Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


රංගේගේ ගොන් කතාව වහාම ඉල්ලා අස්කර ගත යුතුයි


2024-05-29 14330


එක්සත් ජාතික පක්ෂයේ තක්කඩි මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර අලුත් පොටකට එන්න හදන බව දැන් කාටත් පැහැදිලියි.රංගේ කියන්නේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අවුරුදු 2කට කල්දාන්න ඕනි කරන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ජනමත විචාරණයකට යන්න අවශ්‍ය සූදානම කරන්න කියලයි.රංගේ ඒ යෝජනාව ගේන්නේ එජාප යෝජනාවක් විදිහට සහ බලකිරීමක් විදිහට. ඉස්සෙල්ලාම කියන්න ඕනි ඒක රංගෙගේ උවමනාවක් උනාට ඒක මේ රටේ ජනතාවගේ උවමනාවක් නෙවෙයි කියලයි.

රංගේ එහෙම කතාවක් කොහේ හරි පාලම් ගැට්ටක හරි බෝක්කුවක් උඩ ඉඳගෙන හරි, කාගේ හරි කක්කුස්සියක් හොදන ගමන් කිව්වා නං අපිට කමක් නෑ.හැබැයි අද රංගේ මේ ඔලමොට්ටල කතාව කියන්නේ එක්සත් ජාතික පක්ෂ බැනර් එක ඉස්සරහා ඉඳගෙන සිරිකොත මූලස්ථානයේ ඉඳන්.සාමාන්‍යයෙන් අපි රංගේ වගේ දේශපාලන අඳබාලයන් කියන කතා එච්චර ගණන් ගන්නේ නෑ.හැබැයි රංගේ මේ ප්‍රකාශය කරන්නේ එජාප මහ ලේකම් විදිහට සහ එජාප පසුතලය ඉස්සරහා ඉඳගෙන.

ඒක නිසා රංගේගේ කතාව ගොන් කතාවක්මයි කියලා බැහැර කරන්න බෑ.රංගේට උම්බෑ කියන්න අයිතියක් තියන බව රටේ රාළ පිලිගන්නවා. එහෙම උම්බෑ කියන්න රංගේලට තැනක් නොතැනක් නැති බවත් රටේ රාළ දන්නවා.හැබැයි ඉතින් හැමතැනම උම්බෑ කියන්න ලෑස්ති උනොත් මිනිස්සු කරන්නේ හරකෙක්ට උනත් ගහලා පන්න ගන්න එකයි.සමහරවිට රංගෙට හිතෙනවා ඇති මේක උම්බෑ කීමක් නෙවෙයි මේක සැර පොලිස් පාට් එකක් කියලා.

එහෙම නං රංගෙට කියන්න තියෙන්නේ ජනමතය ඉස්සරහා පොලිස් පාට් දාන්න ආපු අයට අන්තිමට යන්න උන්නේ උම්බෑ කියාගෙන කියලයි.එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී භූමිකාවන් ගණනාවක් තියනවා.ඒක විවෘතව කියන්න රටේ රාළ බය වෙන්නේ නෑ. හැබැයි ඒවාට කාලයේ වැලිතලාවෙන් වැහිලා යන්න නොදී ආයෙත් පණ දෙන්න එජාප මහ ලේකම්වරයා යෝජනා කරන කොට ඒකට මේ රටේ ජනතාව ප්‍රතිචාර නොදක්වා හිටී කියලා රංගෙගේ මෝඩ මොලේට නොතේරුණාට අපි මොනවා කරන්නද?

මේ රටේ අතිමහත් ජනතාව රංගෙගේ ඒ මුග්ධ ප්‍රකාශය පිලිකුලෙන් යුක්තව හෙලා දකිනවා.ඒ මහජන මතයට යටත්ව රංගෙගේ පොලිස් පාට් බස්සන්න එජාප නායක රනිල් කටයුතු කරන්නේ නැත්තං රංගෙලාගේ ඔය අවලං කතා පිටිපස්සේ රනිලුත් ඉන්න බව පිලිගන්න වෙනවා.රනිල් එහෙම නොකරනවා නං එහෙම පිලිගැනීමත් සාධාරණයි.ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් අපේ රටේ ආයෙත් මහජන නැගිටීමක් වෙන එක නවත්තන්න බෑ.රටේ රාළ බළකායත් හිට ගන්නේ ඒ සටන පැත්තේ.

