Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


ජනාධිපති අපේක්ෂකයෙකු උතුරෙන් ඉදිරිපත් වෙයිද..?


2024-05-23 14328

 

(මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන)

 

ශ්‍රී ලංකාව අභිමානවත් දියුණු රාජ්‍යයක් ලෙස ගොඩනැගීම සඳහා වූ ප්‍රතිපත්ති සකස් කිරීමේදී ශ්‍රී ලාංකීය ජාතිය ගොඩගැනීම සඳහා දක්වන සාමාර්ථය අතිශයින් වැදගත් වේ. පසුගිය ජනාධිපතිවරණ හමුවේ උතුරේ දේශපාලනය විවිධ ආකාරයෙන් සකස් වීමට හේතු වී ඇත. විශේෂයෙන් එහිදී දේශපාලන ප්‍රතිසංස්කරණ ආදිය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීමට පුරුදු වී ඇත. 

2024 ජනාධිපතිවරණය සඳහා දකුණේ අපේක්ෂකයින් කිහිප දෙනෙකුම මැතිවරණ ප්‍රචාරක කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති පසුබිමක දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට අදහසක් උතුරු පළාතේ ඇතැම් දේශපාලන පක්ෂ විසින් සංවාදයට ලක්කර ඇත. එහි ප්‍රධාන සාධකය බවට පත් වී ඇත්තේ දකුණේ ජනාධිපති අපේක්ෂකයෙකු සඳහා මෙතෙක් සහය දැක්වුවද දෙමළ ජනතාව හා සම්බන්ධ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගොස් නොමැති බවයි. 

මෙම පසුබිම හමුවේ මෙවර ජනාධිපතිවරණය සඳහා උතුරේ දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් වුව හොත් එය මැතිවරණ ප්‍රතිඵල සඳහා කුමන ආකාරයේ බලපෑමක් ඇති කරයිද..? එසේ නැත හොත් උතුරේ සමස්ත දේශපාලන පක්ෂවල සහය නොමැතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් බලපෑමක් ඇති කළ හැකිද..? මෙම තත්ත්වය හමුවේ මෙවර ජනාධිපතිවරණයේදී උතුරේ දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට දකුණේ ජනාධිපති අපේක්ෂකයෙකුට හැකියාවක් ඇති වේද..? එම ප්‍රවේශය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සඳහා වැදගත් සාධකයක් වීම නොවැළැක්විය හැකිය. 

 
පසුබිම 

 

ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීම සඳහා සිදු කළ ජාතික සටනේදී උතුරේ දෙමළ ජනතාවගේ නායකයා වූ ජී.ජී. පොන්නම්බලම් විසින් 50-50 වාදය පසෙක ලා ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම උදෙසා එවක 1947 පැවති ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඩී.එස්. සේනානායකගේ එජාපයට සහය දැක්වීය. 

කෙසේවුවද මෙම දේශපාලන සහය දැක්වීමට විරෝධය පළ කරමින් 1949 දී එස්.ජේ.වී. චෙල්වනායගම් ජී.ජී. පොන්නම්බලම්ගේ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයෙන් ඉවත් වී නව දේශපාලන පක්ෂයක් වූ ෆෙඩරල් පක්ෂය පිහිටුවීම සඳහා නායකත්වය ලබාදුනි. මෙම දෘෂ්ටිවාදය ජාතිය හා භාෂාව පදනම් කර ගත් දේශපාලන ධාරාවක ප්‍රවේශයක ආරම්භය විය. 

1950 දශකයේ දී භාෂා ගැටුම හේතු කොට ගෙන රට තුළ ආගමික ප්‍රචණ්ඩත්වයක් ඇති විය. මෙම දේශපාලන ප්‍රවණතාව හමුවේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක එජාපයෙන් ඉවත් වී ශ්‍රීලනිපය ආරම්භ කළේය. මෙහි ප්‍රතිඵලය වූයේ 1952 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී උතුර සහ දකුණ කේන්ද්‍ර කර ගත් සිංහල හා දෙමළ වාර්ගිකත්වය වෙන්කරන ආකාරයේ සමාජ-දේශපාලන විභවයක් රට තුළ ගොඩනැගීම සඳහා ප්‍රවේශය සකස් වීමයි. 

