Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


රනිල් සහ ජනාධිපතිවරණ සටනේ විසංවාදය


2024-06-09 14328

 

(මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන)

 

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වසර දෙකකින් කල් දැමීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම ආර්ථික අර්බුදය විසඳා ගෙන ඉදිරියට ගමන් කරන රටකට වඩාත් වැදගත් බවට එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර විසින් පසුගියදා මාධ්‍ය මගින් ඉදිරිපත් කළ අදහස බොහෝ දෙනාගේ සංවාදයට භාජනය විය. කෙසේ වෙතත් මෙම කෙටුම්පත සඳහා සජිත් ප්‍රේමදාස හා අනුර දිසානායක යන අය මූලිකත්වය ගෙන කටයුතු කිරීම වඩාත් සුදුසු බව රංගේ බණ්ඩාර වැඩි දුරටත් එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය. 

මෙම වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බැවින් හා බොහෝ දේශපාලන පක්ෂ මේ වන විට මැතිවරණ ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇති නිසා මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම පිළිබඳව රංගේ බණ්ඩාරට එජාප ඉදිරි පෙළ නායකයින් කිහිපදෙනෙකුගේම විවේචනයට ලක්වීමට සිදු විය. පුරවැසියෙකු ලෙස රංගේ බණ්ඩාරට එබඳු අදහසක් ඉදිරිපත් කළ නොහැකිද..? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැති දෙයක් සාකච්ඡාවට ලක් කිරීමෙන් හෙතෙම වරදක් සිදු කළාද..? එසේ නැත හොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව සිදු කළ හැකි දෙයක් රංගේ බණ්ඩාර විසින් ඉදිරිපත් කළාද..? අනෙක් අතට ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේම යම් ප්‍රවේශයකට එළඹීමක් මෙහි අන්තර්ගතව ඇත්ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. කෙසේ වුවද රංගේ බණ්ඩාරගේ ප්‍රකාශයට පසුව තරුණ නීති වෘත්තීයවේදීන්ගේ රැස්වීමකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය ස්ථීර වශයෙන්ම පැවැත්වීමට කටයුතු සිදු වන බවකි. 

 
රංගේ බණ්ඩාරගේ යෝජනාව

 

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VII පරිච්ඡේදයේ 30 (2) විධිවිධාන ප්‍රකාරව ජනතාව විසින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට ඡන්ද විමසීම සිදු කළ යුතු වන්නේ වසර පහකින්ය. 31 (3) විධිවිධානය අනුව ඡන්ද විමසීම ධූරය දරන ජනාධිපතිවරයාගේ කාලය ඉකුත්වීමට පෙර මාසයකට අඩු නොවන හා මාස දෙකකට වැඩි නොවන කාලය තුළ පැවැත්විය යුතුය. මේ අනුව මෙම ඔක්තෝබර්-නොවැම්බර් මස අතර කාලයේ දිනක ජනාධිපතිවරණය පැවැත්වීම සිදු කළ යුත්තකි. 

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීම, ජනාධිපතිවරයා ඉවත් කිරීම ආදිය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු වී තිබුණද ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කිරීමක් පිළිබඳව සඳහන් නොවේ. මේ අර්ථයෙන් බැලූ විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා ජනතා පරමාධිපත්‍යය සම්බන්ධයෙන් මෙහි කාලය දීර්ඝ කිරම පිළිබඳව සඳහන් නොවේ. එසේ වුවද, රටේ පැවති ආර්ථික අර්බුදය විසඳා ගනිමින් ස්ථාවරත්වයකට ප්‍රවේශවීමේ යෝජනාවක් ලෙස රංගේ බණ්ඩාර මෙසේ ඉදිරිපත් කොට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කිරීම පිළිබඳ සඳහන් නොවුවත් එබඳු කරුණක් විමසා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජන මතවිචාරණය යටතේ ඇති විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරීමට බව පෙනේ. 

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  XIII පරිච්ඡේදයේ 85 විධිවිධානය මගින් පනත් කෙටුම්පතක් ජන මත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කිරීම පිළිබඳව දක්වා ඇත. ආර්ථික අර්බුදය මගින් සමාජ ආර්ථික පසුබිම වෙත ඇති කළ බලපෑම නිදහසින් පසු ශ්‍රී ලංකාව එවැනි තත්ත්වයකට මුහුණ දුන් ප්‍රථම අවස්ථාව වේ. මෙම තත්ත්වය ඉක්බිතිව සමාජ-දේශපාලන කැලඹීමකට තුඩු දුනි. එබැවින් ජාතික වැදගත්කමකින් යුතුයැයි සැලකෙන ඕනෑම කරුණක් ජනාධිපතිවරයාට ජන මත විචාරණයකට ලක් කිරීමට ඇති ඉඩකඩ 86 විධිවිධානය මගින් පෙන්වා දී ඇත. 

