බංකොලෙත්කම නිසා හොම්බෙන් ගිය රටක් "කම් ඕ ගෝ" කියා පිනා චාන්ස් එක භාර ගත් කපටි නරියා තම හැකියාව පෙන්වා තිබේ. ඩොලර් මිලියන 20 ක හිස් ලාච්චුව බිලියන 5 ක් කර රුපියල් 390 වේ ඩොලරය 290 ට බස්සා පෝළිම්, බඩු හිගයට තිත තියා රුපියල් 10,000 කින් පඩි ද වැඩි කළේය. ඒවා නරි මැජික් නොව තනියම කළ වික්‍රමයන් ය.
ඇමෙරිකාවෙන්-ඊශ්‍රායලයෙන් ගේම ඉල්ලන ඉරාන ජනපති ද ඔහු ගෙදරට ගෙනාවේ විදෙස් පිළිවෙත හරියට යන බවට ඇති විශ්වාසයෙනි. නොබැදි පිළිවෙත ඔහුගේ පළිහ වේ. "ඉරාන ජනපතිගෙ පකිස්ථාන් ගමනේ විස්තර හොයල දෙන්න" ජනපති ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිනිත්ට කීවේය. පැයක් තුළ එය ඉටු විය.
ඉරාන ජනපති පිළිගැනීමට අගමැති මත්තල යද්දී, ජනපති උමා ඔය ගියේය. ඉරාන නායකයා පිළි ගෙන මහවැලියට පමණක් දෙවැනි උමා ඔය විවෘත කළේය. මෙගා වොට් 120 ක විදුලිය අක්කර 15,000 ක වගාවට සහ දිස්ත්‍රික් දෙකකට පානීය ජලය ඉන් ලැබේ. ඩොලර් මිලියන 450 ක් ඉරානය දීමට හිටියත් සම්බාධක නිසා දුන්නේ 50 කි. ඉතිරි මුදල ලංකාව දරා ගත්තේය.
"සුළු ගැටලු අල්ල ගෙන මේක විනාශ කරන්න ජනතාව කුලප්පු කරල ජවිපෙ නොකළ දෙයක් නෑ. "හිල් ජවිපෙ" කියල නමකුත් වැටිලා. හැම හොද දේකම වැරදි දකින එක ජවිපෙ රටට කරන මහා වරදක්" ව්‍යාපෘති ප්‍රධානියෙක් කීය. "රට බංකොලොත් කළ අය අධිකරණයේදී ඔප්පු වුණා වගේ 71 සහ 88 දී රට වනසා ඩොලර් බිලියන 150 ක් නැති කරපු, උමා ඔය වසර 9 ක් පමා කර රටට කළ අලාභය ගැන ජවිපෙත් උසාවියෙ වරදකරු කරන්න පියවර ගන්නවා" ඇමතිවරයෙක් කීවේය. "දැන් ජවිපෙ කියනවා උමා ඔය එයාලගෙ එකක්ලු. ලැජ්ජ නැති අය" එහිදී කියවින.
රනිල් ගුවනින් කොළඔ එද්දී, ඉරාන නායක මත්තල ගියේ බිමිනි. කොඩි වනමින් ජනතාව ඔහුගේ නම කියා කෑ ගසද්දී ඔහු පාරේ ඇවිද ගියේ සතුටිනි. ඉරාන ව්‍යාපෘතිවලට කාන්තා නම් දැමීම සම්ප්‍රධායකි. ප්‍රධාන ටර්බයින් දෙක භාෂා පරිවර්ථිකා දසුනි හා අනෙක තේ සහ ආහාර දුන් චුලක්කනා නමින් නම් කෙරිණ. දසුනි ලයිසියම් ගුරුවරියකි. චුලක්කනා ආගිය අතක් නැත.
ඉරාන ජනපතිට උත්තමාචාර දුන්නේ ජනපති ලේකම් කාර්යාලයේදීය. දෙදෙනා අතර පැයක කතා බහට මැද පෙරදිග යුද, ලෝක, ආර්ථික සහ දේශගුණික පසුබිම ගැන අවධානය යොමු විය. ඉරාන ජනපති ආගම සිහි කිරීමට කොල්ලුපිටි පල්ලියට ගිය අතරේ ජනපති රනිල් දිනේෂ් වීරක්කොඩි සමග පෝර්ට්සිටි ගියේ විවෘත කිරීමකටය.
ඉරාන ජනපති බිරිඳ සහ දියණිය ද පැමිණ තිබිණ. ඔහුට අධ්‍යාත්මික නායක ගෞරවය ඉක්මනින් හිමි වන බවට ඉරාන ඇමතිවරු විශ්වාසය පළ කළහ. පාරවල් හිරවීම ගැන ආරංචි වූ රනිල් ඒ ගැන ද අවධානය දැක්වීය. ද්විපාර්ශික කතා බහෙන් පසු ගිවිසුම් 5 කට අත්සන් කළහ. "යුද්ධය නිමවී පලස්තීනය දිනේවා. ගාසා දරුවන් රැකේවා" රනිල් කීය.