1956 මැතිවරණයෙන් පසුව සිංහල-දෙමළ භාෂා ද්වය රාජ්‍ය භාෂා ලෙස තීන්දු කිරීම සඳහා ගනු ලැබූ ප්‍රතිපත්ති රාමුව වෙනුවට සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව ලෙස සම්මත වූ පනත ඉදිරියට ගෙන යාම හරහා රට තුළ සමාජ කැළඹීමක් ඇති වීමට හේතු විය. බිඳ වැටුණු එක්සත් බව යළි ගොඩනැගීම සඳහා 1957 බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම මගින් භාෂා ගැටලුව පදනම් කර ගත් ගැටුම විසඳා ගැනීමට කටයුතු කළද වාර්ගික උද්ඝෝෂණ හමුවේ පනත ඉවත් කර ගැනීමට බණ්ඩාරනායකට සිදු විය. 

1960 දී සිරිමාවෝ බණ්ඩාරනායක බලයට පැමිණ දිවංගත බණ්ඩාරනායක විසින් චෙල්වනායගම් සමග ගිවිසුම්ගත යොා්ජනා ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වුවද එය අසාර්ථක විය. 1965 දී ඩඩ්ලි සේනානායක-චෙල්වනායගම් නැවත වතාවක් බලය බෙදා ගැනීම මගින් වාර්ගික ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට උත්සහ කළද වාර්ගික ගැටුම් හමුවේ එම උත්සහය අසාර්ථක වීම හේතුවෙන් එක්සත් ලංකාවක් ගොඩනැගීම සඳහා වූ උත්සහය අසාර්ථක විය. 

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමේදී දෙමළ ජනතාවගේ ප්‍රශ්න සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමේ ප්‍රවේශය අහිමි වූ බව දෙමළ දේශපාලනඥයෝ ප්‍රකාශ කළහ. මෙම දශක ගණනාවක සිට වාර්ගික එක්සත්භාවය සඳහා ප්‍රවේශයක් සකස් කර ගැනීමට අපොහොසත් වීම නිසා 1976 චෙල්වනායගම්ගේ නායකත්වයෙන් සම්මත වූ වඩුක්කෝඩෙයි යෝජනා ප්‍රශ්නය ගැඹුරු කිරීමට හේතු විය. එම යෝජනා උතුරේ දෙමළ තරුණයන්ගේ සන්නද්ධ ක්‍රියා සමග ඍජු සම්බන්ධයක් ඇති බව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බිහිසුණු ක්‍රියා අනුව පැහැදිලි වේ.

 
ඉන්දු-ලංකා ගිවිසුම 

 

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා 1987 ඉන්දු-ලංකා ගිවිසුම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් ඉදිරිපත් කළ පළාත් සභා ක්‍රමය සමාජ-ආර්ථික සංවර්ධනය උදෙසා තීන්දු ගැනීම වෙනුවෙන් සැලකියයුතු බලයක් ලබාදීමට කටයුතු කළේය. කෙසේවුවද එවක විරුද්ධ පක්ෂය සහ වමේ දේශපාලන පක්ෂ පළාත් සභා ක්‍රමය දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා ලබාදෙන විසඳුමක් ලෙස පිළි නොගත්හ. එමගින් රට කැබලිවලට බෙදන බවට ව්‍යාජ ජනමතයක් ගොඩනැගීම හමුවේ දෙමළ ජනතාවගේ එක්සත් බව ඇති කිරීම පමා කිරීමට හේතු විය. කෙසේවුවද එම දේශපාලන පක්ෂ පසුකාලයේදී පළාත් සභා පිළි ගැනීම හමුවේ රටේ එක්සත්භාවය කඩාකප්පල් කිරීම සඳහා ඔවුන්ගේ ව්‍යාජ දේශපාලනය මෙම ක්‍රියා මගින් ඉතා හොඳින් පෙන්නුම් කර තිබේ. 

1994 චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ යෝජනාවලිය සාධනීය විසඳුම් ඉදිරිපත් කර තිබුණද එවක විරුද්ධ පක්ෂය ඊට සහය නොදැක්වීය. 2001 වර්ෂයේ දී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඇති කළ සටන් විරාමය හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ඡා මගින් ගැටලු විසඳා ගැනීම සඳහා අවකාශය ගොඩනගන ලදී. කෙසේවුවද එවක විධායක ජනාධිපතිවරිය විසින් ආණ්ඩුව හදිසියේ විසුරුවා හැරීම නිසා එහි සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි විය.

