Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


ජවිපෙ පස් වැනි වරටත් පිස්සු වැටෙයිද..?


2024-06-05 14364

 

ජවිපෙ තර්ජනය ගැන ආණ්ඩුව දන්නවා ද..?

 

ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් සැලසුම් කොට තිබෙනවා ද..? 

 

2024 ජූලි 14 වැනිදාට පෙර සියලු දෙනා ජවිපෙට බැඳිය යුතුද..? 

 

පස් වැනි වියරුවට ගොදුරු වී දේපොළ ජීවිත අහිමි කර ගත යුතුද..?

 

නොඑසේ නම් මේ රටින් පිට වී සරණාගතයන් විය යුතුද..? 

 

ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය රැක ගැනීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් තිබෙනවා ද..?

 

ආණ්ඩුව පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටිනවා ද..?

 

පොල්පොට් පන්නයේ පාලන ක්‍රමයක් බිහි වීමට ආණ්ඩුව ඉඩ දෙනවා ද..?

 
 
(මහාචාර්ය මිල්ටන් රාජරත්න)

 

ජවිපෙ යනු කවුද කුමක් ද යන්න ලංකාවේ මිනිස්සු හොඳින් දනිති. පිස්සු වැටෙනවා යනු කුමක් ද යන්නත් හොඳින් දනිති. එසේ හොඳින් දන්නේ මහා ජන ඝාතන, බැංකු මංකොල්ල, හොරකම්, මැරකම්, ගිනි තැබීම්, තුච්චකම් අපේ රටේ හඳුන්වා දෙනු ලැබුවේ ජවිපෙ විසින් වන බැවිනි. එබැවින් මින් පෙර හතර වතාවක් එසේ පිස්සු වැටීමේ ප්‍රතිඵලයක් ලෙස රටට හා ශ්‍රී ලාංකික ජන සමාජයට අත් වූ ව්‍යසනය මෙහි දී පුන පුනා කීම අවශ්‍ය නොවෙතත් ඒවායෙහි පෙළගැස්ම පමණක් සඳහන් කොට පස්වෙනි වරටත් වියරු වැටීමේ ප්‍රවණතාවක් තිබෙන බව පෙන්වා දීමට මේ මගින් අපේක්ෂා කෙරේ.

ජවිපෙ පළමු පිස්සු වැටීම 1971 කැරැල්ලෙන් කල එළි දුටුවේය. වික්ටර් අයිවන් සූරින් මෑතක දී ලියා ඇති පරිදි මැතිවරණ නැති ඒකාධිපති පාලන ක්‍රම ඇති රටක කැරලි ගසා බලය අල්ලීම සාමාන්‍ය ප්‍රවණතාවක් වුවද මහ මැතිවරණයකින් තුනෙන් දෙකක ජන වරමක් ලබා වසරක් ගත වීමටත් මත්තෙන් එම මහජන ආණ්ඩුවට එරෙහි කැරලි ගැසීම එහි නායකයා සහ ඔහුගේ අමන අනුගාමිකයන් රෝත්තකගේ පිස්සු වැටීමක ප්‍රතිඵලයක් නොවේද..? 

දෙවැනි පිස්සු වැටීම දිස් වූයේ 1983 දී ජාතිවාදී කෝලාහලය සමගය. මෙම කෝලාහලයේ මූල බීජය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙමළ සිසුන්ට පහර දීමෙන් ආරම්භ කෙරුණක් බව ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ‘67 කණ්ඩායමේ’ සමරු ප්‍රකාශනයකට ලියන ලද ලිපියකින් හෙළිවේ. එය පසුව රට පුරා පතුරුවා හරින ලද බව මහාචාර්ය කේ එම් ද සිල්වා සහ හොවර්ඩ් රිගින්ග්ස් ලියූ ජේ ආර් ජයවර්ධන චරිතාපදානයෙන් ද, ජේ ආර් ජයවර්ධනගේ දේශනාවලින් ද තහවුරු කෙරේ. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නාම පුවරුවේ සිංහලෙන් තිබුණු ‘පේරාදෙණිය විශ්ව විද්‍යාලය’ යන වචනවල තාර ගා තිබෙනු මම සියසින් දුටුවෙමි. එතෙකුදු නොව එකල ඉංගිරිසිය හරි හැටි නොදත් සිංහල සිසුන් නේවාසිකාගාරවල දෙමළ සිසුන්ගේ කාමරවලට ගොස් “Are you Tamil?” කියා ඇසූ බවත් ඔවුන් “ Yes” කියා පිළිතුරු දුන් විට “මං අහන්නේ Why are you Tamil?” යනුවෙන් එම සිංහල සිසුන් දෙමළ සිසුන්ගෙන් ප්‍රශ්න කළ බවත් මා අසා තිබේ. 

