රනිල් සති කිහිපයකට ඉහත යාපනය, කිලිනොච්චි සහ මන්නාරම සංචාරය කොට අති සාර්ථක වූ උරුමය වැඩ සටහන අවසන් කළේ දෙමළ ප්‍රජාවගේ ප්‍රසාදය හා නායකයෙකු ලෙස ඉමහත් ගෞරවාදරයට ලක්වීමෙනි. විශේෂයෙන් 2005 ජනාධිපතිවරණයේදී උතුර-නැගෙනහිර ඡන්ද වර්ජනයක් කිරීමෙන් රනිල් වික්‍රමසිංහට සිදුවූ අසාධාරණය පිළිබඳ එම්.ඒ. සුමරන්දිරන් සිය කණගාටුව ප්‍රකාශ කිරීම මෙම උත්සව සභාව තුළ කැපී පෙනුණි. පසුගිය සතියේ, සජිත් ප්‍රේමදාස හා අනුර දිසානායක ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනාද උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙකු හමුවී අදහස් හුව මාරු කර ගෙන ඇත.
මෙම සංචාරයේදී සජිත් ප්‍රේමදාස 13 වන සංශෝධනය ප්‍රතිපත්තියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට තම පක්ෂය සූදානම් බවට වූ ඉදිරි දේශපාලන භාවිතය පිළිබඳ මාධ්‍ය වෙත කරුණු දක්වන ලදී. ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය සකස්වීමේ ක්‍රියාවලියේදී ආර්ථික අර්බුදය සමග දේශපාලන අර්බුදයද එකට ගැට ගැසී ඇති බැවින් දෙමළ හා මුස්ලිම් ඇතුළු වාර්ගික ප්‍රජාව රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීම අතිශය වැදගත් සාධකයක් බව දැක්විය යුතුය.
සජිත්ගේ මෙම ප්‍රකාශය සැබෑවටම ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම පිළිබඳ ප්‍රතිපත්තිය පිළි ගනිමින් ජනාධිපති මැතිවරණය ඉලක්ක කර එම ප්‍රකාශය සිදු කළාද..? එසේ නැත හොත් වාර්ගික එකමුතුව අරබයා 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට මීට පෙර තමා නියෝජනය කළ ජාතිකවාදී රාමුව දකුණ වෙත රඳවා උතුරට ගොස් ඡන්ද ආකර්ශනය කර ගැනීම සඳහා ප්‍රකාශ කළේද..? යන්න පිළිබඳ පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කිරීම් සජිත්ගේ දේශපාලන භාවිතය තුළ හඳුනා ගත හැකිය. සජිත් එජාපයේ සිටි කාලයේදී හෝ සජබ ගොඩනැගීමේදී 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ තම අදහස් ප්‍රකාශ නොකළ දේශපාලනඥයෙකු ලෙස ප්‍රකටය.
අනුර දිසානායක උතුරේ දේශපාලන රැස්වීමකට සහභාගි වූ අවස්ථාව හා පසුගිය සතියේ එවැනි සාකච්ඡාවක උතුරේ දේශපාලන නියෝජිතයින් සමග නියැළුණද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කිසිදු කරුණක් ප්‍රකාශ නොකොට එක හා සමාන දේශපාලන බලයක් පිළිබඳව ඉහත රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි.
එම්.ඒ. සුමන්දිරන් ඉහත රැස්වීමට සහභාගී වී සිටි අතර හෙතෙම ඊට සහභාගි වී ඇත්තේ ජවිපෙ ආරාධනාවකින් තොරව බව පසුව මාධ්‍ය වෙත කියා තිබිණි. කෙසේ වුවද සජිත් උතුරු පළාතේ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන නායකයින් හමුවූ විගස ජවිපෙ අනුර දිසානායකද දෙ.ජා.ස දේශපාලන නායකයින් හමුවී ප්‍රකාශකර තිබුණේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඇතුළු පළාත් සභා ක්‍රමය පිළි ගැනීමට සූදානම් බවය.
මෙය ජවිපෙ ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම පිළිබඳ ස්ථිර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පසෙකලා සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරණය ඉලක්ක කර ඊට සූදානම් වීමක් බව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මූලික වූ ඉන්දු-ලංකා ගිවිසුම ආරම්භ වූ කාලය හා ඉන්පසුව ක්‍රියා කළ දේශපාලන භාවිතය සාක්ෂි දරයි.
