Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


රනිල් සමාජ සුබ සාධනය කප්පාදු කළාද..?


2024-06-01 14348

 

(මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන)

 

සෑම රාජ්‍යයක්ම සමාජ ආරක්ෂණය සහ සමාජ සුබ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත. ඊට හේතු වන්නේ පුද්ගල සංවර්ධනය හා සමාජ අභිවෘද්ධිය ගොඩනැගීම සඳහා දිළිඳුකම අවම කිරීම රාජ්‍යයේ වගකීමක් බැවිනි. මෙම පසුබිම තුළ වැඩසටහන් බොහොමයක් ඉලක්ක කර ඇත්තේ දිළිඳුකම අවම කිරීමේ අරමුණින් මූල්‍යමය හා නිසි සමාජ සුබ සාධන වැඩසටහන් මගින් අවදානම් තත්ත්වයට පත්වූ ජනතාවට සහන ලබාදීමයි. 

ලෝක බැංකුව මගින් දිළිඳුකම හඳුන්වා ඇත්තේ කුස ගින්න හා බැඳී ඇති සංවේදී මානව ප්‍රවේශයක් බවයි. දරුවන්ගේ සමාජ සංවේදී සහ ආචාර ධර්ම සංවර්ධනයට බලපෑමක් ඇති කරන මිනිසාගේ සංයමය බිඳ වැටීමට කුස ගින්න හේතු වන ක්‍රියාවලියක් බව පෙන්වා දිය හැකිය. බ්‍රිතාන්‍ය සමාජ සහ ආර්ථික විද්වතෙකු වූ ජෝන් ස්ටුවට් මිල් (1806-1873) පවසා ඇත්තේ කුස ගින්නට හේතු වන දිළිඳුකම සමාජ අභිවෘද්ධියට බාධාවක් වන බැවින් එය අවම කිරීමට සමාජ මැදිහත්වීම අත්‍යවශ්‍ය කරුණක් වන බවයි. 

ගෝලීය කුස ගිනි දර්ශකය පිළිබඳ 2023 සමීක්ෂණ වාර්තාව අනුව රටවල් 125ක් අතරින් ශ්‍රී ලංකාව 60 වන ස්ථානයේ පසු වන අතර මිලියන 3.9ක ජනතාව ආහාර අනාරක්ෂිත බවට ගොදුරු වී ඇති බව දක්වා ඇත. මේ නිසා ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය ගොඩනැගීම වෙනුවෙන්, දිළිඳුබවට පත්වූ ජනතාව සුවපත් කිරීම වෙනුවෙන් සමාජ ආරක්ෂණ හා සුබ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත්වී ඇත. 

 
ආර්ථිකය හා දිළිඳුකම

 

ශ්‍රී ලංකාවේ දිළිඳුකම හා බැඳුණු වර්තමාන සමාජ සකස්වීමේ ක්‍රියාවලියට බලපෑ ප්‍රධාන සාධකය වූයේ පසුගිය වර්ෂවල ඇතිවූ ආර්ථික අර්බුදය වේ. එමගින් සමාජයේ සෑම තරාතිරමකම ජනතාවට එතෙක් තම පවුල ජීවත් වූ ජීවන රටාවට බලපෑමක් ඇති කරන ලදී. ආර්ථිකයේ බිඳ වැටීම නිසා ජීවත් වීමේ බරපතලකම ඉතා තදින් බලපෑම් කළේ අඩු ආදායම්ලාභී ජනතාවටය. එහි ප්‍රතිඵලය වූයේ 2021/2022 යන වර්ෂවලදී දිළිඳුකම 15% සිට 25% දක්වා වර්ධනය වූ බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ලෝක බැංකුව මගින් පළ කළ පර්යේෂණ වාර්තා මගින් කරුණු දක්වා තිබීමය. 