තුන්වෙනි පිස්සු වැටීම 1988-89 කාලයේ සිදු වූවකි. ශ්‍රී ලංකා සමාජයේ තුච්චම අත්දැකීම එය විය. මේ ගැන වික්ටර් අයිවන් හා නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න ඇතුළු ලේඛකයන් ද කථිකයන්ද මොනවට විස්තර කරනු ලැබේ. එම පිස්සුව ගැන යළි යළි සිහිපත් කොට ලිවීම මානව වර්ගයාට කරන මහා නිගාවකැයි සිතමි. එය ලෝකයේ මහා මිනී මරුවන් වන පිළිවෙළින් කාම්බෝජයේ කොමියුනිස්ට් පොල්පොට්ගේ ද සෝවියට් සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් ජෝශප් ස්ටර්ලින්ගේ ද ජර්මනියේ නට්සිවාදී ඇඩොල්ෆ් හිට්ලර්ගේ ද කුරිරු මිනිස් ඝාතනවලටත් වඩා ම්ලේච්ච වූ බව එකල විසූ සියලු දෙනාම දනිති. එකල අපේ ගම් පළාතේ සිදු කරන ලද ම්ලේච්ච මිනී මැරුම් කීපයක් ගැන මා දනිතත් නොලියාම බැරි මගේ එක් අත්දැකීමක් මෙහි ලා සටහන් කිරීම සුදුසු යැයි කල්පනා කරමි.

සරසවිය වසා තිබූ ඒ යුගයේ මම අපේ ගෙදර ගොස් සිටියෙමි. හමුදාවෙන් පැන කුදලා ගෙන ගොස් මරා දමනු ඇතැයි බියෙන් රෑ බෝ වන විට අම්මා බැඳ දෙන බත් මුලද රැගෙන රබර්වතු පීරා දම්බුලුවේ ඔයට ගොස් නරි ලගින ගල්ලෙන්වල රාත්‍රිය ගත කරමි. එවන් අනතුරක් නැතැයි සිතෙන දිනවල ගෙදර සිටිමි. එසේ සිටින දිනවල උග්‍ර ජේවීපී කාරයෙකු වන මගේ බාලම මල්ලිගේ සගයෙකුට මා හා කතාබහ කිරීමටත් විශ්ව විද්‍යාලයේ තතු දැන ගැනීමටත් අවශ්‍යව සිටින බව මා හා කීවෙන් මම ඊට ඉඩ දුනිමි.

කෙසග සිරුරැති කිලුටු ඇඳුමෙන් සැරසුණු මෝහෙන් මුලා වූ ඊර්ෂ්‍යායාග්නියෙන් දෙනෙත් දැල්වුණු, මුහුණ දැවුණු, මාරාවේශයෙන් මඩනා ලද උටි තරුණයෙකු මා හමු වීමට තුන් වතාවක් පමණ පැමිණියේය. හෙතෙම කිසිවක් ඍජුව නොදෙඩු නමුත් මා පරීක්ෂා කරන ලීලාවෙන් රට ගැන දේශපාලනය ගැන නන්දා මාලිනීගේ ‘පවන’ ගැන තරුණයාගේ වගකීම යනාදිය අළලා මගෙන් කරුණු විමසීය. ඒ වනාහී මා ගැන විපරම් කිරීමකැයි මට අවබෝධ විය. ඔහු එසේ පැය දෙක තුනක් පමණ කාලය ගත කරන බැවින් මගේ රාත්‍රී ආහාරයද එයින් ප්‍රමාදවේ. “පුතේ කන්නේ නැද්ද” යි අම්මා වරක් දෙකක් සිහි කැඳවන්නීය. “පස්සේ කන්නම්” යැයි මා කී විට රෑ 10 ට විතර මගේ බත් පිගාන දෙකට බෙදා මටත් එකී තරුණයාටත් ඈ පිළිගන්වන්නීය. ඔහුට වෙනම බත් පිගානක් බෙදා දීමට අපේ අම්මාට වත්කමක් නෙවීය. හෙතෙම ද ඒ බත් බාගේ කා බඩ නොපිරුනත් මගේ ජීවිතය බිලි ගැනීමෙන් බඩ පිරෙන බව දැන සතුටින් පිටත්ව යන්නේය. 

