරත වූ දරුවන් දෙදෙනාට එක් දරුවකට රුපියල් 25000 බැගින් රුපියල් 50000ක මුදලක් ද පරිත්‍යාග කෙරිණ. 

මේ වන විට අර්ථසාධක අරමුදල් කප්පාදුවක් පවා සිදුව ඇති බවත් දරු දැරියන් පාසල් දරුවන් සේම පුරවැසියන් ද මේ ගැන අවබෝධයෙන් සිටිය යුතු බවත් රටේ තාවකාලික භාරකරුවන් වන පාලකයන් කිනම් ආකාරයක ගිවිසුම්වලට එළැඹෙන්නේ ද කියා දැන ගැනීමේ අයිතිය සියලු දෙනාටම තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

රටේ පාලකයන් දක්ෂ ලෙස පුරවැසියන් නොමග සහ යැවීම රැවටීම සිදු කරන බවත් වැරදි දත්ත, වැරදි තොරතුරු සහ අදහස් ජනතාව අතර ප්‍රචලිත කරන බවත් මේ රට දියුණු වීමට ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ඉහළ යා යුතු බවත් පාලකයන් කියූ පමණින් සියල්ල පිළි නොගෙන විවේචනාත්මකව ඒ දෙස බැලිය යුතු බවත් නිවැරදි දත්ත සහ නිවැරදි තොරතුරු දැන ගත යුතු බවත් හෙතෙම පැවසීය.

වැටී තිබෙන ආර්ථිකයෙන් රට ගොඩ ගන්න නම් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගිය යුතු බව රටම පිළිගන්නා බවත් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කරන්න නම් සුහුරු අධ්‍යාපනය ප්‍රවර්ධනය කළ යුතු බවත් බංකොලොත් අපේ රටේ පාසල් පද්ධතිය ශක්තිමත් කළ යුතුව තිබියදීත් රටේ පාසල් 10096න් උසස් පෙළ ඇත්තේ පාසල් 3000ක පමණක් බවත් ඒ අතරින් ගණිතය සහ විද්‍යාව ඇත්තේ පාසල් 1000කට අඩු ප්‍රමාණයක බවත් මේ රටේ මුළු පාසල් ප්‍රමාණයෙන් 10%ක පමණක් ගණිත සහ විද්‍යාව ක්ෂේත්‍රය තිබීම බරපතළ ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා කීය. 

විවිධ අය අප රටේ තොරතුරු තාක්ෂණ විප්ලවයක් සිදු කරමින් මුළු රටම "Digital" කරණයට ලක් කරන බව කියා සිටියත්  තොරතුරු තාක්ෂණ විෂය උගන් වන්නේ 6 වැනි ශ්‍රේණියේ සිට බවත් තොරතුරු තාක්ෂණ විෂය 1-13 දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන් විය යුතු බවත් ඊට අමතරව අනිවාර්ය විෂයක් කළ යුතු බවත් මේවා කියද්දි සමහර අය කලබල විය හැකි බවත් තමා මේ දේවල් කරන්නේ නිසි භෞතික සහ මානව සම්පත් වර්ධනය කිරීමෙන් බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. 

අප රටක් ලෙස ලෝකයත් එක්ක තරග කරන අතර තුර නිදහස් අධ්‍යාපනය රැක ගත යුතු බවත් අද වන විට යමක් කමක් ඇති පවුල්වල නිදහස් අධ්‍යාපනය ලැබූ දූ දරුවන් පෞද්ගලික අධ්‍යාපනය ලබා ගන්නා බවත් ඊට හේතුව රජයේ පාසල්වල සම්පත් හිඟකම සහ ගුණාත්මක බව අඩු වීම බවත් මේ නිසා ඉහළ ප්‍රතිඵල ලැබූ කලා උපාධිධාරීන් පවා රැකියා නොමැතිව මහා පාරේ උද්ඝෝෂණය කරන බවත් මේ වන විට උපාධිධාරීන් 50,000ක් පමණ රැකියා නොමැතිව සිටින බවත් මොවුන්ට පෞද්ගලික ආයතනවල පවා රැකියා නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 261ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2838ක් වැය කර තිබේ.

Advertiesment