ඉන්දියාවේ මෝදිගේ තෙවන පිමිමේ දිවුරුමට ජනපති රනිල් ගියේ දැඩි ඉල්ලීම මතය. නව දිල්ලි යන අතරේ එයාර් ඉන්දියා යානයේ සේවකයන් ජනපති හා ඡායාරූපයකට පෙනී සිටියේ ගුවනේදීය. රනිල්ට යම් විශේෂත්වයක් ලැබුණේ මෝදිටත් පෙර අගමැතිකම් කර ලැබූ එම ජ්යෙෂ්ඨතත්වයටය. මෝදි හැම විටම රනිල් ළගින්ම වාඩි කර ගත්තේය.
"මම රාෂ්ට්‍රපති භවන් ආවේ මුල් වරට" ෂීසෙල්ස් උප ජනපති කීවේ රනිල්ටය. "මම මුලින්ම ආවෙ 1984 ඇමති කාලෙ. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි හමීඩුත් එදා ආවා" ජනපති කීය. "ඒ ජ්‍යෙෂ්ඨත්වය විශිෂ්ටයි. ඔබෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා" උප ජනපති කීය.
"තුන් පාරක් අගමැති වූ ඔබේ මුල් සංචාරයේ ශ්‍රී ලංකාවට එන්න" රනිල් කීවේ මෝදිට සුබ පතන ගමන්ය. "ඔබටත් ඡන්දය අත ළග නේද" මෝදි කී විට කපටි නරියා හිනාවක් දැම්මා මිසක කිසිත් කීවේ නැත. "ඉන්දියානු රාජාභිෂේකවලට එදා සිටම ශ්‍රී ලංකාවෙ රජවරුන් ගියා" රනිල් හීනියට මෝදි ට ඉතිහාස ටියුෂන් පාරක් දැම්මේය.
"ලෝකෙ අංක 10 ට තිබුණු ඉන්දියාව 05ට ගෙනාපු නිසා ජනතාව මාව දිනෙව්වා. වැටුණු ශ්‍රී ලංකාව ගොඩ ගත්ත නිසා ඔබ ඡන්දෙන් දිනාවි. දිනලා පළමු සංචාරය ඉන්දියාවට එන්න" මෝදි රනිල්ට කීවේ රාත්‍රී භෝජනයේදීය. පසුදා බංගලිදේශ අගමැතිනිය හා ඉන්දීය විදේශ ඇමති ද ඔහු හමු විය. රනිල් ඉන්දියා ගියේ මාධ්‍ය නඩයක් ද රැගෙනය. බරපැන ඉන්දියාවෙනි. ප්රවෘත්ති අධ්යක්ෂ දිනිත් හා සමන් ඒකනායක එය දින 02 කින් සංවිධානය කළහ.
ඉන්දියා සිට පැමිණි වහාම කැබිනට් ගිය ජනපති ඉන්දියා ගමන හා IMF තෙවැනි වාරිකය ගැන දැනුවත් කළේය. වෝටර්ස් ඒජ් හිදී තරුණ සමුළුවක ගිය කපටි නරියා ස්මාට් වැඩකාර තෙලක් බෙදුවේය. "ඉදිරි ඡන්දයෙන් තීන්දු වෙන්නේ මගේ නොව රටේ අනාගතයයි. වේදිකා දෙදරවන කාටවත් වැඩ පිළිවෙළක් අත්දැකීමක් නෑ. දිනවන්න ඕන පුද්ගලයො නෙවෙයි. වැඩ පිළිවෙළයි. එහෙම නොවුණොත් ආපහු ඉන්දන, ගෑස්, පෝර, ඖෂධ නැති වෙලා පෝළිම් ඒවි. රුපියල වැටේවි. මේ වැඩ පිළිවෙළට ගහන අය විකල්ප කියන්න ඔිනෑ." නරියා ඇදලා ඇරියේ ය.
"නායකයින් දෙදෙනුකු වදයක් ගැන මාසයක් වාද කළා.එක්කෙනෙක් ආවේ නෑ. අනිකා තනියම වළං බින්දා. අපි ආවම කරනවලු. කරන විදිහ කියන්නෙ නැත්තෙ ඒක ඔවුන්වත් දන්නෙ නැති නිසා වෙන්න ඕන" ඔහු කීවේ තරුණයන්ගේ සිනා මැදය.
ඇමෙරිකාවේ බදාදා උදය ශ්‍රී ලංකාවට තීරණාත්මක විය. ඇමෙරිකන් මහින්ද අපේක්ෂාවෙන් සිටි ඇමතුමක් වොෂින්ටන් වෙලාවෙන් දවල් 12 ට IMF වෙතින් ආවේය. මහින්ද වහාම ජනපති රනිල් ට ගත්තේය. "IMF තෙවෙනි වාරිකය ඩොලර් මිලියන 336 ක් ඒකමතිකව සම්මත වෙලා" මහින්ද කී විට ජනපති ද සතුටට පත් විය.
