Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


ශානි ඇතුළු පොලිස් ලොක්කන්ට ආරක්ෂක ලේකම් රුදාව හැදිලා ද..?


2024-06-17 14347

 

ආරක්ෂක ලේකම්ලා දුසිම් දෙක තුනක්වත් පත් කිරීමට ජනපති අනුරට සිදු වේද..?

 

ජවිපෙ විසින් එදා සිය පවුලේ දස දෙනෙකු අමු අමුවේ ඝාතනය කිරීම ශානි අද කියන්නේ කුමක්ද..? 

 

ශානි ඇතුළු පොලිස් ලොක්කන් මාලිමාවට යාම වරදක් ද..?

 

 
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)

 

විශ්‍රාමික පොලිස් නිලධාරීන් මාළිමාවේ වේදිකාවට නැගීම සංවාදයට හා ප්‍රහාරයට ලක්වූ මාතෘකාවක්ව තිබේ. සක්‍රිය පොලීස් හා හමුදා අයට දේශපාලනය තහනම් වුව ද මාළිමාව මුලින්ම “විශ්‍රාමික” හමුදා නිළධාරීන්ගේ එකමුතුවක් තැනුවේ විශ්‍රාමික හිලෙන් රිංගා ය.

ඊට නායකත්වය දී එහි මුල් පුටුවේ වාඩි වුණේ මේජර් ජෙනරල් කෙනෙකි. හමුදාවේ ඔහුට ඉහළින් සිටි තවත් පිරිසක් ඊට එක්වන්නට යම් කැමැත්තක් තිබුණ ද එම නිලධාරියා දැරූ මාළිමා පුටුවට තට්ටු වේවි යයි ඔහුට තිබූ බිය නිසාදෝ ජවිපෙ නායකයන්ගේ හිත් හදා හෝ අන්දා තමන්ට ඉහළින් හමුදාවල සිටි කිසිවෙකුට මාළිමාවට ඇතුළු වීමට ඔහු ඉඩ තැබුවේ නැති බව හමුදා ආරංචි මාර්ග කියයි.

සජබ ද එවැනිම හමුදා එකමුතුවක් තැනූ අතර ඊට ද “විශේෂයෙන් හිටපු හමුදාපතිවරු” ඇතුළු විශාල පිරිසකගේ පුතිචාර ලැබිණ. මාළිමාව කොපි කළ බවට ද සජිත්ට ජවිපෙ කාඩර්වරු ප්‍රහාර එල්ල කළේ ඉන් අනතුරුවය. මෙවැනි හමුදා එකමුතුවක් තැනීමේ අරමුණු ගැන අනුර හෝ සජිත් රටට කරුණු පැහැදිලි කිරීමක් ද සිදු කොට නැත.

හමුදා එකමුතුව හැදූ විට නොපැමිණි ප්‍රතිරෝදයක් මාළිමාවට ආවේ පොලිස් එකමුතුව තැනූ විටය. පොලිසියේ එවුන් යනු දහ ජරා වැඩවල පිකාසෝලා බවට පවතින සමාජ මතය බැහැර කළ නොහැක්කකි. ඔවුන් සියලු දෙනාට දේශපාලුවන්ට නොදෙවෙනි “හුණු” පැවතීම අනිවාර්යය.

මෙතනදී වැඩිම අවධානය හා සංවාදය මෙන්ම ප්‍රහාර ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව සිටි ශානි අබේසේකරට ය. ශ්‍රී ලංකාවේ පොලීසියේ “ෂයිලොක් හෝම්ස්” ලෙස ද ප්‍රකට ශානි ගැන මට කතා කළ හැකි පසුබිමක් පවතී.
ශානි යනු ගාල්ලේ බද්දේගම පාරේ උළුවිටිකේ ඉපදුන ගාල්ල මහින්දයේ අකුරු කළ සංඝ මිත්තා ගිය බස් හා පාසල් ප්‍රේමය විවාහය බවට පත් කර ගෙන එය භුක්ති විදින අප පාසැල් මිත්‍රයෙකි. ශානිගේ කිල්ලෝටයේද හුණු තිබිය හැකිය. එහෙත් මා අසා ඇති පරිදි ඔහු සාපේක්ෂව හොද අයෙකු බව විග්‍රහ කරන අය බොහෝය. ඔහු තවම ඉන්නේ කුලී ගෙයක බව ද මුදලට ප්‍රමුඛත්වය නොදුන් බවට ද රාජකාරිය බොහෝ දුරට අකුරටම ඉටු කළාය කියන අය ද එමටය.