ඒක නිසා රංගේ කරපු ප්‍රකාශය එජාපයේ පොදු මතය නෙවෙයි නං රංගේ ජාතිය ඉදිරියට ඇවිත් තමන් කරපු ප්‍රකාශය ඉල්ලා අත්කරගෙන ජාතිය සමාව ගන්න ඕනි.එහෙමත් නැත්තං ඒක එජාපයේ පොදු මතය කියලා පිලි අරගෙන මේ රටේ ජනතාවට ඊට එරෙහිව ප්‍රතිචාර දක්වන්න වෙන බවත් එජාපයට මතක් කරලා දෙන්නත් ඕනි.එජාපය වැදගත් පක්ෂයක් නං අඩුම ගානේ එජාප මහ ලේකම් ධූරයට වැදගත් මිනිහෙක් දාගන්න රනිල් දැනගන්න ඕනි.

රටට Smart politics උගන්නන්න එන පක්ෂයේ මහ ලේකම් දේශපාලන ගං කබරයෙක් උනහම මොකද වෙන්නේ කියලා රනිල් දන්නේ නැති උනාට රංගෙලා කට ඇරිය ගමන් වෙන්නේ මොකද්ද කියලා රටම දන්නවා.ඉතිහාසයේ එජාප දුන්න වැරදි පූර්වාදර්ශයන් coutinue කරන්න කවුරුත් කැමති නෑ.වර්තමාන එක්සත් ජාතික පක්ෂිකයාවත් කැමති නෑ.රනිල් අනුප්‍රාප්තික ජනාධිපති විදිහට මේ රට බාරගත්තේ ඉතිහාසයේ එජාප දුන්න වැරදි පූර්වාදර්ශයන් ඉස්සරහට ගේන්න නෙවෙයි.

ඒ අපකීර්තිමත් ඉතිහාසය නැවත ලියන්න පිඹුරුපත් හදන මේ වගේ අමන දේශපාලන තක්කඩි නං ජනාධිපති රනිල් වටේ ඉන්නේ රනිල් දරන යම් හෝ සාධනීය උත්සාහයක් තියනවා නං ඒකත් ලත් තැනම ලොප් තමයි.රනිල් වෙනුවෙන් ප්‍රසාදයක් හැදෙන එක වචනයක් කටින් පිටවෙන්නේ නැති රංගෙලා රනිල් විනාශ කරන්න දැන් කට ඇරගෙන ඇරගෙන යනවා.ඒ කටේ දුර්ගන්ධය සැනින් රට පුරා පැතිරෙනවා.රනිල් ආවේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් වෙන්න පොරොන්දු වෙලා.

සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න පොරොන්දු වෙලා.රටේ සියලු දෙනා එකතු කරගත්ත පොදු පාලන ක්‍රමයක් කියන සංකල්පය ගොඩනගාගෙන.ඇත්තටම රනිල්ට ඉතිරිවෙලා තිබුණෙත් ඒ ඉඩ විතරයි.එහෙම නැතිව මේ රංගෙලා වගේ ආත භූත නැති දේශපාලන භූත ආත්ම කියන පජාති වැඩ කරන්න නෙවෙයි.එදා ඒ සියලු සංකල්ප ගෙනවේ රටේ පැවතුන තත්වයත් එක්ක,රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන විදිහට.රට ඉදිරියේ තියන්න පුළුවන් එකම සාධනීය පියවර විදිහට.

ඒක ඇතුලේ ආපහු ලෑස්ති වෙන්නේ ඡන්ද කල්දාලා පරණ අඩව් අල්ලන්න නං,Sorry Ranil ඒකට ඉඩ දෙන්න බෑ.පලාත් පාලන ඡන්දය කල්දැමීම ගැන උනත් ජනතාව ඉවසගෙන හිටියේ ඒ මොහොතේ රටේ තිබුණ තත්වයත් එක්ක මිසක් ඡන්ද කල්දැමීම අනුමත කරමින් නෙවෙයි. රටක් ඉදිරියට යන්න ඕනි ජනතාවගේ කැමැත්තත් එක්ක.ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ගයත් එක්ක.ඒකට මුහුණ දෙන්න තියන බය හරි, අකමැත්ත හරි හින්දා Short Cut හොයනවා නං ඒකට ඉඩ දෙන්න මේ රට සූදානම් නෑ කියන එක රංගේ ඇතුළු රංගෙගේ සියලු නායකකාරකාදීන් දැන ගන්න ඕනි.