2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ 2.2%ක වර්ධනයක් ඇති විය හැකි බවට පුරෝකථනය කළද, ආදායම් අසමානතාව, ශ්‍රම වෙළඳපොළ තුළ ඇති විය හැකි ගැටලු ආදිය නිසා දිළිඳුකම තව දුරටත් 22% මට්ටමේ පැවතිය හැකි බව ලෝක බැංකුව 2024 අප්‍රේල් මස නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. එම සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කරන මෙකී ස්වභාවය නිසා සමාජ සුබ සාධනය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ වැඩසටහන් කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමට සිදු වන බව පැහැදිලි වේ. 

 
දිළිඳුකම අවම කිරීම

 

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා යොදා ගත් උපායික ක්‍රම මගින් ලැබෙන ප්‍රතිලාභ සමාජයේ අඩු ආදායම්ලාභී ජනතාවට නිසි ලෙස බෙදී යාම සඳහා වූ ප්‍රතිපත්තිමය තීන්දු රැසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ක්‍රියාවට නංවනු ලැබීය. සමාජ සුබ සාධන සහන රැසක් දිළිඳු ජනතාවගේ එදිනෙදා ජීවිතය දුෂ්කරතාවන්ගෙන් තොරව පවත්වා ගෙන යාමට පදනම සැකසීය. 

අස්වැසුම වැඩසටහනට මේ අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමි වේ. මේ සඳහා වූ ප්‍රතිලාභවලට හිමිකම් කියන පිරිස මිලියන දෙකකි. අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ ගෙවීම් යටතේ එම පිරිස ප්‍රධාන කාණ්ඩ තුනකට අයත් වේ. අවදානමට ලක්වූ පවුලකට මසකට රුපියල් පන්දහසක්, දිළිඳු පවුලකට මසකට රුපියල් 8500ක් හා අන්ත දිළිඳු පවුලකට රුපියල් පහළොස් දහසක ප්‍රතිලාභ ලබාදීම මගින් ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කර ගෙන ඇත. 

හාල් කිලෝ 20ක් මාස දෙකක කාලය සඳහා වූ ප්‍රතිලාභය ලබාදීම සඳහා මිලියන 3.9 ක් වූ අඩු ආදායම්ලාභී පවුල් වෙත විශේෂ වැඩසටහනක් කෙරෙහි වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවධානය යොමු කළේ ඔවුන්ගේ කුස ගින්න නිවීමේ මානව සංවේදී කරුණ කෙරෙහි අවධානය යොමු කරමිනි. පසුගිය වසර දෙකක කාලය තුළ බිඳ වැටී තිබූ කෘෂිකර්මය නඟා සිටුවීම සඳහා විශේෂ අවධානය යොමු කිරීමෙන් යල-මහ දෙකන්නයේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හැකි විය. කුඩා හා මධ්‍ය වී මෝල් හිමියන්ද සම්බන්ධ කර ගෙන වී මිල දී ගැනීම ඔස්සේ මෙම වැඩසටහන මෙහෙයවීම මගින් නිෂ්පාදනය හා බෙදාහැරීම සඳහා වූ ආර්ථික ක්‍රියාවලිය සාධාරණ ලෙස මෙහෙයවීමද මෙම වැඩසටහන මගින් සිදු කෙරේ.   

උරුමය වැඩසටහන මගින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්තිමය තීන්දුව මෙරට ආණ්ඩුක්‍රමය තුළ ගනු ලැබූ ධනාත්මක පියවරක් ලෙස සැලකිය හැකිය. දිළිඳු පවුල් බොහොමයක් අන්ත දිළින්දන් බවට පත්කළ ප්‍රධාන සාධකයක් වූයේ ඔවුන් ජීවත්ව සිටි නිවස සහ ඉඩමට පෞද්ගලිකව හිමිකම් කීමට තිබූ අයිතියට බාධා ඇති කර තිබීමය. 