දින දෙක තුනක් විටින් විට මේ අත්දැකීමට මුහුණ දුන් මම මහනුවර අස්ගිරියේ තට්ට අන්කල්ගේ බෝඩිමට පැමිණ සුද්දන්ට සිංහල උගන්වමින් කාලය ගත කළෙමි. ඒ අතරවාරයේ ලංකා ජන සමාජය බිහිසුණු ලෙස විනාශ කළ මහ මොළකරුවන් සියල්ල සමූල ඝාතනය කොට ජවිපෙ තුන්වෙනි පිස්සුව සුව කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට හැකි විය. එහෙත් මගේ එකී මලනුවන් බොහෝ කලකට පසුව මා හා කියා සිටියේ එකී තරුණයා මා හමු වන්නට ආවේ ‘පක්ෂේ’ (ජේවීපී එකේ) ඕඩර් එකකට බවය. කුමන ඕඩර් එකකට දැයි විමසූ මට දැන ගන්නට ලැබුණේ මා ඒ වන විට අමෙරිකාවේ අධ්‍යයන නිමවා පැමිණ සිටි බැවින් මා CIA කාරයෙකු හා UNP කාරයෙකු බව ගමේ උග්‍ර ජේවීපී කාරයන් දෙදෙනෙකු වූ අපේ නැන්දාගේ පුතුන් දෙදෙනෙකු ‘පක්ෂෙට’ නිරන්තරයෙන් තොරතුරු දුන් බැවින් මා මරා දැමීමටත් එසේ මරා දැමීමෙන් පසු ප්‍රකාශ කිරීමට ඊට හේතු රැස්කිරීමටත් බවය. මෙම මිනී මරු ඔත්තුකරුවා තව ජීවතුන් අතර සිටින බවත් දැන් ඔහු මාවනැල්ල නගරය ආශ්‍රිතව ජිවිත රක්ෂණ ඔප්පු නියෝජිතයෙකු ලෙස රැකියාවක් කරමින් දරුපවුලක ජිවිත සුරකින බවත් දැන ගතීමි.

ජවිපෙ සිව්වෙනි වරට පිස්සු වැටුණේ පසුගිය අරගල සමයේ දීය. එම අරගලය බොළඳ යැයි කියමින්ද රහසින් සිය සගයන් ඊට සම්බන්ධ කරමින්ද එහි නායකත්වයට කැස කවමින්ද ජවිපෙ එහි නියලී සිටි බව කවුරුත් දන්නා කරුණකි. ඒ කාලයේ අරගල කරුවන්ගේ පිස්සුව කොපමණ ඉහවහ ගියාද කියතොත් ඇහැළේපොළ කුමාරිහාමිගෙන් පසු ප්‍රථම වරට මිනිසුන් පණ පිටින් වැවේ ගිල්වා දමනු ලැබීය. යාන වාහන ගිනිබත් කිරීමටද ව්‍යාපාර වනසා දැමීමටද ගේදොර ගිනිබත් කිරීමටද මිනී මැරීමටද පමණක් නොව ප්‍රජාතන්ත්‍රීය පාලන ක්‍රමයේ කේන්ද්‍රස්ථානය වන පාර්ලිමේන්තුවට ගිනි තැබීමටද ඔවුන් සැරසුණු බව ජනාධිපතිවරයාම නොයෙක් වර කියා සිටියේය. 

පුරවැසියෙකු ලෙස මා කණගාටු වන්නේ අපරාධ යුක්ති විනිශ්චය කොමිසමක් පත් කොට වැරදිකරුවන් සොයා ගන්නා ලෙස මා එකල ලියූ ලිපි ජනාධිපතිවරයා කියවා නැතිකමය. ඔහු ඒ ගැන පුන පුනා කියවනවා මිස ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වී සිටින්නේ ඇයි දැයි නොදනිමි. ඊටත් වඩා මේ රටේ පුරවැසියන් මුහුණ දී තිබෙන අභාග්‍යසම්පන්න කාරණය වන්නේ මහජනයා වැවේ ගිල්වා සාමුහික මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවට එරෙහි නඩුකර හෝ නඩු තීන්දු හෝ ගැන අසන්නට නොලැබීමයි. 