1987 ඉන්දු-ලංකා ගිවිසුම මගින් දේශපාලන බලය බෙදා හැරීම පිළිබඳ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේදී මෙරට සිවිල් සමාජය කැළඹීමකට ලක්කිරීමට ඉදිරිගාමීව කටයුතු කළේ ජවිපෙ ය. එය අවසානයේදී රට තුළ ව්‍යසනයක් කරා රැගෙන යාමට කටයුතු කරන ලදී. ඉන්දියානු ව්‍යාප්තවාදය නම් හුදු මනෝරාජික න්‍යායික ධාරාව වෙත සිර වී වාර්ගික විරෝධය ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය බවට පත්කර ගත්හ.
1987 ඉන්දු-ලංකා ගිවිසුමට ඇතිවූ විරෝධය 1988-89 සිවිල් අර්බුදය දක්වා රැගෙන යාමට ජවිපෙ කටයුතු කරන ලදී. මෙම ව්‍යසනකාරී තත්ත්වය රටේ ආර්ථික හා සමාජ-දේශපාලන ව්‍යුහය අස්ථාවර කිරීමට හේතු විය. අධ්‍යාපන ක්‍ෂේත්‍රය ඇතුළු වෘත්තිය පුහුණු ආයතනවල ඉගෙනුම ලැබූ තරුණ ජීවිත ආ පස්සට හරවන ලදී.
දැනට තිබෙන පළාත් සභාවලින් ඔබ්බට යාමට ප්‍රතිපත්ති සෑදීමට කරුණු ඉදිරිපත් කරන ජවිපෙ සහ අනුර දිසානායක එදා රට අර්බුදයට ලක්කිරීම පිළිබඳ ප්‍රථමයෙන්ම ස්වයං විවේචනයක් ඉදිරිපත් කිරීම මේ රටේ මහ ජනතාව බලාපොරොත්තුවෙන් සිටිති. මේ කිසිදු කරුණක් සිදු නොවූ බව පෙන්වමින් ජවිපෙ හොර රහසේම පළාත් සභා ක්‍රමයට ඇතුළු වී එහි මන්ත්‍රීවරු බවටද පත්විය.
කෙසේ වුවද 2020 වර්ෂයේදී අනුර දිසානායක ප්‍රකාශ කළේ පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවයි. දශක හතරකට ආසන්න කාලයක් ගත කොට බලය බෙදීම සඳහා එකඟවීමෙන් රට පීඩාවට පත්කළ ජවිපෙ රටේ ජනතාවට විශාල අසාධාරණයක් සිදු කර ඇති බව ජවිපෙ විටින් විට ඉදිරිපත් කරන අදහස් තුළන් විද්‍යමාන වේ.
අනෙක් අතට ශ්‍රීලනිප සහ මඑපෙ පළාත් සභා ක්‍රමය හරහා බලය බෙදීමට ඇති කළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකල විරෝධය පළ කළහ. 1988 පැවති ප්‍රථම පළාත් සභා මැතිවරණය ජවිපෙ ඇතුළු මෙම විපක්ෂයේ දේශපාලන පක්ෂ වර්ජනය කිරීම සඳහා වීදි සටන් ක්‍රියාත්මක කළහ. කෙසේ වුවද වමේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වූ ලසසප, කොමියුනිස්ට් පක්ෂය, නසසප ආදී දේශපාලන පක්ෂ සඳහා නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා මහ ජන පක්ෂයේ නායක විජය කුමාරතුංග ප්‍රධානත්වයෙන් ගොඩනැගුණු එක්සත් සමාජවාදී සන්ධානය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හඳුන්වා දුන් ඉන්දු-ලංකා ගිවිසුම සඳහා ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීම කේන්ද්‍ර කොට සහය ලබා දුන්හ.
1988 ප්‍රථම පළාත් සභා මැතිවරණයට විජය කුමාරතුංගගේ සන්ධානය ඉදිරිපත් වී විපක්ෂයේ ප්‍රධාන බලවේගය බවට පත්විය. එතැන් සිට ජවිපෙ ප්‍රධාන සතුරු බලවේගය බවට පත්වූයේ ශ්‍රී ලංකා මහජන පක්ෂයයි. ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය උතුරු නැගෙනහිර පළාත් සභා සඳහා ඉදිරිපත් වී ජයග්‍රහණය කළහ.