 
රනිල්ගේ ජනාධිපති සටනේ සංකේතාර්ථය

 

රංගේ බණ්ඩාරගේ ප්‍රකාශයට පෙර අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කර නබවත් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන 2024 අයවැය මගින් වෙන් කිරීමට කටයුතු කර ඇති බවත්ය. පළමුව පැවැත් විය යුත්තේ පාර්ලිමේන්තු මැතිවරණයද ජනාධිපතිවරණයද යන සංවාදයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මතය වූයේද පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි. එක් අවස්ථාවක කැබිනට් මණ්ඩලයේද තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට අදහසක් මතු කර තිබිණි. එයින් විද්‍යමාන වන්නේ ස්ථීර වශයෙන්ම මෙවර ජනාධිපතිවරණයේ ජාතික අපේක්ෂකයා වශයෙන් සියලු දේශපාලන පක්ෂ, බහු ජන සංවිධාන සහයෙන් තරඟ බිමට පිවිසීමට ලබාදුන් පිළි ගත හැකි සංඥාවක් බවයි. ඉදිරි සති තුන-හතර ඇතුළත රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් ජාතිය අමතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ප්‍රකාශයට පත් කිරීම සිදු විය හැකිය. 

රංගේ බණ්ඩාරගේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ ජනාධිපතිවරණ සටන කඩිනමින් ආරම්භ කිරීම (Kick Start) සඳහා සංකේතාර්ථයක් වශයෙන් යොදා ගෙන ඇති බවකි. විශේෂයෙන් රනිල් විසින් ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලියට සිදු කළ කැප කිරීම පිළිබඳව ජන මතයක් ගොඩනැගීමේ ප්‍රවේශය රංගේ බණ්ඩාරගේ ප්‍රකාශය හරහා ඉදිරියට ගැනීමේ පියවරක් ලෙස යොදා ගත් බව පෙනෙයි. වැඩි දුරටත් රංගේ බණ්ඩාරගේ ප්‍රකාශය මගින් පරිකල්පනය කර ඇත්තේ ආර්ථික වශයෙන් බිඳ වැටී ගත කළ ජීවිතය යහපත් තත්ත්වයකට ගෙන ඒමට රනිල් සිදු කළ මෙහෙය සිහිපත් කිරීම විනා ජනාධිපතිවරණය කල්දැමීමක්  නොවන බව පැහැදිලිය. රංගේ සාධකය එලෙසම සංවාදයට ලක් කිරීමට ඉඩ හැර ජනාධිපති සටනේ අනෙක් ප්‍රධාන සාධකය වන එජාප සංවිධාන කටයුතු ශක්තිමත් කිරීම මෙහිදී අතිශය වැදගත්ය. 

 
එජාප පරිධියේ දේශපාලනය 

 

එජාප නව නිලධාරි මණ්ඩලය සඳහා පෙර පැවති නිලධාරි මණ්ඩලයම අනුමත කිරීමට පසුගියදා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කටයුතු කළහ. මෙහි වැදගත්ම කරුණ වන්නේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සංවිධානය කිරීම සඳහා එජාප ඉදිරිපෙළ නායකයෙකු වූ රවී කරුණානායක ජනාධිපතිවරණ මෙහෙයුම් ලේකම් වශයෙන් කටයුතු කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමි වීමය. මෙය එජාප ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය මෙන්ම ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා පසුබිම සැකසීමේදී අතිශයින් වැදගත් වූ ප්‍රවේශයක් ලෙස සැලකිය හැකිය. විශේෂයෙන් රවී කොළඹ දිස්ත්‍රික්කය තුළ සාර්ථක හා විධිමත් යාන්ත්‍රණයක් මගින් ඇති කරනු ලබන පිබිදීම අනෙක් දිස්ත්‍රික්කවලද එජාපයේ නව පිම්මකට හේතුවීම නොවැළැක්විය හැකිය.   

