ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතව ජනාධිපති ධූරය සහ පාර්ලිමේන්තුව සඳහා නියම කර ඇති වසර පහක කාල සීමාවෙන් ඔබ්බට ධූරයන්හි රැඳීසිටීමේ සියලු විකල්පයන් ආණ්ඩුවේ නායකයන් සළකා බලමින් සිටින බව පෙනේ. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම වසර දෙකකින් කල් දැමීමට රජය සළකා බලමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කළේය. මැතිවරණ කල්දැමීමට ඉඩ ඇති බවට සැළකිව යුතු සැකසංකා පවතී. ඇත්ත වශයෙන්ම, මෙය වසරකට වැඩි කාලයක් තිස්සේ පවතින දේශපාලන සාකච්ඡාවේ කොටසකි. ආර්ථිකයේ ශක්තිමත් බව සහතික වන තුරු දේශපාලනය නොවෙනස්ව පැවැතිය යුතු බව සාධාරණීකරණය කිරීම සඳහා ආණ්ඩුව පෙන්වාදෙන්නේ, ආර්ථික ප්රකෘතියේ ජයග්‍රහණ ආපසු හැරවීම වැළැක්වීමට අවස්ථාව ලබානොදිය යුතු බවයි. මෙම තර්කයට යටින් පවතින උපකල්පනය වන්නේ, වත්මන් ආණ්ඩුව එම කාර්යය සඳහා වඩාත් සුදුසු බවත්, ඔවුන්ගේ කාර්යසාධන වාර්තාව මෙය සනාථ කරන බවත්ය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ අන්තර්ජාතික ප්‍රජාව රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවත්, මෙම දියුණුව තිරසාරව පවත්වාගෙන යායුතු බවත් පිළිගෙන ඇත. රටේ ස්ථාවරත්වය වැඩිදියුණු කිරීමේ වැඩි ගෞරවයක් හිමිවන්නේ අඛණ්ඩ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය යැයි සැළකෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය වෙතටය. ව්‍යාපාරික ප්‍රජාවේ මෙන්ම බුද්ධිමතුන් අතරද ද බොහෝ මත පළකරන නායකයන් සිටින අතර, ඔවුන් මැතිවරණ සහ ආණ්ඩු වෙනසක් මගින් තමන් ලබා ගත් ජයග්‍රහණ අනතුරේ හෙළිය හැකි බවට මත පළකර ඇත. එසේම තවත් බොහෝදෙනකුට තමන්ගේ අනාගතය අහිමි වූ බවක් හැඟිය හැකි අතර, එයද බරපතල ලෙස සැළකිල්ලට ගත යුතු කරුණක් විය යුතුය. ප්රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් මේ වසරේ මුල් මාස හතර තුළ සියයට 400කට වඩා වැඩි වර්ධනයක් අත්කරගෙන ඇති බවට පසුගියදා පුවත් වාර්තා විය. එහෙත් මන්දපෝෂණය සහ දරිද්‍රතාවය පිළිබඳ සංඛ්‍යාලේඛන අඛණ්ඩව නරක අතට හැරෙමින් පවතී.
දරාගත නොහැකි ආර්ථික පිරිහීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව පවසමින් මීට වසර දෙකකට පෙර ජනතාව පාරට බැස්සහ. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ ආර්ථික තත්ත්වය යථා තත්ත්වයට පත්කරන නව ආණ්ඩුවකි. මෙය තවමත් සිදුවෙමින් පවතින අතර, සමාජය තුළ දැඩි කලකිරීමක් සහ වෙනසක් සඳහා වූ ඉල්ලුම මතුපිටින් බුබුළමින් පවතී. මහජන මත විමසුම්වලින් පෙනීයන්නේ ආණ්ඩුව විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකට වඩා දුරින් තුන්වැනි ස්ථානයක පසුගාමීව පසුවන බවයි. මැතිවරණය වසර දෙකකින් කල්දැමිය යුතු බවට කැළඹෙන හඬක් නැඟෙන්නේ ආණ්ඩුව ජනතාවගේ තීන්දුවට බියෙන් සිටින බව පෙනෙන මෙම තත්ත්වය තුළය.