2015 පැවති ජනාධිපතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කොට වාර්ගික ගැටලුව විසඳා ගැනීම සඳහා සහය දක්වන බවට ලබා දුන් පොරොන්දුවයි. එම නිසා දෙමළ ජාතික සන්ධානය එවක මෛත්‍රීපාල සිරිසේනට සහය ලබාදුනි. මේ අනුව සියලු පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවන ලදී. මෙම මණ්ඩලය 73 වතාවක් රැස්වී මූලික අයිතිවාසිකම්, අධිකරණය, මුදල්, නීතිය හා සාමය, රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ ඇතුළු මධ්‍ය-පර්යන්ත සබඳතා ආදී විෂයයන් හයක් කේන්ද්‍ර කොට ඉදිරියට ගෙන ගියේය. 

කෙසේවුවද ශ්‍රී ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී අවාසනාවන්ත තත්ත්වය වන්නේ ගිවිසුම් සාකච්ඡා ආදිය මගින් ආණ්ඩු පක්ෂය ධනාත්මකව ඉදිරිපත් කරන යෝජනා සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් වර්ගවාදී දෘෂ්ටියෙන් ප්‍රතික්ෂේප කිරීමයි. 

මෙය ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම ආණ්ඩුවේ වගකීමක් බවට පත්වී විපක්ෂය බලය ලබා ගැනීමේ මූලෝපායයක් බවට පත්කර ගන්නා ක්‍රීඩාවක් බවට පත් කර ගෙන ඇත. මෙම පසුබිම හමුවේ 2024 ජනාධිපතිවරණය සඳහා උතුරේ දේශපාලනය සමග දක්වන සම්බන්ධතාව තීරණාත්මක සාධකයක් ලෙස හඳුනා ගත හැකිය. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණ අට විමසා බැලීමේදී උතුරේ දේශපාලනය තුළ ප්‍රධාන ප්‍රවේශ හතරක් හඳුනා ගත හැකිය. එනම්,

01. උතුරේ දේශපාලන පක්ෂ එකඟතාවයකින් තොරව අපේක්ෂකයෙකු ඉදිරිපත් වීම 

02. එල්.ටී.ටී.ඊ. තර්ජනය හමුවේ ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරී නොවීම

03. එල්.ටී.ටී.ඊ. තර්ජනය හමුවේ ජනාධිපතිවරණය වර්ජනය කිරීම

04. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසුව දකුණේ ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දැක්වීම වශයෙනි. 

 

උතුරේ දේශපාලන පක්ෂ එකඟතාවයකින් තොරව අපේක්ෂකයෙකු ඉදිරිපත් වීම 

 

මෙරට ජනාධිපතිරවරණ ඉතිහාසය සලකා බැලීමේදී 1982 පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය සඳහා දෙමළ ජනතාව නියෝජනය කරමින් එවක උතුරේ ප්‍රබල දේශපාලන පක්ෂයක් වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක කුමාර් පොන්නම්බලම් විසින් සංවාදයක් ආරම්භ කර තිබිණි. 

කෙසේ වුවද ද්‍ර.එ.වි.පෙ. මෙම අදහස කෙරෙහි නැඹුරුතාවක් නොතිබූ තත්ත්වයක් තුළ කුමාර් පොන්නම්බලම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඡන්ද එක්ලක්ෂ හැත්තෑ පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ලබා ගෙන යාපනය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය. 

එම මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කය ජේ.ආර්. ජයවර්ධන විසින් ජයග්‍රහණය කිරීමට සමත්විය. කෙසේ වෙතත් කුමාර් පොන්නම්බලම් ලබාගත් මුළු ඡන්ද ප්‍රමාණය ජයග්‍රාහි අපේක්ෂකයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රතිඵලයට බලනොපෑවේ ශ්‍රීලනිප අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුව ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයකින් පරාජය කිරීමට එජාපයේ ජේ.ආර්. ජයවර්ධන සමත් වූ නිසාය.  2010 දී උතුරු පළාතෙන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ එම්. සිවාජිලිංගම්ට උතුරේ දේශපාලන පක්ෂවල සහයක් හිමි නොවීය.  