සජිත් හා අනුර සැබෑ ලෙසම තම ප්‍රතිපත්තිය වෙනස්කර ඇත්නම් එය රටේ අනාගතය වෙනුවෙන් වැදගත් ප්‍රවණතාවක් බව සැලකිය හැකිය. ඇත්ත වශයෙන්ම ජවිපෙ ඇතුළු කණ්ඩායම් 1987 වර්ෂයේදී ඉන්දු-ලංකා ගිවිසුම හරහා ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම සඳහා වූ නිවැරදි මාර්ගය වෙත ප්‍රවේශ වූයේ නම් ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් වෙත ගෙන යාමට එකල පාලකයන්ට හැකියාව තිබිණි.
එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කළද ශ්‍රී ලංකාවේ ස්ථාවර බව ආරක්ෂා කර ගනිමින් අනාගත සංවර්ධන රාජ්‍යයක් කරා රැගෙන යාමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් ඉදිරිපත් කළ බලය බෙදීම හා සම්බන්ධ ක්‍රියාවලිය සැබෑ ලෙසම ක්‍රියාත්මක කිරීම සඳහා අවධානය යොමු කළ යුතුය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ 1999 හා 2005 කාලවලදී ජවිපෙ ඇතුළු ප්‍රධාන විපක්ෂය තම පටු දේශපාලන මතවාදයන්හි නිරත වී රනිල් ‘රට බෙදන්න සූදානම්’ වැනි ව්‍යාජයන් සමාජ ගත කිරීමට කටයුතු කළහ.
ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් සහය ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමේ වැදගත්කම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට බල කර සිටියද ඔවුන් එය ප්‍රතික්ෂේප කළහ. රනිල් ජනාධිපතිවරයා බවට පත්වී ජා.මූ.අ. සමග සාකච්ඡා ආරම්භ කර රට ස්ථාවර මට්ටමකට රැගෙන වැල්පාලමේ දුෂ්කර කාර්යය අවධාරණය කළේය. වැල්පාලමේ අනෙක් කොටස ජා.මු.අ. සමග ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව අනුර දිසානායක හා සජිත් ප්‍රේමදාස තේරුම් ගැනීම මගින් විද්‍යමාන වන්නේ රනිල්ගේ දූරදර්ශී බව හා නිවැරදි නායකත්වයේ සාර්ථක බව තේරුම් ගැනීමට සැලකියයුතු කාලයක් ගත වන බවයි.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ අනුර හා සජිත්ගේ ප්‍රකාශ තුළින්ද ගම්‍යමාන වන්නේ රනිල්ගේ දර්ශනය ඇතුළු ප්‍රතිපත්ති තේරුම් ගැනීමට දශක ගණනාවක් කල් ගත වන බවයි. මෙකී ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා රනිල් කල් තබාම ඉදිරිපත් කළ දර්ශනය තුළ ඇති නිවැරදිබව ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරන්නක් බව මෙම තත්ත්වය මගින් මනාව පැහැදිලි වේ.
ආර්ථික හා දේශපාලන අර්බුද විසඳීමේ දෘශ්‍යමාන යථාර්ථය නම් ඊට අදාළ සංකල්ප ඉදිරිපත් කළ රනිල් වික්‍රමසිංහට එම ගෞරවය හිමි විය යුතු බවයි. ජනතාව පරීක්ෂාකාරී විය යුත්තේ දූරදර්ශීව රට ගැන කල්පනා කොට නොවෙනස් ප්‍රතිපත්තියක රැඳෙමින් කටයුතු කිරීම රටේ අනාගතයට ප්‍රතිඵලදායකද, නැත හොත් දශක ගණනාවකට පසු රනිල්ගේ සංකල්ප අනුකරණය කිරීමෙන් රටේ අනාගතයට ඇති කරන බලපෑම කෙබඳුවේ ද යන්න පිළිබඳවයි. එබැවින් ශ්‍රී ලාංකීය දෙමළ, ඉන්දීය දෙමළ, මුස්ලිම් ඡන්ද ලක්ෂ 25 ක් මෙවර ජනාධිපතිවරණයේදී ආකර්ශනය කර ගැනීමේදී ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමේ ස්ථීර විසඳුමකින් ප්‍රවේශ විය යුතුය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද්ධයෙන් පරාජය කිරීමත් සමග උතුරු-නැගෙනහිර පළාත්වල ජීවත් වන දෙමළ ප්‍රජාවට බලපෑමක් එල්ල කළ හැකි දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සිංහල වාර්ගික අපේක්ෂකයාට සහය පළ කිරීමෙන් වාර්ගික එක්සත්කමේ අවශ්‍යතාව තහවුරු කර ඇත.