ඊට එක් නිදසුනක් මා සතුය. සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය වන විට වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධානියා වූ එමිල් රන්ජන් ළමාහේවා ශානිලා හා අප අකුරු කළේ මහින්දයේ එකම පංතිවලය. ඝාතන සිද්ධියේ පරීක්ෂණ බාර වූයේ ශානිටය. ඉදහිට පාසල් මිතුරන්ගේ නිවාසවලට යන ශානි දිනක් එමිල්ගේ නිවසට ආවේ දරු පවුල ද රැගෙනය. මහින්දයේ හා ගාල්ලේ පරණ කතා කතා කරමින් හොදට කා බී ශානි ගියේය. සිරකරු ඝාතන නඩුවට අදාළව පසුදා එමිල් අත්අඩංගුවට ගත්තේ ශානිගේ නියෝගයෙනි. කන බොන ගමන් ඔහු එමිල්ගෙන් මොනවා අල්ලා ගත්තාදැයි අප දන්නේ නැත.

එක ගමේ එක පාසැලේ එකට කන බොන මිත්‍රයෙකුට අදාළව වුවද ශානි රාජකාරිය හා නීතිය දැඩිව ක්‍රියාත්මක කළ අයෙකු බව ඉන් පසක්වේ. එහෙව් ශානිට පසුගිය යුගයේ ඇතිවූ දේශපාලන හා වෘත්තීය තාඩන පීඩන හිරේ විලංගුවේ වැටීම් කෙලවරක් නැත. ඔහු හා එම මුළු පවුලම සෑම තත්පරයම මරණය අපේක්ෂාවෙන් දිවි ගෙවූ බව ද අපි දනිමු.

ශානිට අදාළ තවත් එක සිද්ධියක් පමණක් සටහන් තබමි. ශානි යනු හමුදාවේ හා පොලීසියේ ඉහළ නිලතල දැරූ උඩුගම්පොළ පවුලේ සමීපතම පළමු ඥාතීන්ය. නි: පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ එම පවුලේ වැඩිමලාය. ඔවුන්ගේ හා ශානිලාගේ නිවාස පිහිටියේද ගාල්ල උළුවිටිකේ මීටර 200 ක පරතරයකය. 88 – 89 ජවිපෙ භීෂණය ආවේ ජනතාව පත් කළ ආණ්ඩුවට එරෙහිවය. එය ගොඩින් බේරා ගන්නට ජනපති ප්‍රේමදාස දැඩි උත්සාහයක් ගත්තේය.

“විජේවීර ඉන්න තැනකට මම තනියම එන්නම්. ආණ්ඩුවේ ඇමතිකම් 05 ක් හා මන්ත්‍රී ධුර ඉල්ලන ගණනක් දෙන්නම්. අපි රටේ මිනිස්සු නොමරා රජයේ දේපොළ වනසන්නේ නැතිව මේක කතා කරලා බේර ගනිමු. තරුණ අසහනය දුරු කිරීමට චිට් එක වෙනුවට තරග විභාගවලින් රැකියා දෙන ක්‍රමයක් හදමු” කෙසෙල්වත්තේ ප්‍රේමදාස විජේවීරට ආයාචනා කළේය. එහෙත් ප්‍රේමදාස බය වෙලා යයි ජවිපෙ වැරදි ස්ථාවරයක හිටියා දැයි මා නොදනිතත් එවැනි විග්‍රහයක් රට තුළ පැවතියි.

විජේවීර අත්තනායක හාමුට ඇද කළුකුම් මස් කමින් සුපිරි ජීවිත ගත කරමින් ජවිපෙ තරුණ කාඩර්වරුන්ට ගිණිඅවිය හා මරණය අතට දුන්නේය. කළ හැකි කිසිවක් ඉතිරි නොවූ තැන ප්‍රේමදාස කළේ ආණ්ඩුවකට අකමැත්තෙන්ම ගත හැකි තීන්දුවට නියෝග කොට රාජ්‍ය බලය පාවිච්චි කොට තත්ත්වය පාලනය කිරීමට අණ දීමය. 19 71 දී සිරිමාවෝ ජවිපෙ කැරැල්ලට කළේ ද එවැනිම රාජ්‍ය බලය පාවිචිච් කිරීමකි.