 
එල්.ටී.ටී.ඊ. තර්ජනය හමුවේ ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරී නොවීම

 

1988 පැවැත්වූ දෙවන ජනාධිපතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබුණද මෙයින් ප්‍රකාශයට පත්වූයේ 21.72%ක ප්‍රමාණයකි. වන්නි දිස්ත්‍රික්කය තුළ 142,000කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබූ නමුදු ප්‍රකාශයට පත්වූයේ 13%කි. 1994 පැවති තෙවන ජනාධිපතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද ලක්ෂ 6 කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී සිටියද එයින් ප්‍රකාශයට පත්වූ ගණන 2.97%කි. වන්නි දිස්ත්‍රික්කය තුළ 178,000ක් පමණ ලියාපදිංචි වී සිටියද ප්‍රකාශයට පත්වූ ප්‍රතිශතය වූයේ 22%කි. 1999 සිව්වැනි ජනාධිපතිවරණයේදී පවා යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද ලක්ෂ 6 ක් පමණ ලියාපදිංචි වී සිටියත් එයින් ප්‍රකාශයට පත්වූයේ 19%කි. වන්නි දිස්ත්‍රික්කය තුළ ලක්ෂ 2 ක් පමණ වූ ලියාපදිංචි ඡන්ද දායකයන් අතරින් ඡන්දය ප්‍රකාශ කළේ 31%ක ප්‍රමාණයකි. 

මෙයින් පැහැදිලි වන්නේ 1982 ජනාධිපතිවරණය හැරුණු විට 1988, 1994 සහ 1999 යන වර්ෂවල පැවති ජනාධිපතිවරණ සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පැවති යුදමය තත්ත්වයක් තුළ උතුරු පළාතේ ඡන්ද දායකයින් ඡන්ද පොළට පැමිණීමට ඒ තරම් උනන්දුවක් නොතිබූ බවයි. එමෙන්ම උතුරේ සක්‍රීය දේශපාලනයේ යෙදුණු දේශපාලන පක්ෂ දකුණේ දේශපාලන අපේක්ෂකයෙකු දිනවීම සඳහා ඍජු දායකත්වයක් ලබා නොදුන්බව ද පැහැදිලි වේ. කෙසේවුවද නැගෙනහිර පළාතේ මඩකලපුව, ත්‍රිකුණාමලය සහ දිගාමඩුල්ල යන දිස්ත්‍රික්කවල සිංහල, මුස්ලිම් සහ දෙමළ ජන ව්‍යාප්තිය සලකා බැලීමේදී ඡන්ද දායකයින් 50%කට වැඩි ප්‍රමාණයක් ඉහත ජනාධිපතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කර ඇත.

 
එල්.ටී.ටී.ඊ. තර්ජනය හමුවේ ජනාධිපතිවරණය වර්ජනය කිරීම 

 

2005 පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵලය සඳහා උතුර සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ හැසිරීම තීරණාත්මක බලපෑමක් ඇති කළේය. මෙම මැතිවරණයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් දෙමළ ජනතාවගේ නිදහස් ඡන්දය භාවිතා කිරීමට එරෙහිව වර්ජනයක් ආරම්භ කළ නිසා උතුර සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. 

මෙම මැතිවරණය සඳහා යාපනය දිස්ත්‍රික්කයේ ලක්ෂ 7 ක පමණ ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ. එසේවුවද එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ගනු ලැබූ වර්ජන ක්‍රියාමාර්ගය නිසා ඡන්ද භාවිතය 1.21%කට සීමා විය. එය වන්නි දිස්ත්‍රික්කය සඳහාද 34%ක ඡන්ද ප්‍රකාශ කිරීමක් සිදුවී තිබිණි. මෙම වර්ජන තීන්දුව නිසා එජාපයෙන් ඉදිරිපත්ව සිටි රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා එය ඍජුවම බලපෑවේය. මෙම මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ඡන්ද එක්ලක්ෂ අසූදහසකට ආසන්න ප්‍රමාණයකි. එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙම වර්ජන ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකළේ නම් ඉතා තියුණු තරඟයකින් රනිල් වික්‍රමසිංහ මෙම ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඉඩ තිබුණි. 

