සරත් ෆොන්සේකා මහතා සජිත් ප්‍රේමදාස මහතාව හපා කමින් ජනාධිපතිවරයාගේ රෙදි අපුල්ලන්නේ 2010 ජනාධිපතිවරණයේ දී එම ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලැබුණු රුපියල් කෝටි දහසය නිදහස් කර ගැනීමට යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා චෝදනා කර සිටින අතර මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පවසයි.
"සරත් ෆොන්සේකා මහතා යුද්ධයට නම් හොඳ ඇති. නමුත් දේශපාලනයට නම් සුදුසු පුද්ගලයෙකු නොවෙයි. යුද ජයග්‍රහණයේ ගෞරවය එතුමාට දෙනවා. නමුත් එතුමා විශ්‍රාම සුවයෙන් සිටියා නම් හොඳයි. සරත් ෆොන්සේකා උන්නැහේට විවිධ සිහින තිබෙනවා. ප්‍රධානතම සිහිනය වන්නේ ජනපති අපේක්ෂකයා වී රටේ ජනාධිපති වීමයි.
සරත් ෆොන්සේකා මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට විරුද්ධව ක්‍රියා කරන්නේ පක්ෂයක් ලෙස අප අපේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා නම් කළ දිනයේ සිටයි. එතුමා හැමදාම කළේ එතුමාට අත දී උදව් උපකාර කළ නායකයින් හපා කෑමයි.
මහින්ද රාජපක්ෂව, ගෝඨාභය රාජපක්ෂව, මෛත්‍රීපාල සිරිසේනව සහ රනිල් වික්‍රමසිංහව හපා කෑ එතුමා මේ වන විට සජිත් ප්‍රේමදාසව හපා කමින් සිටිනවා. එතුමාට කවදාවත් දේශපාලන නායකයෙකු යටතේ ක්‍රියා කර පුරුද්දක් ඇත්තේ නැහැ. ඒ එතුමාගේ යුද මානසිකත්වය නිසයි.
2010 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී පොදු අපේක්ෂකයා ලෙස එතුමාට ලැබුණු රුපියල් කෝටි දහසයක මුදල මේ වන විට තිබෙන්නේ මුදල් ඇමතිවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේයි. සරත් ෆොන්සේකා මහතා සජිත් ප්‍රේමදාස මහතාව හපා කමින් ජනාධිපතිවරයාගේ රෙදි අපුල්ලන්නේ මේ රුපියල් කෝටි දහසය නිදහස් කර ගැනීමටයි. ඒ අනුව ජනාධිපතිවරයා කියන ඕනෑම කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමට සරත් ෆොන්සේකා සූදානමින් සිටිනවා.
2010 ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලැබුණු මේ රුපියල් කෝටි දහසය එතුමාගේ කියා එතුමා කියන්නේ කෙසේ ද..? එම ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළේ දේශපාලන පක්ෂ ගණනාවක් එකට ඒකාබද්ධවයි. එසේ නම් ඒ සල්ලි ඒ දේශපාලන පක්ෂ සියල්ලටම අයිතියි."
Lanka Newsweek © 2024