 
එජාපයට හිමි මිලියන 2.5

 

2019 ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂකයා ලෙස එවක නියෝජ්‍ය නායකයා වූ සජිත් ප්‍රේමදාස ඉදිරිපත් විය. ඔහු ඡන්ද 5,564,239 (41.99%) ක් ලබා ගත්තේය. මෙම ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමට එජාප පාක්ෂිකයින් සියලු දෙනා සහය දැක්වීමට ඉදිරියට පැමිණියහ. කෙසේ වුවද පශ්චාත් ජනාධිපතිවරණය හමුවේ බල ලෝභය, පක්ෂයේ කණ්ඩායම් අතර නායකත්ව අභිලාෂයන්, කුමන හෝ තනතුරක් ලබා ගැනීම වැනි පටු වාසි සහගත කරුණු ඉදිරියට පැමිණියේය. 

එජාපයේ පරිණත නායකයාගේ කාර්යය, හැකියාව විවේචනයට ලක් කළහ. මෙහි ප්‍රතිඵලය වූයේ එජාපය කඩා බිඳ දැමීමට එම පිරිස කටයුතු සැලසුම් කිරීමය. 2020 වර්ෂයේ පැවති මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය විමසා බැලීමේදී එජාපයෙන් වෙන්වූ පිරිස සාම්ප්‍රදායික දුරකථනය ලාංඡනය තෝරා ගෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ඡන්ද 2,771,980 (20.90%)ක් දක්වා ගැඹුරු ඛාදනයට ලක් විය. 

මෙම පසු බැසීමට හේතු වූ ප්‍රධාන සාධකය ලෙස හඳුනා ගත හැකි වන්නේ එජාපයේ ඡන්දදායකයින් මහ මැතිවරණයේදී එජාප-සජබ වෙන්වී යාමට විරෝධය දැක්වීමකි. එජාපයේ ඡන්ද 249,435 සලකා බැලූ විට 2020 මහ මැතිවරණයේදී මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් නිහඬව සිටි බව පෙනී යයි. ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලයට දායක වූ දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය, සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ අයත් රවුෆ් හකීම් සහ රිෂාද් බදියුද්දීන්ගේ දේශපාලන පක්ෂ මහ මැතිවරණයේදී වෙනම තරඟා කොට ලබා ගත් ඡන්ද ප්‍රමාණය වූ ලක්ෂ හයක ප්‍රමාණය සමග සසඳා බැලීමේදී මිලියන 2.5ට ආසන්න ඡන්ද ප්‍රමාණයක් 2020 මහ මැතිවරණයේදී එජාප-සජබ ප්‍රතිවිරෝධතාවය නිසා ඊට ප්‍රතිචාර වශයෙන් ඡන්ද පොළට නොපැමිණියහ. 

මෙය නැවත එජාපය වෙත ආකර්ශනය කර ගැනීමේදී රවී කරුණානායක ජනාධිපතිවරණ මෙහෙයුම් ලේකම් වශයෙන් කොළඹ දිස්ත්‍රක්කය තුළ ඇති කරනු ලබන ප්‍රවර්ධනය තීරණාත්මක සාධකයක් විය හැකි බව සැලකිය හැකිය. එජාපය කුලියාපිටිය සහ මැයි රැළිය ප්‍රධාන රැස්වීම් සංවිධානය කිරීම ඔස්සේ අර්බුදයට ලක්වූ රට නැවත ස්ථායිකරණයට ලක් කිරීමට  ජනාධිපතිවරයා දැක්වූ සාමාර්ථය සඳහා ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබිණි. මෙම සාර්ථකත්වයේ ප්‍රතිඵලය වූ කලී පරිධියේ එජාප සාමාජිකයින් කේන්ද්‍රයට කැඳවීමෙන් ලබා ගත් ජයග්‍රහණයක ප්‍රවේශයකි. ජනාධිපතිවරණයේ විජයග්‍රහණය ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා විසින් ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කළ ආකාරය සහ ඉදිරි සංවර්ධන වැඩ සටහන කේන්ද්‍රයේ සිට පරිධිය වෙත තල්ලු කිරීමේ සිද්ධාන්තය තුළ ග්‍රාමීය අර්ධ නාගරික ප්‍රදේශ සාර්ථක මට්ටමකට රැගෙන යාමේ වැඩ පිළිවෙළ එජාප ඉදිරි පෙළ නායකයින්ගේ සහභාගිත්වයෙන් දියත් කිරීම සඳහා කඩිනම් අවධානය යොමු විය යුතුය. 