 
එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසුව දකුණේ ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දැක්වීම

 

2009 එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමත් සමග උතුරේ දේශපාලන පක්ෂ තම ස්වාධීනත්වය අනුව පසුව පැවැත්වූ ජනාධිපති මැතිවරණවලදී දකුණේ ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු සඳහා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්ද ලබාදීම සඳහා ප්‍රචාරක කටයුතුවල නිරත වීමෙන් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම සඳහා කටයුතු කර තිබුණි. 

විශේෂයෙන් මෙහිදී 2010, 2015 සහ 2019 යන මැතිවරණ කැපී පෙනේ. සියලු වාර්ගික ප්‍රජාව ඒකරාශි කරමින් රටේ අභිවෘද්ධිය ඇති කිරීම කෙරෙහි නායකත්වය ලබාදීමට කැපවී සිටින රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකාරීත්වය මෙහිදී කැපී පෙනේ. විශේෂයෙන් 2010 දී සරත් ෆොන්සේකා, 2015 දී මෛත්‍රීපාල සිරිසේන සහ 2019 ජනාධිපතිවරණයට එජාපයෙන් ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස යන අපේක්ෂකයින්ගේ ජනාධිපති අපේක්ෂක මැතිවරණවලදී ශ්‍රී ලාංකීය ජාතිය එක්සත් කිරීමේ රනිල් වික්‍රමසිංහගේ දෘෂ්ටිවාදය සමග විශ්වාසය තැබීම නිසා උතුරු-නැගෙනහිර දෙමළ, මුස්ලිම් ජනතාව ඔවුනට ඡන්දය ප්‍රකාශ කළහ.

 
උතුරේ ජනාධිපතිවරණ අපේක්ෂකයා..?

 

කෙසේ වුවද පසුගිය ජනාධිපතිවරණවලදී දෙමළ ජනතාවගේ ප්‍රශ්න සහ ගැටලු විසඳා ගැනීම සඳහා දකුණේ නායකයින්ට සහය පළ කර ඇති නමුදු ඊට සාධාරණයක් ඉටු වී නොමැති නිසා මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සාධාරණීකරණය කිරීම සී.වී. විග්නේෂ්වරන්ගේ දෘෂ්ටිවාදය බව පෙනේ. මේ සඳහා වෘත්තිමය දේශපාලනඥයෛකු නොවුවද දෙමළ සමාජයේ පිළි ගැනීමක් තිබෙන ආගමික හෝ සිවිල් ක්‍රියාකාරිකයෙකු වඩාත් සුදුසු බව ඔහු වැඩි දුරටත් යෝජනා කර ඇත. 

මේ වන විට සුදුසු දෙමළ අපේක්ෂකයෙකු තෝරා ගැනීම සඳහා සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්, මාධ්‍යවේදීන් වෘත්තීයවේදීන් සහ පාසල් ගුරුවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් සුදුසු අපේක්ෂකයෙකු තෝරා ගැනීම සඳහා සැලසුම් කර ඇත. 

පසුගිය ජනාධිපති මැතිවරණ සලකා බැලීමේදී 1982 කුමාර් පොන්නම්බලම් සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය හරහා ද, 2010 දී එම්. සිවාජිලිංගම් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසද ඉදිරිපත් වීමේදී ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ සහ උතුරේ ක්‍රියාකාරිකයින්ගෙන් ප්‍රබල සහයක් නොලැබුණි. කෙසේවවුවද ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය වැනි පක්ෂ ජනාධිපතිවරණය ප්‍රතික්ෂේප කිරීම මගින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සාධාරණ ප්‍රවේශයක් ශ්‍රී ලංකා ආණ්ඩුව නොගන්නා බවට ජාත්‍යන්තරයේ අවධානය දිනා ගත යුතු බවට සිදු කරන ප්‍රකාශ සඳහා දෙමළ සමාජයේ එතරම් පිළිගැනීමක් ලැබී නොමැත. 

 
හින්දු සංස්කෘතිය 

 

මෙවර ජනාධිපතිවරණයේ දෙමළ ජනතාවගේ අපේක්ෂකයෙකු වශයෙන් සංවාදයට ලක් වී ඇති තවත් විශේෂ කරුණක් වන්නේ දෙමළ භාෂාව ඉදිරියට දමනවාට වඩා හින්දු සංස්කෘතිය ඉදිරියට ගැනීමෙන් ශ්‍රී ලංකාවේ හින්දු ආගම අදහන ජනතාව ඉලක්ක කර ගෙන අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කළ යුතු බවට කනපතිපිල්ලේ සචිතානන්ද විසින් සංවාදයක් මතු කර තිබීමයි. 