1946 එක්සත් ජාතික පක්ෂය ආරම්භ කිරීමේදී එවක නිදහස් සටන් ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි සිංහල, දෙමළ, මුස්ලිම් වාර්ගික සම්භවයක් ඇති දේශපාලන හා සමාජ සංවර්ධනය පිළිබඳ පුරෝගාමීන් එකතු වී සිටි ලංකා ජාතික සංගමය වෙතින් ප්‍රබල සහයක් ලැබිණි. එජාපය දෙමළ භාෂාවෙන් ‘අයික්කීය තේසීය කච්චි’ ලෙස සියලු වාර්ගික පිරිස් එකතු කරන පක්ෂය විය යුතු බවට යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ පොන්නම්බලම් අරුණාචලම්ගේ පුත්‍රයා වූ අරුණාචලම් මහාදේව විසිනි.
ලාංකීය ජාතියක් වශයෙන් සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, මැලේ, බර්ගර් කුමන ජන වර්ගයකට අයත් වුවත් අප සියලු දෙනා සිතිය යුත්තේ මෙය අප ජනිත වූ භූමිය ආරක්ෂා කිරීමට බව ඩී.එස්. සේනානායක එජාපය ආරම්භ කරමින් වාර්ගික එක්සත්කමේ වැදගත්කම අවධාරණය කළේය. එතැන් පටන් එජාපය වාර්ගික එක්සත්කම ආරක්ෂාව සඳහා කටයුතු කළද ජාතිවාදීන්ගේ දැඩි ප්‍රහාරයට ලක්විය.
රනිල් වික්‍රමසිංහ එජාප ප්‍රතිපත්තිය ඔස්සේ ඉදිරියට යමින් ශ්‍රී ලාංකීය ජාතිය එක්සත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. 1999 ජනාධිපතිවරණයේදී උතුර-නැගෙනහිර ඇතුළු මෙරට ජීවත්වන දෙමළ-මුස්ලිම් ප්‍රජාව සහය දැක්වීය. එජාපය සහ රනිල් විසින් දිගු කාලයක සිට ඉදිරිපත් කර ඇති වාර්ගික සමගිය පිළිබඳ ප්‍රතිපත්ති මාලාවට දෙමළ-මුස්ලිම් වාර්ගික ප්‍රජාව අතර විශ්වාසයක් ගොඩනැගී ඇත. එය වඩා හොඳින් තහවුරු වන්නේ රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූ 2010 2015 2019 කාලවලදී රනිල් සහය පළ කළ දකුණේ සිංහල වාර්ගික ජනාධිපති අපේක්ෂකයින්ට සහය දැක්වීමට උතුරේ දේශපාලන නායකයින් ඉදිරියට පැමිණි ආකාරය ඉතිහාසය සාක්ෂි දරයි.
2010 පැවති ජනාධිපතිවරණයේදී රනිල් සහය දැක්වූ සරත් ෆොන්සේකාට පෙරළා සහය දැක්වීමට උතුරේ දේශපාලන නායකයින් ඉදිරියට පැමිණියහ. එම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය ලැබුවද උතුරු පළාතේ යාපනය හා වන්නි දිස්ත්‍රික්කවල ඔහුට හිමි වූයේ ඡන්ද 72,894කි. සරත් ෆොන්සේකා ඡන්ද 184,244 ලබා ගැනීමට සමත් විය. එමෙන්ම නැගෙනහිර පළාත තුළ දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල මහින්ද රාජපක්ෂට හිමි වූයේ ඡන්ද 272,327කි. සරත් ෆොන්සේකා ඡන්ද 386,823ක් ලබා ගැනීමට සමත් විය. දෙමළ මුස්ලිම් ඇතුළු අනෙකුත් වාර්ගික පිරිස ජීවත්වන අනෙකුත් දිස්ත්‍රික්ක නොසලකා උතුර හා නැගෙනහිර දෙපළාත පමණක් සැලකූ විට සරත් ෆොන්සේකා වැඩි ඡන්ද 224,846ක් ලබා ගැනීමට සමත්විය. යුදමය ක්‍රියාවලියට ෆොන්සේකා දායකත්වය ලබා දී සිටියදී පවා රනිල් විශ්වාස කිරීමේ ප්‍රබල හේතුව නිසා දෙමළ-මුස්ලිම් ප්‍රජාව මෙම ජනාධිපතිවරණයේදී සහය දැක්වීය.
