Friday 4th of October 2024

English Tamil
Advertiesment


කඩා වැටුණු ආර්ථිකය වගේම ක්‍රීඩාවත් ගොඩ එමින් පවතිනවා 


2024-06-23 14509

 

රටේ ක්‍රීඩා ජාත්‍යන්තර තහනමට ලක් වුණේ ඊට එල්ල වූ දේශපාලන බලපෑම් නිසයි 

 

පාපන්දු සම්මේලනයේ සභාපති කියයි 

 

ක්‍රීඩාවට අතහිත දෙමින් "United Youth" රට පුරා යයි 

 

අනුරාධපුරයේ වල් බිහි වූ ක්‍රීඩා පිටියක් පිළි සකර කරයි 

 

 

රටේ කඩා වැටුණු ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩ එනවා වගේම කඩා වැටුණු ක්‍රීඩාව ද ඒ ආකාරයටම ඉදිරියට ගමන් කරමින් තිබීම සතුටට කරුණක් යැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා අවධාරණය කළේය.  

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා මේ අදහස් පළ කළේ, වසර ගණනාවක් මුළුල්ලේ ක්‍රීඩා නොකර අතහැර දැමීම හේතුවෙන් වල් බිහි වී තිබූ අනුරාධපුර ජයන්ති මාවත ගම්මානයේ ක්‍රීඩා පිටියක් තරුණ තරුණියන්ගේ ශ්‍රමදායකත්වෙයන් පිළිසකර කිරීමෙන් අනතුරුව  "United Youth" ක්‍රීඩා එකමතුව මගින් එහි සංවිධානය කෙරුණු පාපන්දු සහ ක්‍රිකට් තරගාවලියේ විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි. 

ජයන්ති මාවත ගම්මානයේ ක්‍රීඩා සමාජවලට සපත්තු ඇතුළු ක්‍රීඩා උපකරණ බෙදා දීමක් ද මෙහිදී සිදු කෙරුණු අතර මෙම අවස්ථාවට "United  Youth"  සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර, ක්‍රීඩා එකමුතුවේ අධ්‍යක්ෂ ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගනේගම, උතුරු මැද පළාත් "United  Youth" උපදේශක රිස්වි මොහොමඩ්, විනෝද් සමරවික්‍රම, සුමිත් ප්‍රේමරත්න, විපුල සමරවික්‍රම සහ ශසිකලා හෙට්ටිඅරචිචි ඇතුඵ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික සාමාජිකාවෝ එක්ව සිටියහ. 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා රැස්ව සිටී පිරිස අමතා කියා සිටියේ, ග්‍රාමීයව පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් "ගමට පාපන්දු" ක්‍රීඩා සංකල්පයයෙන් ශ්‍රී ලංකාවේ සෑම ගමකම පාපන්දු ක්‍රීඩාව නංවාලීමට ක්‍රියා කරන බවය. එම වැඩ සටහනේ අරමුණ පළමුව ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ පාපන්දු ක්‍රීඩාවේ දැවැන්තයින් සහ ආසියාවේ පාපන්දු ශූරයන් කිරීම වන අතර ඒ වෙනුවෙන් තමා ඇපකැප වන බවය. 

අජන්ටිනාව සහ බ්‍රසීලය වැනි රටවල සෑම තැනකම ළමුන් කුඩා කල සිටම පාපන්දු ක්‍රීඩා කරන අතර ක්‍රීඩා පිටියක් නොතිබුණද, පාරවල්වල පවා ළමුන් ක්‍රීඩා කිරීම දක්නට ලැබෙන සුලභ දර්ශනයක් වන අතර ශ්‍රී ලංකාවේද එවැනි වාතාවරණයක් නිර්මාණය කර පාපන්දු ක්‍රීඩා සමාජ සෑම ගමකම පිහිටු වීමටත් ඒ සදහා අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබා දීමට තමා ඇපකැප වී සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 

Covid-19 වසංගතය, ආර්ථික පරිහානිය සහ අනවශ්‍ය දේශපාලන බලපෑම් නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් කඩා වැටීමක් සිදු වූ බවත් ඒ ගතවූ සහ නාස්ති වූ කාලය අපට විශාල පාඩුවක් ගෙන දුන් බවත් එම කාලය නැවත ලබාගත නොහැකි බවත්, ඊට අමතරව දේශපාලන බලපෑම් නිසා පාපන්දු, රගර් සහ ක්‍රිකට් වැනි ප්‍රධාන ක්‍රීඩාවන් ජාත්‍යන්තර තහනමකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට සිදු වූ අනවශ්‍ය දේශපාලන බලපෑම ලොවම පිළි ගත් කාරණයක් වීම කණගාටුවට කරුණක් බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා සඳහන් කළේය.

අනතුරුව අනුරාධපුර උදය මාවත ජයන්ති මාවත ගම්මානයේ තරුණ ක්‍රීඩකයන් "United  Youth" ක්‍රීඩා එකමුතුවේ කණ්ඩායම සමග පන්දු වාර දහයේ  සුහද ක්‍රිකට් තරගයකට සහභාගි වූ අතර "United  Youth" ක්‍රීඩා එකමුතුව පහසු ජයක් අත් කර ගනු ලැබීය. 

Advertiesment