එජාප මිලියන 2.5 තවමත් නිවෙස්වල සිටිති. මැතිවරණ ප්‍රචාරක රැස්වීමේ පළමු අදියර වශයෙන් දොරින් දොරට පාද චාරිකා කොට එජාප සබඳතා ගොඩනැගීමේ වැඩ සටහන ( Relationship Building program for UNP) වඩා ශක්තිමත් ආරම්භයක් වශයෙන් රවී කරුණානායක ඇතුළු ඉදිරි පෙළ නායකයින් ග්‍රාමීය නායකයින් පෙරටු කර ගෙන ආරම්භ කිරීම වඩාත් වැදගත් වේ. 

 
පරිණත බවට එරෙහි අපරිණත දේශපාලනය 

 

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ප්‍රතිසංවිධාන කටයුතු අඛණ්ඩව පවත්වා ගනිමින් දියුණු රාජ්‍යයක් කරා ගෙන යාමට පරිණත වූ නායකත්වයකින් කෙතරම් දායකත්වයක් හිමි වන්නේද යන්න රනිල් විසින් 2022 දී පැවති රට අවුරුදු 2 කට ආසන්න කාලයකදී ජන ජීවිතය යථාවත් කිරීමට දැක්වූ නිපුණතාව සාක්ෂි දරයි.

2020 දී එජාපය කඩා බිඳ දැමීමට ඉදිරියට පැමිණි අපරිණත පිරිස රනිල්ගේ පරිණත බව විවේචනයට ලක් කළහ. සමහර අය ප්‍රකාශ කර සිටියේ තමා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විටද රනිල් එජාප නායකයා ලෙස සිටි බවත් තම පුත්‍රයා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන විටද රනිල් දේශපාලනයේ නිරතව සිටි නබවත්ය. එනිසා රනිල්ගේ පරිණත බව විවේචනයට ලක් කිරීමට කටයුතු කළහ. 

2022 දී ආර්ථික අර්බුදයට මුහුණදී රට ශක්තිමත් කිරීමට අපොහොසත් වීමෙන් ඇතිවූ ව්‍යසනය මෙන්ම වගකීම් භාර ගැනීමට තරම් තීරණ ගැනීමේ දක්ෂතාව, ඍජු බව, දේශපාලන මූලෝපායික කරුණු තේරුම් ගැනීමට දැක්වූ අසමත් බව ගෝඨාභය රාපක්ෂගේ කාලයේ දේශපාලන භූ දර්ශනය තුළ සිදු වූ ක්‍රියාකාරකම් පෙන්නුම් කරයි. කෙසේ වුවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වී ඉතා කෙටි කලක් තුළ ආර්ථිකය ස්ථායීකරණය කිරීමට දැක්වූ නිපුණතාව මගින් පරිණත නායකත්වයේ වැදගත්කම පෙන්නුම් කර ඇත. 

රනිල්ගේ පරිණත බව විවේචනය කිරීමේ ඉදිරි පෙළ සාමාජිකයින් කිහිපදෙනෙකුම නැවත එජාපයට සම්බන්ධ වීමෙන්ද තහවුරු වන්නේ ඔවුන් සමාජ ගත කිරීමට උත්සහ කළ සාධකය සත්‍යයක් නොවන බවයි. ලෝකයේ බොහෝ රාජ්‍ය දියුණුව කරා ගෙන යාමට පරිණත නායකත්වය අත්‍යවශ්‍ය කරුණක් බවට පත් විය. 

ජේ.ආර්. ජයවර්ධන 1977 රාජ්‍ය බලය ලබා ගැනීමේදී දේශපාලනයේ දශක ගණනාවක් කටයුතු කර අත්දැකීම් සමුදායක් ලබා සිටියේය. මෙබඳු බොහෝ පිරිසක් ලෝක දේශපාලනය තුළ තම පරිණත නායකත්වය ලබා දී අභිවෘද්ධිය ඇති කිරීමට සමත් විය. චීනයේ ඩෙන්-ෂියාඕ-පින්, ඇමරිකා එක්සත්. ජනපදයේ රොනල්ඩ් රේගන්, ජෝ බයිඩන්, බ්‍රිතානයේ වින්ස්ටන් චර්චිල්, බ්‍රසීලයේ ලූලා ද සිල්වා, මැලේසියාවේ මහාතීර් මොහොමඩ්, දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා එයින් කිහිප දෙනෙකි.  

ශ්‍රී ලංකාවේ මීට පෙර ඇති නොවූ ආර්ථික අර්බුදය කිසිකෙනෙකු බලාපොරොත්තු නොවුවකි. එසේ නම් රටේ ඉදිරි අනාගතය ශක්තිමත් කිරීමට පරිණත රනිල් සමග සැසඳීමට තරම් වූ දේශපාලන චරිතයක් පිළිබඳ සංවාද කිරීම නිරර්ථක ප්‍රතිඵලයක් බව පැහැදිලි වේ. 