මේ කියන රටේ රාළගේ පටන් රටේ රාළ බළකායේ සියලු සාමාජිකත්වයත් එකතු කරගෙන යකා එක්ක එකතු වෙලා හරි ඒ ජනතා ද්‍රෝහී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පරද්දන්න අපි නං පැකිලෙන්නේ නෑ.එදාට ඒ ගොඩේ තමයි රටේ රාළ බලකායත් ඉන්නේ.එක්කෝ රනිල් මේ ජාතියේ ගොන් තර්ක ගොඩනගන මොංගල් දේශපාලන තක්කඩි ටික ගැන තීරණයක් ගන්න ඕනි.නැත්තං මෙයාලත් එක්කම රනිල්ටත් වෙන්නේ දේශපාලන වේදිකාවෙන් බැහැලා යන්න.

රනිල්ගේ පැත්තෙන් හිතුවොත් රංගේ කරලා තියෙන්නේ දේශපාලන අපරාධයක්.මොකද මේ වගේ දේශපාලන තණතීරුවෝ නං එජාපයේ වගකීම් දරන්නේ රනිල් මේ දක්වා උත්සහ කරපු සාමූහික ප්‍රයත්නයට අබ සරණම තමයි.රටේ ආපු දේශපාලන කැම්පේන් එකේ සාමූහික ප්‍රයත්නයකට අදාලව රනිල් ඇඩ්රස් කරපු විදිහ ගැන වගේ වගක් නැතිව,ඒවා ගැන මෙලෝ විචාරයක් නැතිව,මේ බහුබූතයෝ එජාප වගකිව යුත්තෝ විදිහට ඔහොම ගොන් පාට් දැම්මෙන් රනිල් වටේ එකතු වෙන්න බලා හිටිය බලවේග නන්නත්තාර වෙනවා නෙවෙයිද?

මේ දේශපාලන මළ කඳන් අයින් කරන්නේ නැතිව නං රනිල්ටත් මෙතනින් එහාට ගමනක් නෑ කියලා රටේ රාළ කිව්වා ලියලා ලියලා තියාගන්න. රංගෙලගේ ගොන් පාට් තවදුරටත් අහ අහා ඉස්සරහට යන්න මේ රටේ හෘද සාක්ෂිය තියන කිසිම කෙනෙක් කැමති වෙන්නේ නෑ.මීට ඉස්සෙල්ලා තිබ්බ එජාප සමුළුවේදී තීරණය කරලා තිබුණේ එජාප මහ ලේකම්ධූරයට බහුජන හැකියාව වගේම පරිපාලන හැකියාවත් තියන සිවිල් චරිතයක් දාන්න.පක්ෂ සම්මේලනයේ ඒ ගත්ත තීන්දුවේ හැටිය ගෙනත් තියෙන්නේ බහුජන වැඩෙත් බැරි,පරිපාලන වැඩෙත් බැරි, දේශපාලන වශයෙනුත් මොකවමත් බැරි,ඉබේ සිද්ධ වෙන පරිවෘත්තීය ක්‍රියා ටික විතරක් කෙරෙන,කට ඇරියොත් රටක් ගඳ ගස්සන පැන්ෂන් ගිය පොලිස් රාළහාමී කෙනෙක්.

ඇත්තටම එජාපය ගැන නං දුකක් නොහිතුනත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ගැන නං පොඩි දුකක් හිතෙනවා.රනිල් රංගේ ගැන වහාම තීරණයක් ගන්නේ නැතිනම් රනිල් යම් පමණකට හරි ගොඩ නගාගත්ත දේශපාලන පෞරුෂය රංගේ විසින් සිරිකොතේ දේශපාලන සිරමැදිරියේ කූඩු කළා කියලා දැනට හිතා ගත්තට කමක් නෑ.

හරි එහෙනම් ගිහින් එන්නම්,

ජයවේවා..!

මීට,

රටේ රාළ.
 

Advertiesment