මීට පෙර  දෙමළ භාෂාව මූලික කර ගෙන තම අයිතිවාසිකම් ඉදිරියට ගැනීමේදී මුස්ලිම් ජනතාව දෙමළ භාෂාව කථා කළ මුත් ඔවුන්ගෙන් ඊට සහයක් නොලැබුණු නිසා උතුර, නැගෙනහිර, බස්නාහිර, සහ මධ්‍යම පළාත්වල ජීවත්වන හින්දු ආගම අදහන ලක්ෂ විස්සකට ආසන්න ජනතාව ඉලක්ක කර ගෙන පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම මගින් යම් සාධාරණයක් ඉටු කර ගත හැකි බව පෙන්වා දී ඇත. 

මෙය ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය සමානව සමස්ත ශ්‍රී ලංකාවේ හින්දු ජනයා ඉලක්ක කර ගෙන ජනාධිපතිවරණය වෙනත් දිශාවකට ගෙනයාම සඳහා මූලෝපායිකව ගන්නා පියවරක් බව පෙනේ. විශේෂයෙන් දැනට වර්ෂ කිහිපයක සිට බෞද්ධ පුරා විද්‍යා භූමිවල හින්දු ආගම ඇදහීම සිදු කිරීම මගින් යම් ආකාරයක හින්දු ආගමට සම්බන්ධතාවක් ඇති බව පෙන්වීමට උත්සහ කෙරේ. කෙසේවුවද මෙමගින් හින්දු ජනයාට ආගමික වශයෙන් අසාධාරණයක් වී ඇති බවට මතවාදයක් ඉදිරියට ගැනීමෙන් හින්දු ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරියට ගැනීම වඩා සුදුසු බවට සංවාදයක් පවතී. 

කෙසේ වුවද උතුරු-නැගෙනහිර දෙමළ ජන සමාජයේ වැඩි බලයක් ඇති ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආර්. සම්බන්ධන් සහ එම්. සුමන්දිරන් යන අය විසින් දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කොට ඇත. 2019 දී සම්බන්ධන් පවසා ඇත්තේ මේ රටට ජනාධිපති මැතිවරණයකට වඩා නව ව්‍යවස්ථාවක් ඇති කිරීමෙන් දෙමළ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා කටයුතු කළ යුතු බවයි. 

විශේෂයෙන් දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බැවින් එමගින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීමේ වේදිකාව තවදුරටත් ඈත් කරන්නක් බව ඔහු ප්‍රකාශ කර තිබේ. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා විසඳුම් ඉදිරිපත් කරන දකුණේ අපේක්ෂකයෙකුට සහය ලබාදීමෙන් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම සඳහා ප්‍රවේශය සකස් කළ යුතු බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය විශ්වාස කරන බව මේ අනුව පැහැදිලි වේ. 

කෙසේ වුවද සම්බන්ධන් ප්‍රධාන කොට ගත් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයට සියලු දේශපාලන පක්ෂ ඒකරාශි කිරීමෙන් පොදු මතයකට ගෙන ඒමට විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට ඇත. මක්නිසාදයත් 2001 වර්ෂයේදී සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ඊ.පී.ආර්.එල්.එෆ්., ටෙලෝ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය එකතු වී දෙමළ ජාතික සන්ධානය පිහිටුවා ගනු ලැබුවද වර්තමානය වන විට එම සන්ධානයද විවිධ කොටස්වලට වෙන්වී ඇති බැවිනි. 

මෙම තොරතුරු අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ජන සංයුතිය සලකා බැලීමේදී 25%කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරන ශ්‍රී ලාංකීය දෙමළ, ඉන්දීය දෙමළ සහ මුස්ලිම් යන වාර්ගික කොටස්වල ඡන්ද හැසිරීම 2024 ජනාධිපතිවරණයේ බල කේන්ද්‍ර තුනක් ගොඩනැගී ඇති අවස්ථාවක තීරණාත්මක සාධකයක් වනු ඇති බවය. 

 


 

Advertiesment