රාත්‍රි හොජනයට ජනපති මැදුරට විපක්ෂ නායක සහ මුස්ලිම් මැති ඇමතීන්ට ඇරයුම් කොට තිබිණ. කතානායක සහ මහින්ද රාජපක්ෂද පැමිණ සිටියේය. "උදේ ඉදලා වැඩ කරල මහන්සි නැද්ද" පවිත්‍රා ඇසුවාය. "මහන්සියි කියල හිටිය නම් වසරක් ඇතුළත රට ගොඩ ගන්නයි ඉරාන ජනපති ගේන්නයි දෙකම බැරි වෙනවා" කපටි නරියා කීවේ කොක්හඩලමිනි. ඉදි ආප්ප සහ බුරියානි සූදානම් කොට තිබිණ. ඒවා ඉරාන ජනපතිට අල්ලලා ගියේය. සූපවේදියා ගෙන්වා ඒ ගැන විස්තර කිරීමක් ද සිදු විය.
"දැන් ඔයාල අපේ පැත්තට එනවද. අපි ඔයාලගෙ පැත්තට එන්න ඕනද" කබීර් ඇසුවේ ගමේ කෙනෙකුවූ ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්නගෙනි" "ඒක සජබෙ කටිටියම එකතු වෙලා තීන්දු කරන්න" ශානුක කීය. එය ජනපතිට ද කණ වැටිණ. "මහා ගෙදර එන එකයි වඩා හොඳ" කබීර් කීවේ එහෙමය. ඉරාන ජනපති රාත්‍රියේම පිටත් විය.
පසුදා ජනපති සිය කාර්යාලයට ගිය විට පිරිස විවිධ දේ ඇසුවෝය. "බංකොලොත් වෙලා වැටිල ඉන්න කොට කවුරුත් අපිව බැලුවෙ නෑ. ඔබතුමාට පින්සිද්ධ වෙන්න ලංකාව නැගී එන රටක් බව දැන් ලෝකයම පිළි ගන්නවා" එහිදී කියවිණ. "ඉරාන ජනපති ලංකාවෙන් බාගයක ඇවිද්දා. හැමෝම හිතුවෙ සංචාරය අවලංගු කරාවි කියලයි. මේ ගමන නිසා ලංකාව ලෝකයේම අවධානය දිනුවා" ඇමති මනූෂ කීය.
ඉරාන සබදතා ගැන ඇමෙරිකාව පකිස්ථානයට අනතුරු ඇගවීම ගැන එහිදී කියවිණ. "නොබැදි පිළිවෙත නිසා අපට ඒ ගැටලු නෑ. ලංකාව දැන් පරණ මාන්තොට වගෙයි. හැම රටකම අය මෙහේ ඉන්නවා" රනිල් කීවේ සිනා මැදය. "විපක්ෂ නායක ඉරාන ජනපතිගෙ උත්සවේට නාවෙ පොහොට්ටුවෙන් ආපු අයගෙ උපදෙස් මත ඇමෙරිකාව තරහ වේවි කියලලු" මහාචාර්ය ආශු කීවේය.
බැසිල් ගේ හමුව ගැන ද ප්‍රශ්න කෙරිණ. "ඒක බැසිල්ගෙ හමුවක් නෙවෙයි. ආණ්ඩුවෙ පක්ෂ හමුවක්. සංවර්ධනය ගමට ගෙනි යන හැටි කතා කළා" කපටි නරියා උත්තරේ බාගයක් සැග වුයේ ඇගට නොදැනිය. "අධිකරණ ඇමතිටත් උසාවිය තහනම් නියෝග දාලා. කැබිනට් ඇමති කෙහෙළිය සැකපිට හෝ ඇතුළේ. ලංකාවෙ අධිකරණය දැන් ස්වාධීනයි" ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් කීවේය.
මංගල සමරවීර මිය ගියද ඔහුගේ උපන්දින සමරා සාදයක් තිබිණ. සාගල ද එහි ගියේය. "ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලන්නෙ නෑ කියල ඔයා කිව්වට අනිවාර්යෙන් ඉල්ලනවා" සාගල එහි සිටි මරික්කාර්ට කියන විට සෙසු අය අත්පොඩි ගැසුවෝය.
ඇමෙරිකන් මහින්ද දෙරට විශ්ව විද්‍යාල පූට්ටු කරන වැඩක් ඇරඹීය. ඇමෙරිකාවේ ප්‍රමුඛතම සදර්න් ඉලිනෝයි සරසවිය සහ ලංකාවේ NSBM හා NIBM අතර අවබෝධතා ගිවිසුම් ඒවාය. මොරටුව හා විවෘත විශ්ව විද්‍යාලය මෙන්ම නාගානන්ද ජාත්‍ය: බෞද්ධ ආයතනය ද එම ජාලයට එක් කිරීමේ පසුබිම සැකසෙමින් ය. ඉලිනෝයි සරසවියේ දැනට ලාංකික සිසුන් 50 ක් අධ්‍යාපනය ලබති. පශ්චාත් පමණක් නොව මූලික උපාධි සදහාද ලංකාවට අවස්ථාව දෙන ලෙස ඇමෙරිකන් මහින්ද කළ ඉල්ලීමට නිසි ප්‍රතිචාර ලැබුණේ එම උප කුලපති ආචාර්ය කොස්ටස් සක්සෝලි වොෂින්ටන් පැමිණ තානාපති මහින්ද හා නිළධාරීන් හමුවු අවස්ථාවේදීය.
Lanka Newsweek © 2024