"IMF අධ්යක්ෂවරුන් කිව්වා ශ්‍රී ලංකාවේ බලධාරීන් ගත්ත නිසි පියවර නිසා ආර්ථික මූලධර්ම සුබවාදී පැත්තට හැරිල නිසා ඔවුනුත් සතුටට පත් වෙනවා කියලා" ඇමෙරිකන් මහින්ද වැඩි දුරටත් කීය. "ලෝකයේ බලවත්ම රටවල් IMF අධ්යක්ෂ මණ්ඩලේ ඉන්න නිසා ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවට ලැබුණු මේ සහතිකයෙන් අපේ ආර්ථිකය තවත් ඉහළට ගන්න විශාල හයියක් වෙනවා. වසර දෙකකට කලින් හා දැන් ලෝකය ශ්‍රී ලංකාව ගැන බලන හැටි ලොකු වෙනසක් වෙලා" ජනපති කීවේය.
ඡන්දය කට ළඟ තියා ගෙන ජනපති කැබිනට් එකට රෑ කෑමක් දුන්නේ ජනපති මැදුරේ දීය. "අමාරුම කාලෙ මේ ගිණි නිවන්න වැල් පාළමේ මෙච්චර දුර යන්න දීපු සහායට ස්තුතියි" ඔහු කීවේය. තනියම ඉදිරිපත්වී බර කරට ගැනීම ගැන ඇමතිවරුද ජනපතිට ප්‍රසංශා කළහ. පසුදා රාජ්‍ය ඇමතිලාට ද එවැනාම පාටියක් ලැබිණ.
"IMF සහාය ගන්න කියන හර්ෂල ආර්ථික පරිවර්ථන පනතට විරුද්ධ වෙන්නෙ කොහොමද" ඇමති ෂෙහාන් කීවේ එහිදීය. "මේ පනත් ආවාම එයාලට කතා කරන්න දේවල් නැති වෙනවා" මහාචාර්ය ආශු කීවේ සිනා මැදය. ජනපතිට කෝටි ගණනක පරිපූරකයක් ඉදිරිපත්වීම හා ජනමත විමසුම් නැතිව ව්‍යවස්ථාවේ 83 ඩී යටගේ 2 / 3 කින් ජනපති ධුර කාලය වසරකින් වැඩි කිරීම ගැන ද දැඩි සංවාදයක් පවතී.පාටි අස්සේ ඒ ගැන ද කසුකුසු තිබිණ.
"ඡන්ද කල්දානවට එජාපයත් විරුද්ධයි" ඒ ගැන විමසූවිට කපටි නරියා කීවේ එහෙමය. "ඔය නරියට 2 / 3 හදන එකත් මහ වැඩක් නෙවෙයි" චන්න ජයසුමන කියා තිබිණ. ජනපතිට සහාය දෙන අම්බලන්තොට රැළිය සාර්ථකය. ඊට මන්ත්‍රීවරු 20 ක් ආවේය. 05 ක් රටය. විපක්ෂයෙනුත් කඩා ගෙන මන්ත්‍රීවරුන් 65 ක් හැදිය හැකි බවට ගණන් බලා තිබේ.දෙවැනි රැළිය මොණරාගලය.
මෝදිගේ අවසන් සති 03 සමීක්ෂණ කොට ඔහු තිගැස්සූ හා කෘතිම බුද්ධියෙන් සමීක්ෂණ කරන පිරිස දැන් ශ්‍රී ලංකාවේය. ලක්ෂ 93 ක සමාජ මාධ්‍ය නියැදි හරහා එය සිදු කෙරේ. දැනට නරියා ඉහළට ඇවිත්ය. මාළිමාව පහළට වැටිලා සජබ එකම තැනය.
"මාළිමාවෙ අය පාඩම් ඉගෙන ගෙන නෑ. සීයලාට ගෙදර යතුරවත් දෙන්න එපා කියල මාළිමා ජෝකර් කෙනෙක් කිව්වම ඇමෙරිකාව, ඉන්දියාව, චීනය, මැලේසියාව වගේ දියුණුම රටවල් ගොඩදැම්මෙ සීයලා බවට ආපු වීඩියෝව වයිරල් වුණා. දැන් නිළියෙක් දාල මාළිමා වේදිකාවෙ ඒකම කියෙව්වෙ ටිල්වින්ට ගහන්න වෙන්නැති" ආශු කීවේ සිනා මැදය. "මාළිමා වේදිකාවට නැගපු පොලිස් අය කළ ජඩ බලුකම්, රාජකාරි පැහැර හැරපු හැටි, පොලිස් පවුල් ජවිපෙ මරපු හැටි ගැන පොලීසියේම ඉහළ පිරිසක් එයාලගෙ රෙදි ගැලෙව්වා" ආශු කීවේ සිනා මැදය.
Lanka Newsweek © 2024