සිවිල් අවකාශය සීමාකිරීමට සහ විසම්මුතිය මැඩපැවැත්වීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත පවතින බලතල රජය ක්‍රමානුකූලව වැඩිකරමින් සිටින බවට කණස්සල්ලක් පවතී. බොහෝ විවේචනයට ලක් වූ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ දැන් සමාජ මාධ්‍ය හරහා විසම්මුතිය සඳහා ප්රජාතන්ත්රවාදී අවකාශය වසාදැමීමට බලය ලබාදෙන නව ඔන්ලයින් ආරක්ෂණ නීතිය භාවිත කිරීමේදී රජය දිගින් දිගටම කටයුතු කරන ආකාරය අනාගතය සම්බන්ධයෙන් සළකා බලන විට අසුබය. යෝජිත ත්‍රස්ත විරෝධී පනත, විකාශන අධිකාරී පනත සහ රාජ්‍ය නොවන සංවිධාන පනත මගින් රජය විසින් පත්කරන ලද තීරණ ගන්නන්ට, රටේ ජාතික ස්වෛරීභාවයට සහ මහජන සාමයට හානි කරන බව පවසමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ දේශපාලන මතයට හානි කිරීමේ ව්‍යාජ හේතූන් මත වුවද දණ්ඩනීය ක්‍රියාමාර්ගවලට යටත් කිරීමේ බලය ලබා දෙනු ඇත.
ප්රජාතන්ත්රවාදී මූලධර්ම සහ ජනතා අයිතීන් උල්ලංඝනය කරමින්, පළාත් පාලන හා පළාත් සභා යන මැතිවරණ දෙකම දැනටමත් කල්දමා ඇති අතර, ඒවා බොහෝ කල් ප්‍රමාද වී ඇත. මෙවන් අර්බුදකාරී තත්ත්වයන් තුළ සහ තීරණාත්මක ජනාධිපතිවරණයක් ආසන්නව තිබියදී, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම වසර දෙකකින් කල්දැමීමට රජය සළකා බලමින් සිටින බවට එජාප මහලේකම්වරයා විසින් කරන ලද ප්‍රකාශය, මේ කාරණය සම්බන්ධයෙන් පාවෙන 'අත්හදාබැලීමේ බැලූනයකට' සමානය. 'අත්හදාබැලීමේ බැලූනයක්'(Trial Balloon) යනු පූර්ණ සැලැස්මකට හෝ ක්‍රියාමාර්ගයකට යෑමට පෙර මහජන ප්‍රතිචාරය හෝ උනන්දුව මැන බැලීම සඳහා පාවෙන මූලික හෝ තාවකාලික යෝජනාවක් හෝ අදහසක් වේ.
මැතිවරණ ප්රජාතන්ත්රවාදයේ ඉතා වැදගත් අංගයක් වන අතර, රජය කෙරෙහි ජනතාවගේ කැමැත්ත පිළිබිඹු කරන බව සහතික කිරීමේ මූලික යාන්ත්‍රණය ලෙස ක්‍රියාකරයි. එමගින් පුරවැසියන්ට තම නායකයන් තෝරාගැනීමට සහ ඔවුන්ගේ ක්‍රියාවන් හා ප්‍රතිපත්ති වෙනුවෙන් වගවන බවට ව්‍යුහගත සහ නීත්‍යානුකූල මාර්ගයක් සපයයි. මැතිවරණ විසින් නීත්‍යානුකූල බල හුවමාරුව සහ ගැටුම් නිරාකරණය සිදුකරනු ලබයි. මැතිවරණ විසින් රජයේ නීත්‍යානුකූලභාවය සහ ප්‍රතිචාර දැක්වීම පවත්වාගෙන යයි. මේ අනුව, විධිමත්, නිදහස් හා සාධාරණ මැතිවරණයකින් තොරව සැබෑ ප්රජාතන්ත්රවාදයක් පැවැතිය නොහැක. කෙසේවෙතත්, මැතිවරණ පැවැත්වීම වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතාවක් වී නැත.
එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාගේ මැතිවරණ කල්දැමීමේ යෝජනාවේ ගැටලුව වන්නේ, මෙය ඉහත දක්වා ඇති ප්රජාතන්ත්රවාදයේ සහ වගවීමේ මූලික මූලධර්මවලට පටහැනි වීමයි. ඡන්දදායක ජනතාව සැබවින්ම උත්තරීතර වන අතර සිය නියෝජිතයන් නෙරපාහැරීමේ හෝ ඔවුන් තබාගැනීමේ බලය ඡන්දදායකයන්ගේ අතට ලැබෙන්නේ මැතිවරණ දිනයේදීය. ශ්‍රී ලාංකික ජනතාව මැතිවරණ සඳහා ක්‍රියාකාරී සහභාගිවන්නන් වී ඇත. ජනතාවගේ මැතිවරණ සහභාගිත්ව අනුපාතය නොවෙනස්ව සියයට 70 ඉක්මවන අතර, ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින සංක්‍රමණිකයන් වන ඡන්දදායකයන්ගෙන් සියයට 20 කට ආසන්න පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වුවහොත් එය බෙහෙවින් වැඩි වනු ඇත.
ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා ප්රජාතන්ත්රවාදයේ මූලධර්ම යටපත් කිරීමට එජාප ප්‍රධාන ලේකම් රංගේ බණ්ඩාරගේ කැමැත්ත, බලය රඳවා ගැනීමේ බලපෑම් මත මෙහෙයවනු දැකගත හැකිය. මෙවැනි ප්රජාතන්ත්ර විරෝධී ව්‍යාපෘති භාවිතයෙන්, අවස්ථා දෙකකදී, පැවැති ආණ්ඩුවල නායකයෝ සාර්ථක වූහ. පළමු වතාවට 1972 දී එවකට පැවැති ආණ්ඩුව සම්පූර්ණයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත් අතර, එහිදී ඔවුන්ට බලයේ සිටීමට අමතර වසර දෙකක කාලයක් ලබාගැනිණි. 1982 දී මැතිවරණයක් නොපවත්වා පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර පහකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව ජනමත විචාරණයක් පැවැත්වූ අතර, එම ක්‍රියාව වඩාත් අපවාදාත්මක ලෙස විවේචනයට ලක්විය. තවත් දශක එකහමාරක් පැවැති පූර්ණ පරිමාණයේ වාර්ගික යුද්ධයට තුඩුදුන්, එම ආණ්ඩුවේම ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් විසින් පහසුකම් සපයන ලද, 1983 දෙමළ විරෝධී සංහාරය එහි ප්‍රතිඵලයක් විය.
තම නිල කාලය දීර්ඝ කර ගැනීමට සැබවින්ම සමත් වූ එම පසුගිය ආණ්ඩු දෙක, ඉන් පසුව පිළිකුලෙන් හා බලාපොරොත්තු සුන්වීමෙන් "හත් අවුරුදු ශාපය" ලෙසත් "දස අවුරුදු ශාපය" ලෙස හැඳින්විණි. මේ මත පදනම්ව තවත් වසර දෙකකින් මැතිවරණ කල් දැමීමේ උත්සාහයකට ජනතාව කාරුණික නොවනු ඇතැයි අනුමාන කළ හැකිය. විරුද්ධ පක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණද එවැනි කල් දැමීමකට විරුද්ධ වනු ඇතැයි ඒ හා සමානව අනුමාන කළ හැකිය. තමන් තවදුරටත් බල සමීකරණයේ කේන්ද්‍රයේ නොසිටින පශ්චාත් මැතිවරණ වාතාවරණයක් ගැන ආණ්ඩුව කණස්සල්ලට පත්ව සිටින අතරම, විරුද්ධ පක්ෂ ඔවුන්ගේ සාර්ථකත්වයේ අවස්ථා වෙන කවරදාටත් වඩා හොඳ යැයි ශුභවාදීව පසුවෙයි.