බ්‍රිතාන්‍ය යටත් විජිත ආණ්ඩුව විසින් 1897 සම්මත කළ ඉඩම් ආඥාපනත මගින් රටේ තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක අයිතිය හිමි කර ගැනීම පෞද්ගලික අයිතිය ඈත්කිරීමට හේතු විය. මේ තත්ත්වය 1935 දී ඩී.එස්. සේනානායකගේ පුරෝගාමීත්වයෙන් සම්මත කළ ඉඩම් සංවර්ධන පනත මගින් වියළි කලාපයේ ඇති කළ ජනපද ව්‍යාපාර හා අනෙක් පිරිසට බලපත්‍ර ලබාදීමද පසු කාලීනව ඉතා සුළු වශයෙන් ජනතාවට හිමිකම් කීමට හැකි විය. 

කෙසේ වුවද සමස්ත ජනතාවගෙන් මිලියන 2ක පිරිසකට මෙම හිමිකම අහිමි වී යාමෙන් අවවරප්‍රසාද මායිමට තල්ලු කර තිබිණි. රනිල් හඳුන්වාදුන් උරුමය වූ කලී එම නොසලකා සිටි ජනතාවට සත්‍ය හිමිකම ලබාදීමට ප්‍රවේශය නිර්මාණය වූ යථාර්ථවාදී වැඩසටහනක් ලෙස දැක්විය හැකිය. මේ සඳහා රුපියල් බිලියන 2ක් වියදම් වෙතැයි ගණන් බලා ඇත.

නාගරික නිවාස අයිතිය ලබාදීම මගින් එම ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමද දිළිඳුකම සමග ගැට ගැසී තීබූ සමාජ ගැටලුවක් විසඳීමට මැදිහත් වූ අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. විවිධ සංවර්ධන වැඩසටහන් යටතේ නාගරික කලාපවල අඩු ආදායම්ලාභි ජනතාවට කුලී පදනම මත නිවාස ලබාදී එම දිළිඳු පවුල්වලින් මසකට කුලිය වශයෙන් රු. 3000ක් අය කිරීම මගින් ආර්ථික අර්බුදයෙන් පසු එම ජනතාව තවදුරටත් අසරණ තත්ත්වයට පත්වීමෙන් වැළැක්වීමට පියවර ගැනීම කැපී පෙනේ. එම දිළිඳු ජනතාවගේ මාසික කුලිය අත්හිටුවීමට තීරණය කොට එම නිවාස හා ඉඩම් අයිතිය පන්දහසක් පමණ පවුල් වෙත ලබාදීමට කටයුතු කිරීම සමාජ ආරක්ෂණය පිළබඳ දූරදර්ශීව කටයුතු කිරීමක් බව සඳහන් කළ හැකිය. 

ඇමරිකා එක්සත් ජනපදයේ 32 වන ජනාධිපතිවරයා වූ ෆ්‍රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් (1882-1945) දෙවන ලෝක යුද්ධයෙන් අසරණභාවයට පත් වූ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ජීවත්වීම තහවුරු කිරීමට වෙහෙසක් දැරීය. සමාජ ආරක්ෂණය, රක්ෂණය ඇතුළු ඇනෙකුත් සුබ සාධන වැඩසටහන් මගින් එබඳු ජනතාවගේ දිළිඳුකම පිටු දැකීමට මැදිහත්වීම රජයේ වගකීමක් ලෙස දශක ගණනාවකට පෙර ප්‍රකාශ කර තිබිණි. එයින් අදහස් වන්නේ කුමන ආකාරයක බාධා පැමිණියද දිළිඳුභාවයට පත්වන ජනතාවට ප්‍රතිලාභ ලබාදී සමාජ ආර්ථික ක්‍රියාවලියට දායක කර ගැනීම පාලන තන්ත්‍රයක වගකීමක් බවයි. 

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට මෙරට වැවිලි ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නියැලී සිටින ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම ඇතුළු නිවාස සංවර්ධන කටයුතු ආදිය මගින් එම ජනතාවගේ ජීවිතය සුරක්‍ෂා කොට ආර්ථික ක්‍රියාවලිය තවදුරටත් තහවුරු කිරීමට හේතු වනු ඇත.