පස් වැනි පිස්සු වැටීම සිදු වන්නේ කවදාද..? කෙසේද..? නාවලපිටියේ ඥාතියෙකුගේ මංගල උත්සවයක දී ඉහත සඳහන් කරන ලද මගේ මල්ලී මා පැත්තකට කැඳවා ගෙන ගොස්  රහසින් කතාවක් කීවේය. එනම් 2024 මැයි මාසයේ හෝ ඉන් අනතුරුව ලංකා දේශපාලනයේ ‘මහා පිපිරීමක්’ හට ගන්නා බවත් එහි දී ප්‍රතිගාමීන් සංහාරය කරන බවත් එබැවින් දිවි ගලවා ගැනීමට නම් මා ජේවීපියට පක්ෂව සිටිය යුතු බවත්ය. කුරුණෑගල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයක දී ද ඔහු මෙවැනිම අනතුරු ඇඟවීමක් කළේය. මෙය දෙතුන් වතාවක් ඇසූ බැවින් මා මහත් කම්පනයට පත් වුණෙමි. එම කම්පනය තීව්‍ර වීමට තවත් විශේෂ හේතුවක් තිබේ. එනම් 2023 දෙසැම්බර් 17 වෙනි දින රුපවාහිනි ප්‍රවෘත්ති ප්‍රකාශයක දී සුනිල් හඳුන්නෙත්ති විසින් තිරසාර ලෙස කරන ලද ප්‍රකාශයයි. 

ඒ වූකලී 2023 දෙසැම්බර් 17 දිනෙන් පසු එළඹෙන 30 වෙනි ඉරිදා (එනම් 2024 ජූලි 14 දින) ජේවීපීය අනිවාර්යයෙන් මහජන ආණ්ඩුවක් පිහිටු වන බවයි. එම ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයකින් හදනවාද එසේ නොවේ නම් වෙනත් ක්‍රමයකින් හදනවා දැයි ඔහු කීවේ නැත. පාර්ලිමේන්තු මැතිවරණයක් මේ කාලය තුළ නොපැවැත්වෙන බව නොරහසකි. ඉදින් ජේවීපී ආණ්ඩුව තැනෙන්නේ මගේ මල්ලී පැවසූ ලෙස මහා පිපිරීමකින් දැයි ප්‍රශ්න කිරීමට සිදුවේ. මෙම ප්‍රශ්නය නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමාගෙන් ද පොලිස්පති තුමාගෙන් ද මම තරයේ අසමි. ආරක්ෂක ලේකම්ගෙන් හෝ හමුදා මාණ්ඩලික ප්‍රධානියාගෙන් නොඅසමි. ඔවුන් රාජ්‍ය ආරක්ෂාව හෝ මහජන ආරක්ෂාව ඔවුන්ගේ විෂයයක් නොවන බව පෙන්වා ඇති බැවිනි. 

ඉහත සඳහන් කරුණු අනුව අනුමාන කෙරෙන ජවිපෙ මහා පිපිරීම හා ඊනියා ආණ්ඩු පෙරළියට නොහොත් පස්වෙනි වියරුවට තව ඇත්තේ හරියටම දින 40 කි. ඔවුන් ඊට සූදානම් වෙමින් ඇතැයි අනුමාන කිරීමට පුළුවන. මේ සම්බන්ධයෙන් පුරවැසියෙකු ලෙස මට අසන්නට ප්‍රශ්න රැසක් තිබේ. ඒවායෙන් කීපයක් පහතින් අසමි. ජනාධිපති හෝ ආණ්ඩුව හෝ දෙපිරසම හෝ ඒවාට පිළිතුරු සපයන තෙක් පුරවැසියාට සහනයක් නැත.  

• ආණ්ඩුව මේ තර්ජනය ගැන දන්නේද..? 

• ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් සැලසුම් කොට තිබේද..?

• 2024 ජූලි 14 දිනට පෙර අප සියලු දෙනා ජේවීපියට බැඳිය යුතුද..? 

• පස්වෙනි වියරුවට ගොදුරු වී දේපොළ ජීවිත අහිමි කර ගත යුතුද..?

• එසේත් නැති නම් මේ රටින් පිට වී සරණාගතයන් විය යුතුද..? 

• ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය රැක ගැනීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් තිබේද..?

• ආණ්ඩුව පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට කැපවී සිටීද..?

• පොල්පොට් පන්නයේ පාලන ක්‍රමයක් බිහි වීමට ආණ්ඩුව ඉඩ දෙන්නේද..?

Advertiesment