ජවිපෙ 2024 ජනතාව බලයට පත් කළ පසු එම රජයට එරෙහිව ගොංපාට් දැමීමට ආවොත් උපරිම රාජ්‍ය බලය යොදා මර්දනය කරන බව දැන් ලාල්කාන්ත කියනුයේ ද එදා 71 හා 88 දී පැවති ආණ්ඩු රාජ්‍ය බලය පාවිච්ච් කිරීම නිවැරදි බව පසක් කරමින් විය යුතුය.

උතුරේ කොටි හා දකුණේ ජවිපෙ ත්‍රස්තයන් රට වනසනවා. දෙකොණ පතු වෙන මේ විලක්කුව නිවලා මම ප්‍රජාතන්තුවාදය ස්ථාපිත කරනවා” එදා ජවිපෙ භීෂණය මැද ප්‍රේමදාස කීවේ එහෙමය. 82 ජනපතිවරණයේදී ඡන්ද දෙලක්ෂ හැත්තෑපන්දහසක් පමණක් ලැබූ ජවිපෙ රටේ බලය කෙටි මාර්ගයෙන් ලබා ගැනීමට තරුණ අසහනය නම් බෝඩ් ලෑල්ල ඉදිරියට දමා තුවක්වෙන් බලය ගන්නට හැදුවේ එහෙමය.

ජවිපෙ බස්, කෝච්චි, කෘෂි හා රජයේ ගොඩනැගිලි වනසමින් ගිණි තබමින් එජාප හා වමේ පක්ෂවල දේශපාලකයන් හා එම පක්ෂවල සාමාන්‍ය මිනිසුන් හිමිවරුන් මෙන්ම හමුදා හා පොලීසියේ පවුල් ඝාතනය කරමින් චිට් ඇදිරි නීතිය දමා රට වසා ආර්ථිකය සෝදා පාලු කරමින් ජවිපෙ විසින් ඝාතනය කළ අයගේ මිණීය දනින් ඉහළට එසවීම තහනම් කරමින් හැඳුනුම් පත් එකතු කරමින් නැටූ ජංජාලය ලාංකීය හද හා සමාජ රිද්මය සසල කළේය.

ප්‍රේමදාස ද යක්ෂයාට ඇද රාජ්‍ය හා එසේ නොවන කණ්ඩායම් හරහා එම කැරැල්ල අති අමානුෂිකව මර්දනය කළේය. ලයිට් කණුවල බැද ජවිපෙට වෙඩි තැබුවේය. මළ සිරුරු හන්දිවල ගොඩගසා ටයර් දමා ගිණි තබා ජවිපෙ කරටි කැඩුවේ ඊශ්‍රායල උපදේශන මතය.

රාජ්‍ය බලය ජවිපෙට එරෙහිව යෙදවීමේ ක්‍රියාවලියේදී වඩාත් සුපුසිද්ධ පොලිස්කාරයා වුයේ නි: පොලිස්පති උඩුගම්පොළ ය. එනම් අප කතා නායක ශානිගේ මාමා ය. 1989 රාත්‍රියේ උළුවිටිකේ උඩුගම්පොළ පවුලේ මහ ගෙදර ජවිපෙ 200 ක පිරිසක් වටලා තිබුණේ තුවක්කු බෝම්බ කඩු හා පෙට්රල් සමඟය. එදා එම නිවසේ සිටි කිසිවෙකුට එළියට එන්නට නොදී දොර අගුළු දා ගෙයි වහලට පෙට්රල් දමා ගිණි තබා තිබුණේ ඒ වනවිට එහි සිටි වයස 86 ක් වූ උඩුගම්පොළ මව සහෝදරයන් හා ඔවුන්ගේ නොදරුවන් ඇතුළු 10 කට ආසන්න පිරිසක් අමු අමුවේ පුළුස්සා ඝාතනය කරමිනි.

එය ජවිපෙ භීෂණය තුළ සිදුවූ එක් ආන්දෝලනාත්මක සිද්ධියක් පමණකි. ඒ ගැන ශානි එදා කී දේවල් අපට මතකය. එදා මරණ බයේ හැංගී රාජකාරි කළ ශානිලා අද එම සිද්ධිය ගැන දරන ස්ථාවරය හා මාළිමා වේදිකාවට ගොඩ වන විට එය මතක් වුණේ නැද්දැයි දැන ගන්නට අප කැමතිය.

