ඇමෙරිකාවේ ස්ථාපිත විදෙස් තානාපති කාර්යාලවල රටේ සංස්කෘතිය සහ ජීවන පසුබිම විදහාපාන "පාස්පෝට් DC 2024" සදහා මෙවර 5037 ක වාර්තා ගත ජනතාවක් ආකර්ශනය කර ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්වූ බව "පාස්පෝට් DC" වැඩ සටහන නිල ලෙස ප්‍රකාශ කළේය.
යුරෝපයේ නොවන රටවල උළෙල 04 දා පැවැති අතර එම රටවල් 55ක තානාපති කාර්යාල අතර ප්රමුඛ ස්ථානයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවට ඇමෙරිකානු මාධ්‍ය වාර්තා පළ කොට තිබේ.
උත්සවයට පැමිණි අයට ශ්‍රී ලංකාවේ රස කැවිලි, උණුසුම්-සීත කළ තේ සහ පිටව යන විට රස කැවිලි සේම ශ්‍රී ලංකා තේ පාර්සල ද ලබා දුන්හ. "ග්‍රොසරි ලංකා" ඇතුළු පෞද්ගලික අංශය මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බිස්කට්, කුරුදු සහ පාන වර්ග ද ලබා දුන්හ.
තවද කොත්තු, ආප්ප සහ කෙටි ආහාර ලබා ගැනීමේ සහ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විස්තර ලබා ගැනීමේ පහසුකම් ද සපයා තිබිණ. බහු සංස්කෘතික කලා අංග, බෙර වාදන සමග සළු පාලියට අදාළ යකෙකු ද සිටි අතර යකා සමග සරම සහ ඔසරි ඇඳ ඡායාරූප ගැනීමට ද ඇමෙරිකානුවන් දැක්වූ උනන්දුව කැපී පෙණින.
ඉන්දික අත්තනායක, චතුරි කලුආරච්චි, අචිලා සහ නන්දනීගේ මෙහෙය වීමෙන් කලා අංග ඉදිරිපත් කෙරිණ. තවද කුටිල ප්රමුඛ සෙරන්ඩිබ් කණ්ඩායමේ සංගීතය සහ ඩී. අයි. සේනාරත්නගේ සැක්සපෝන් වාදන උත්සවය වර්ණවත් කළේය. ශ්‍රී ලංකාවේ පරිසරය සහ ජීවන පසුබිම එළිදැක්වූ සූර්යා පෙරේරා, ශාන්ත වීරසිංහ, හිරන්ති ද සිල්වා, ලක්ෂිත කරුණාරත්න සහ සංජය වර්ණසූරියගේ ඡායාරූප ද ජනතා ආකර්ෂණයට ලක් විය.
තානාපති මහින්ද සමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් උත්සවය සංවිධානය කළ අතර සංචාරක මණ්ඩලය ඊට අනුග්‍රහය දැක් වීය. SL එසෝෂියේෂන්, වොෂින්ටන් DC ලංකා කලා පදනම, අපේ කට්ටිය, SL රංග කලාකවය, බෙතෙස්ඩා අපි, Hospitels ser: cou:Greater Washington සංවිධානවල සහායද ලැබිණ.
"විශාල ජනතාවක් පැමිණීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ යනවා. තේ, ඇගළුම්, කුළු බඩු ඇතුළු අපේ නිෂ්පාදනවලට ඇමෙරිකාව තුළ ඇති වෙළෙද පොළ ද ශ්‍රී ලංකාවට යන ඇමෙරිකානු සංචාරකයන් සංඛ්‍යාව ද ඉහළ යනවා. මේ සදහා කැපවූ තානාපති නිලධාරීන් සහ සේවකයන් වගේම ස්වේච්ඡා සේවය ලබා දුන් සංවිධාන 6 අගයනවා" තානාපති මහින්ද සමරසිංහ මහතා පැවසීය.
Lanka Newsweek © 2024