 
රනිල් දේශපාලනය අලුතින් ලියයි

 

පරිණත දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමය අතර පවතින සබඳතාව කෙබඳු ආකාරයේ ස්වරූපයක් ගනීද..? 2020 මහ මැතිවරණයේදී ජනතාව රනිල්ට ඡන්දය ලබා දුන්නේ නැත. පොහොට්ටු පක්ෂයේ ගෝඨාභය රාජපක්ෂට ආණ්ඩු බලය ලබා දීමට ජනතාව ඉදිරියට පැමිණියහ. එජාපයට ඡන්දය නොදී පසු බැස්සවීමට ජනතාව ක්‍රියා කළහ. එහෙත් ඉක්බිතිව සිදු වූයේ කුමක්ද..? නිවැරදි ප්‍රතිපත්ති සමුදාය, පරිණත නායකත්වය තේරුම් නොගෙන ජනතාව විශාල බලයක් ලබා දුන් නායකත්වය අසාර්ථක බව හා ඡන්ද බලය ලබා නොදී තාවකාලිකව පසෙක තැබූ රනිල්ගේ සාර්ථකත්වය විදහා දැක්වීමේ සූත්‍රය මෙරට දේශපාලනය තුළ ගැඹුරින් හැදෑරිය යුතු ප්‍රවණතාවකි. 

සම්ප්‍රදායානුකූල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සැලකිය යුතු මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි අනුර දිසානායක යන දෙදෙනාම එම අභියෝගය භාර ගෙන සාර්ථකත්වය ලබා දීමට අසමත් විය. එම පසුබිම තුළ පරාජිත වූ පරිණත දේශපාලන නායකයාට ආරාධනා කිරීමේ දේශපාලන ප්‍රවේශය හේතු කොට ගෙන රට ගොඩනැගීමේ හැකියාව රටට පෙන්නුම් කිරීමට රනිල් සමත්විය. රංගේ බණ්ඩාර මතු කරන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ අතර මෙබඳු අවබෝධතා ගිවිසුමකට එළඹීමක් වැනි දෙයක් සහ රනිල් රට ගොඩ ගත් ආකාරය ජනතාවට සිහි පත් කරන ක්‍රමයක් ලෙස විය හැකිය.  

II වන ලෝක සංග්‍රාමයේදී මිනිස් හා දේපළ සංහාරයට එරෙහිව බ්‍රිතාන්‍ය, පළමුව දේශපාලනය පසෙකලා ප්‍රධාන දේශපාලන පක්ෂ වූ කොන්සර්වේටිව්, කම්කරු හා ලිබරල් යන පක්ෂ එකතු වී සන්ධාන ආණ්ඩුවක් පිහිටු වීමට (1940-1945) පියවර ගනු ලැබීය. සන්ධානය පිහිටු වීමට පෙර සිටි අග්‍රාමාත්‍යවරයා වූ නෙවිල් චෙම්බර්ලේන් එම තනතුරින් ඉල්ලා අස්වී වින්ස්ටන් චර්චිල්ට අග්‍රාමාත්‍ය තනතුර භාර දී යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා නායකත්වය ලබාදීමට ආරාධනා කළේය. විරුද්ධ පක්ෂය ලෙස කටයුතු කළ කම්කරු, ලිබරල්, නව ලිබරල් පක්ෂ නියෝජනය වන සේ කැබිනට් මණ්ඩලය සකස් කර කම්කරු පක්ෂ නායක ක්ලෙමන්ට් ඇට්ලී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර යුද්ධයට සාර්ථකව මුහුණදී ජර්මනිය පරාජය කළේය. 

ඉක්බිතිව යුද්ධය නිමා කොට කම්කරු පක්ෂය සන්ධානයෙන් ඉවත් විය. පසුව 1945 මහ මැතිවරණයට මුහුණ දී වෙන්වෙන්ව දේශපාලන කටයුතු යළි ආරම්භ කළේය. රංගේ බණ්ඩාර මතු කරන ප්‍රස්තුතය තුළ අප තේරුම්ගත යුතුව ඇත්තේ ආර්ථික යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා එහි සාර්ථකත්වය පෙන්නුම් කළ රනිල් ඇතුළු අනෙක් ප්‍රධාන බලවේගවල එකමුතුවක් රට ගොඩනැගීම සඳහා අවශ්‍ය බවය.

 

 

Advertiesment