නිදහසින් පසුව රට කළ අය රට කෑවා හා හොරකම් කළා යයි ජවිපෙ මතු කරන තර්කයකි. එහි ඇත්ත මෙන්ම විශාල ව්‍යාජයක් ද පවතී. එදාට වඩා රට අද හැම පැත්තෙන්ම ඉදිරියට ගොසිනි. සෞඛ්‍ය, අධ්‍යාපනය, මාර්ග හා යටිතල ආදිය නිදසුන්ය. එකම අවුල ලෙස මා දකින්නේ රටේ ආදායම හා වියදම අතර පරතරයක් නිරන්තරව පැවතීමය. නිෂ්පාදනය වැඩි කර අපනයනය වැඩි කර ගන්නට හා ආයෝජන ගේන්නට අසමත්වීමය. රට කළ දේශපාලකයන් මෙන්ම ජවිපෙ අවස්ථාවාදී වෘත්තීය සටන් ද ඊට වග කිව යුතු නැද්දැයි අපට ප්‍රශ්න කිරීමට සිදු වේ.

රට පාලනයට ජවිපෙ ද සෘජු හා වක්‍රව 1994, 2004, 2005, 2015 ආණ්ඩුවල සිටි බව හා ඇතැම් ආණ්ඩුවල දැවැන්ත වගකීම් ද බාර ගත් බව රහසක් නොවේ. එසේ නම් රට අද තිබෙන පසුබිමට ජවිපෙ ද වග කිව යුතුවේ. හොරකම හරහා රටට සිදුවූ විශාල පාඩුවක් පවතී. එහෙත් ඒවා මෙන් දෙගුණයක පාඩුවක් ජවිපෙ හා කොටි ත්‍රස්තයන් රටට සිදු කොට තිබේ. අද ලංකාවට පවතින්නේ ක්ෂණික ඩො බිලි 5 -6 ක හිගයකි. නමුත් ජවිපෙ හා කොටි අරගල තුළ රටට ඩො බිලි 200 ක හානි සිදුවූ බවට අනුමාන කෙරේ.

ජවිපෙ අනුගමනය කරනුයේ සමාජවාදය ය. මාළිමාව තුළ සිටින අයගේ ස්ථාවරය ලිබරල් ය. එසේ නම් ලිබරල් ක්‍රමයේ පිකාසෝලා හා ගොඩ් පාදර්ලා රනිල්ලා මෙන්ම සජබ අයය. ඔවුන්ගේ ක්‍රමවේදයට විකල්ප ක්‍රමයක් ජවිපෙ හා මාළිමාවට තිබෙන බව රටට එළි කළ හොත් මුළු ලංකාවම මාළිමාවට පක්ෂපාතී වනු ඇත. ශානි එදා භීෂණය පවා අමතක කොට අද මාළිමා වේදිකාවට නැග්ගේ අප නොදන්නා හා රටට නොකියන රට හදන මාළිමාවේ විකල්ප ක්‍රමය ඔවුන් ශානිලාට රහසේ කියලා දැයි දැන ගන්නට ද අප කැමතිය. මන්ද අපි ආවාම රට හදනවාය හොරු අල්ලනවාය කියන හිස් කයිවාරුවලින් නම් රටක් හදන්නට හා හොරු අල්ලන්නට බැරිය.

නමක් තියා ගත් ශානි වැනි පොලිස්කාරයෙක් දේශපාලන මඩ ගොහොරුවක දැන දැනම එරීම ගැන ඇත්තේ සාතිශය සංවේගයකි. තවද විජේවීර හෝ සෝමවංශගේ නොවන අනුර ගේ ජවිපෙ ප්‍රමුඛ මාළිමාවට ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට හැකි වුව හොත් ආරක්ෂක ලේකම්වීමේ රුදාව ද ශානි හා මේ හමුදා පොලිස් නඩයට තිබිය හැකි නිසා එම තනතුරු දුසිම් 2 – 3 ක් පත් කිරීමට අප මිත්‍ර ජනාධිපති අනුරට සිදු වනු නිසැකය.

 

 

Advertiesment