බිම්සවිය, සමෘද්ධි, දිවිනැගුම, වැඩිහිටි හා ආබාධිත සහන දීමනා, පාසල් දරුවන්ට නොමිලයේ පොත් බෙදාදීම, ශිෂ්‍යත්ව ලබාදීම, දිවා ආහාර ලබාදීම, සිසු සුරක්ෂා රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම, ගැබිණි මවුවරුන්ගේ පෝෂණ වැඩසටහන, ලිය සවිය වැඩසටහන මගින් කාන්තාවන්ට ණය ලබාදීම වැනි බහු සමාජ ආරක්ෂණ හා සුබ සාධන වැඩසටහන් මගින් පැහැදිලි වන්නේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදෙමින් එමගින් ලැබෙන ලාභාංශ දිළිඳුකම පිටු දැකීම ප්‍රධාන කොට ගත් විශාල පිරිසකගේ සමාජ ජීවිතය ශක්තිමත් කිරීමට ආයෝජනය කිරීමට කටයුතු කර ඇති බවයි. 

 
ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් වෙත රැගෙන යාම

 

කෝවිඩ් වසංගතය ආරම්භ වූ කාලයේ සිටම ජනතාව බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටියහ. සමාජ සුබ සාධන වැඩසටහන් යථාවත් පරිදි ක්‍රියාත්මක කිරීමට තරම් හැකියාවක් පසුගිය වසර කිහිපය තුළ නොපැවතියේ ආර්ථික කඩා වැටීම හමුවේ එවක ආණ්ඩුව ගැඔුරු අර්බුදයකට ලක්වූ නිසාය. රටේ ආර්ථික වැඩ පිළිවෙළ විධිමත්ව සැලසුම් කිරීම කෙරෙහි වික්‍රමසිංහ ජනාධිපතිවරයා සැලසුම් කිරීම හේතු කොට ගෙන දිළිඳු ජනතාව වෙත එල්ල වී ඇති පීඩනය අවම කිරීම සඳහා පියවර ගෙන ඇත.

ජනාධිපතිවරණයක් මෙම වර්ෂයේ පැවැත්වීමට නියමිතව ඇති බැවින් මෙබඳු සමාජ සුබ සාධන ක්‍රියාවලීන් කෙරෙහි විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් එල්ල කරන විවේචන සාධාරණ හා තර්කානුකූල නොවන බව පෙන්වා දිය හැකිය. ආර්ථික අර්බුදය හේතුවෙන් විශාල ජනතාවක් දිළිඳු බවට ගොදුරු වීම, ජනාධිපතිවරණයට ආසන්න කාලවකවානුවක් වීම නිසා ආණ්ඩුවේ වගකීම විය යුත්තේ සමාජ අසහනය තවදුරටත් වර්ධනය වීමට ඉඩකඩ විවෘත නොකොට එම පිරිස ජීවත්කොට ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම සඳහා කටයුතු කිරීමය. ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීම ඇතුළු මැතිවරණය පැවැත්වීමේ අනෙකුත් දින වකවානු ප්‍රකාශයට පත්කර නොමැති පසුබිමක ජනතාව දිළිඳුකමේ ඛේදවාචකයෙන් මුදා ගැනීම සඳහා ක්‍රියා කිරීම සිදුවිය යුත්තක් බව පෙන්වාදිය හැකිය.

ශ්‍රී ලංකාව නිදහස ලබා ගත් කාලයේ සිටම අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු බොහෝ සුබසාධන වැඩසටහන් සියලු ජනතාව වෙත නොමිලයේ ලබාදීම සඳහා කටයුතු කෙරිණි. රටේ ඉදිරි සංවර්ධනය සඳහා මේවායේ සැලකියයුතු අන්දමේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු විය යුතු නොවේද..? 2024 සුබ සාධන කටයුතු සඳහා රුපියල් බිලියන 200ක් පමණ වෙන්කොට ඇති බව වාර්තා වේ. මෙතරම් විශාල මූල්‍යමය ප්‍රමාණයක් වෙන්කළද දිළිඳු බවේ ප්‍රතිලාභ ඒවා හිමි විය යුතු පවුල් වෙත ලැබේද..? 2023 ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ සහන ලැබිය යුතු විශාල පිරිසක් මඟ හැර සහන නොලැබිය යුතු දිළිඳු නොවන පිරිස් වෙතද පසුගිය කාලයේදී හිමිකම් කියූ බවයි. 