මෙම සන්දර්භය තුළ බලන විට, අන්තර්ජාතික ප්‍රජාවේ ප්‍රතිචාරය තක්සේරු කිරීම සඳහා මැතිවරණ කල්දැමීම පිළිබඳ 'අත්හදා බැලීමේ බැලූනය' පාවී ගොස් ඇති බව පෙනේ. අන්තර්ජාතික ප්‍රජාව ආණ්ඩුවට ඉතා වැදගත් වී ඇත්තේ රටේ ආර්ථික ප්‍රකෘතිය සඳහා අත්‍යවශ්‍ය මූල්‍ය ආධාර සහ වෙළෙඳපොළ ඔවුන් විසින් ලබාදීම නිසාය. ජනාධිපති වික්‍රමසිංහ ප්රමුඛ වත්මන් ආණ්ඩුවට අන්තර්ජාතික ප්රජාවද සහයෝගය ලබාදී ඇත. ජනාධිපතිවරයා ඔවුන් ගෙන ඒමට කැමති ඕනෑම මාතෘකාවක් පිළිබඳ තාර්කික සහ දැනුවත්භාවයකින් සාකච්ඡා කිරීමට සූදානම් බැවින්, අන්තර්ජාතික ප්‍රජාව විසින් ඔහුව ව්‍යාපාර කිරීමට කැමති පුද්ගලයකු වශයෙන් පුළුල් ලෙස හඳුනාගෙන ඇත. මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් තම පක්ෂයේ මහලේකම්වරයාගේ ප්රකාශයන්ගෙන් ජනාධිපතිවරයා ඈත්වී සිටින බව දැකගත හැකිය. එහෙත් ජාතික අවශ්‍යතා සඳහා සහ ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියට කැපවී සිටින බවට ආණ්ඩුවේ විශ්වාසනීයත්වය යළි ඇති කරන ආකාරයෙන්, ඉක්මණින් නිරාකරණය කරගත යුතු සැකය තවදුරටත් පවතියි.
රජය විසින් ඉදිරිපත් කරන ලද 'අත්හදා බැලීමේ බැලුනයේ' ප්‍රතිඵලය අන්තර්ජාතික ප්‍රජාවේ කිසිදු දිරිගැන්වීමක් ලබාගෙන නොමැත. අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය අගය කරන අතර මැතිවරණය එහි ප්‍රධාන අංගය ලෙස දකී. එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නොබෝ වේලාවකට පෙර අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් මැතිවරණ කොමිසමට පැමිණි අතර එහිදී ඇය ජනාධිපතිවරණයට සූදානම් වීමේ තත්ත්වය පිළිබඳව විමසා සිටියාය. ඊට අමතරව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ නියෝජිත පිරිසක් මැතිවරණ කොමිසම වෙත වෙනම සංචාරයක නිරත වූහ. ආර්ථික හා සමාජ ස්ථාවරත්වය සැලසුම් කිරීම සඳහා මැතිවරණ සාධකගත කළ යුතු බවට වන පණිවිඩය පැහැදිලි වන අතර, මෙය ශ්‍රී ලංකා රාජ්‍යය මෙන්ම ශ්‍රී ලංකා ඡන්දදායකයන් විසින් ද භාරගත යුතු අභියෝගයකි.
අවසාන මොහොතේ මැතිවරණ කල් දැමීමට උත්සාහ කරනවා වෙනුවට, පහත සඳහන් කරුණු සළකා බැලීම ආණ්ඩුවට යෝග්‍ය වනු ඇත. එනම් දැඩි දූෂණ විරෝධී නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාක්ෂි පෙන්වීම සහ ඒවා දැඩි ලෙස ක්‍රියාත්මක වන බව සහතික කිරීම; රටේ ප්‍රගතිය සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ තෘප්තිමත් බව ගැන විශාල ගීතයක් ගයමින් හා නැටුමක් නටමින් තිබුණද, ඇත්ත වශයෙන්ම රජය විසින් මේ දක්වා ක්‍රියාත්මක කර ඇත්තේ IMF කොන්දේසිවලින් සියයට 30ක් පමණි. නියමිත බැඳීම් සපුරාලීමට අපොහොසත් වීම, සම්පූර්ණ වගකීම් 19 ක් ලෙස ප්‍රදර්ශනය වන අතර, ඉන් 10 ක් විනිවිදභාවය සහ ප්‍රකාශන අවශ්‍යතාවලට සම්බන්ධ වේ. ඒවාට ඇතුළත් වන්නේ; පොදු අර්ධ වාර්ෂික පොදු ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු සහ බදු නිදහස් කිරීම් ඇස්තමේන්තුගත කිරීම, බදු සහනවල සෘජු වියදම් ප්‍රකාශයට පත්කිරීම යන කරුණුය. මේවා දැවැන්ත දූෂණයන්ට අනුබල දෙන සාධක වේ. එමෙන්ම, රට යළි ගොඩනැගීම සඳහා ප්රජාතන්ත්රවාදී ජනවරමක් සහිත නීත්‍යානුකූල පාලනයක් සහතික කිරීම සඳහා දැඩි හා කෙටි කාල රාමුවකට අනුව ජනාධිපති, පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහතික කිරීම අනෙක් සාධකය වේ.
Lanka Newsweek © 2024