2015 ජනාධිපතිවරණයේදී රනිල් සහය දැක්වූ සිරිසේන ජනාධිපතිවරයාට උතුරු-නැගෙනහිර ඇතුළු අනෙකුත් ප්‍රදේශවල එම වාර්ගික ප්‍රජාවගේ ඡන්දය ලබා දීමට උතුරු-නැගෙනහිර දේශපාලන නායකයින් කටයුතු කර තිබිණි. සිරිසේන ජනාධිපතිවරයා උතුරු පළාත තුළ ඡන්ද 394991ක් ලබා ගන්නාවිට ප්‍රතිවාදී මහින්ද රාජපක්ෂට හිමි වූයේ ඡන්ද 108831කි. එම තත්ත්වය නැගෙනහිර පළාතේදී සලකා බලන විට සිරිසේන ජනාධිපතිවරයා ඡන්ද 583,120ක ප්‍රමාණයක් ලබා ගැනීමට සමත්විය. රාජපක්ෂ මහතාට හිමි වූයේ 214,769කි. ඒ අනුව උතුර හා නැගෙනහිර දෙපළාතේ සිරිසේන ජනාධිපතිවරයාගේ වැඩි ඡන්ද ප්‍රමාණය 655,011ක් බවට පත්විය.
2019 ජනාධිපතිවරණය සඳහා එජාප අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාසට උතුර-නැගෙනහිර ඡන්ද ලබා ගැනීමට දෙමළ-මුස්ලිම් දේශපාලන නායකයින් විශ්වාස කළ දේශපාලන නායකයා වූයේ රනිල් වික්‍රමසිංහ ය. එය වූ කලී පටු දේශපාලන අරමුණු ඉටු කිරීමේ අරමුණින් සිදු නොකරන ප්‍රතිපත්තියක් ලෙස රටේ වාර්ගික සමගිය ආරක්ෂාව සඳහා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්බන්ධ රනිල් දෘෂ්ටිවාදය ප්‍රධාන හේතුවක් විය. මෙම මැතිවරණයේදී ජනාධිපතිවරයා බවට තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂට උතුරු පළාතේ ඡන්ද 49366ක් ලබා ගන්නා විට සජිත් ප්‍රේමදාස 487461ක් ලබා ගත්තේය. එහිදී යාපනය හා වන්නි දිස්ත්‍රික්ක තුළ රනිල්ගේ ප්‍රතිශතය 83%ට ආසන්න විය.
නැගෙනහිර පළාත තුළ ගෝඨාභය රාජපක්ෂ 227593ක් ඡන්ද ලබා ගන්නා විට සජිත් ප්‍රේමදාස ඡන්ද 665163ක් ලබා ගත්තේය. ඒ අනුව උතුරු-නැගෙනහිර දෙපළාතේ සජිත් වැඩි ඡන්ද 875,665ක් වාර්තා කරන ලදී. ජනාධිපතිවරණයේදී තීරණාත්මක බලපෑමක් උතුර හා නැගෙනහිර දෙපළාත සිදු කළ හැකි වුවත් එවක සජිත්ගේ ඉදිරි කවයේ පිරිස රනිල් වික්‍රමසිංහ පරිධිය වෙත තල්ලු කිරීමට සිදු කළ ප්‍රවේශය නිසා අනෙකුත් පළාත්වල ළඟ ළඟ තරඟයක් ලබාදීමට අපොහොසත් වීම නිසා ජනාධිපතිවරණය පරාජයට පත්විය.
2024 ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත් වන්නේ ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් ඉදිරිපත් කර ඇති ස්වාධීන හා ජාතික අපේක්ෂකයා වශයෙන් වීම නිසා සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනතාව නිවැරදි තත්ත්වය තේරුම්ගෙන රනිල්ගේ දැක්ම ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කරනු ඇත.
මෙම තොරතුරු අනුව පැහැදිලි වන්නේ දශක හතරකට ආසන්න කාලයකට ඉහත දේශපාලන අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කළ විසඳුම් තේරුම් ගැනීමට විශාල කාලයක් ගතවී ඇති බවයි. එමෙන්ම ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා රනිල් ඉදිරිපත් කරන සංකල්ප සැබෑ ලෙස තේරුම් ගැනීමට තවත් දශක ගණනාවක කාලයක් ගත කිරීමට මෙම දේශපාලකයින්ට සිදු වන බවයි.
Lanka Newsweek © 2024