1980-90 දශකයේ බ්‍රිතාන්‍ය හා ඇමරිකා එක්සත් ජනපදය පාලනය කළ මාග්‍රට් තැචර් සහ රොනල්ඩ් රේගන් යන පාලකයින් අති විශාල සුබ සාධන මත රටක් සැලසුම් කිරීම මගින් ජනතාවගේ පෞද්ගලික වගකීම් සඳහා තියුණු බලපෑමක් එල්ල වන බව විශ්වාස කළහ. මෙම රාජ්‍ය පාලකයින් දෙදෙනාගේ ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී බලපෑම් කළ විද්වතා වූයේ විසිවන සියවසේ මැද භාගයේ ජනප්‍රිය ආර්ථික විද්වතා වූ චිකාගෝ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය මිල්ටන් ෆ්‍රීඩ්මන් ය. 

නිදහස් වෙළඳපළ ක්‍රමය මගින් රජයේ මැදිහත්වීම අවම කිරීම හා සුබ සාධන රාජ්‍යයක් වෙත ගමන් කිරීම අවම කිරීම ෆ්‍රීඩ්මන්ගේ සංකල්පය විය. තැචර් හා රේගන් කෙතරම් ෆ්‍රිඩ්මන්ගේ ආර්ථික ප්‍රතිපත්තියට ආකර්ශනය වූයේද යත් එම පාලකයන් දෙදෙනාම ෆ්‍රිඩ්මන් තම ආර්ථික උපදේශකවරයා ලෙස පත්කර ගත්හ. කෙසේවුවද සමාජ සුබ සාධනය සමග ඇතිවූ ගැටුම නිසා තැචර් හා රේගන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගැඔුරු සංවාදයට ලක්විය. අන්ත ධනේශ්වර හා අන්ත සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති මත තල්ලු නොවී අතරමැදි ආර්ථික ක්‍රමය වූ සමාජ වෙළඳපළ ආර්ථික ප්‍රතිපත්ති තුළ රැඳෙමින් අවදානමට ලක්වී ඇති දිළිඳු ජනතාව ආරක්ෂා කරමින් එම පිරිස ආර්ථික ක්‍රියාවලියේ ව්‍යවසායකයන් ලෙස ගොඩනගමින් නිෂ්පාදන ආර්ථික ක්‍රමය මත සංවර්ධනය ළඟා කර ගැනීම රනිල්ගේ අභිප්‍රාය වී ඇත. එය වූ කලී අවදානමට ලක්වී ඇති දිළිඳු ජනතාවට ආර්ථික ප්‍රජාතන්ත්‍රීකරණය ලබාදීමට පියවර ගැනීමකි. එය වූ කලී ශ්‍රී ලංකාව විශාල සුබ සාධන රාජ්‍යයක් වෙත ගෙනයාමක් නොව 2048 දී දිළිඳු බව අවසන්කොට එම ජනතාව නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීම ක්‍රියාවට නැංවීමකි. 

ඉහළ දිළිඳු මට්ටම්, ආදායම් අසමානතාව, ශ්‍රම වෙළඳපළ ගැටලු විසඳමින් ආයෝජන හා ප්‍රාග්ධන මෙරට සංවර්ධනයට ප්‍රවේශ කිරීම ධෛර්යමත් කිරීම සඳහා වූ ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙහි යොමු කිරීම මගින් මෙරට සංවර්ධිත රාජ්‍යයක් වෙත යොමු කිරීම රනිල්ගේ දෘෂ්ටිවාදය වේ.   

 


     
 

Advertiesment