ආයුධ සන්නද්ධ අරගලයක් යුක්ති සහගත විය හැක්කේ සාමකාමි ඡන්ද ක්‍රමයකින් බලයට පත් වීමට ඉඩක් නැති ඒකාධිපති ආණ්ඩු ක්‍රමයක් පවතින රටක පමණය. එය ජවිපෙ සිය කැරලි දෙකේදීම සැලකිල්ලට නොගත් හා එම කැරලි දෙකේම පරාජය කෙරෙහි බලපෑ වැදගත් සාධකයකි. ජේවීපිය ලංකාවේ පහළ වූ පළමු මාක්ස්වාදි ව්‍යාපාරය නොවේ. සම්ප්‍රදායික වමේ පක්ෂ වලට මාක්ස්වාදය ගැන ජෙවීපියට තිබෙන අවබෝධයට වැඩි අවබෝධයක් තිබුණි. එහෙත් සම්ප්‍රදායික වම සාමකාමි පාර්ලිමේන්තු මාවතේ ගමන් ගත්තා මිස කිසි විටෙකත් ප්‍රචණ්ඩ අරගල මගින් බලය ලබා ගැනීමට උත්සහා දරා නැත. සාම්ප්‍රදායික වමේ පක්ෂ ක්‍රියාත්මක කල 1952 අගෝස්තු හර්තාලය ගැන ජේවීපිය විවිධ අර්ථ කථනයන් කර ඇතත් එම හර්තාලය ආණ්ඩුවේ අයවැය යෝජනාවලට එරෙහිව දියත් කල එක් දින විරෝධය පළකිරීමේ ව්‍යාපාරයක් වූවා මිස බලය අල්ලා ගැනීමේ අරමුණින් කරන ලද දෙයක් නොවීය.
ජේවීපිය මේ ප්‍රචණ්ඩ කැරලි දෙකේදීම බලය අල්ලාගැනීම සඳහා යොදාගත් සටන් ක්‍රම දෙක ප්‍රායෝගික සටන් ක්‍රම ලෙස සැළකිය නොහැකිය. එයද ඔවුන්ගේ එම කැරලි දෙකට ආවේණික කැපී පෙනෙන දුර්වලතාවයක් විය. රටේ තිබෙන සියළුම පොලීසි වලට හා හමුදා කඳවුරුවලට එකවිට පහරදී බලය අල්ලා ගැනීම 71 කැරැල්ලේදී බලය අල්ලා ගැනීම සඳහා යොදා ගැනුනු සටන් ක්‍රමය විය. එය කිසිසේත්ම සාර්ථක ලෙස ක්‍රියාත්මක කල නොහැකි මනෝරාජික සටන් ක්‍රමයක් විය. ආණ්ඩුවේ ආරක්ෂක හමුදා සමඟ සටන් කොට ඔවුන් පරාජය කොට බලය අල්ලා ගන්නවා වෙනුවට රජයේ පරිපාලන පදනමද, රජයට පක්ෂ හා ජේවීපියට විරුද්ධ මතවාදි පදනමද විනාශ කිරීමට හේතුවන ලෙස ඒවාට සම්බන්ධ ලොකු පිරිසක් ඝාතනය කිරීම මගින් රාජ්‍ය තන්ත්‍රය හා දේශපාලන ක්‍රමය අක්‍රීය කොට බලය අල්ලා ගැනීම ජේවීපිය සිය දෙවැනි කැරැල්ල සඳහා යොදාගත් සටන් ක්‍රමය විය. එය ඉතාමත් අශීලාචාර සටන් ක්‍රමයක් වන අතර එම සටන් ක්‍රමය යොදා ගෙන ලෝකයේ කොතැනක හෝ බලය අල්ලා ගත් නිදර්ශනයක් තිබේ ද යන්න සැක සහිතය.
පක්ෂයක් බලය ලබාගැනීම සඳහා අනුගමනය කරන ප්‍රතිපත්ති එම පක්ෂයේ පරිනත භාවයේ හා දේශපාලන ශීලාචාරත්වයේ තරම පෙන්නුම් කරන වැදගත් මාපකයක් ලෙස ක්‍රියා කරයි. ජේවීපිය කැරලි දෙකේදීම කැරලිකාර මාවතක් තෝරා ගත්තේ සාමකාමි ලෙස බලය අල්ලා ගැනීමට දොරටු විවෘත වී තිබුණ අවස්ථාවකදී ය. ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක් පවත්නා මොනම රාජ්‍යක් වත් දේශපාලන ව්‍යාපාරයකට ආයුධ සන්නද්ධ අරගලයකින් බලය අල්ලා ගැනීමේ වැඩසටහනක් වෙනුවෙන් නිදහසේ ක්‍රියා කරන්නට ඉඩ දෙන්නේ නැත. 71 කැරැල්ල ආසන්නයේ ජේවීපියට ද එවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු විය. එම පක්ෂය කැරැල්ල ආරම්භ කිරීම සදහා බෝම්බ නිපදවමින් හා ආයුධ සන්නද්ධ වෙමින් සිටින බව පැහැදිලිව පෙනෙන්ට තිබුණ අතර ආයුධ ඇතිව හෝ නැතිව කැරැල්ල ආසන්නයේදී ජවිපෙට සම්බන්ධ දහසකට ආසන්න තරුණ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එය ජාතික ආරක්ෂාව සඳහා පොලිසිය කළ යුතුව තිබුණ රාජකාරියක් වුවද ජේවීපි නායකයින් ඒ කාලයේදී පමණක් නොව කැරැල්ල පරාජය වීමෙන් පසුව පවා එම තත්වය විග්‍රහ කළේ ජේවීපියට එරෙහිව ක්‍රියාත්මකවූ රාජ්‍යය මර්ධනයක් ලෙසය. 83 කළු ජූලිය හේතුවක් කරගනිමින් ජනාධිපති ජයවර්ධන ජේවීපී පක්ෂය තහනම් කිරීමෙන් පසු එම පක්ෂය ප්‍රචන්ඩ කැරැල්ලක් ඉලක්ක කරගත් රහසිගත දේශපාලනයකට යොමුවීමට එම පක්ෂ තහනම අවස්ථාවක් කර ගත්තේය. ජේවීපීයට 83 කළු ජූලිය සමඟ කිසිම සම්බන්ධයක් තිබුනේ නැත. ජේවීපියට එරෙහිව පනවන ලද පක්ෂ තහනම අසාධාරණ පක්ෂ තහනමක් ලෙස සැළකිය හැකිය. එහෙත් එම සිද්ධිය ප්‍රචණ්ඩ මාවතට මාරුවීමට හේතුවක් කර ගැනීමේ අයිතියක් ජේවීපියට නොතිබුණි. ඒ අවස්ථාවේදී තහනම් කල එකම පක්ෂයද ජේවීපිය පමණක් නොවීය. කොමියුනිස්ට් පක්ෂය හා විප්ලවකාරි සමසමාජ පක්ෂය ද තහනම් කර තිබුනි. එම පක්ෂ දෙකම ඒවාට පනවා තිබුන තහනම ඉවත් කරගෙන තිබුණි. ප්‍රින්ස් ගුණසේකර ඔහුගේ Lost Generation පොතේ සඳහන් කර තිබෙන ආකාරයට පක්ෂ තහනමෙන් පසු විජේවීර සැගවී සිටියදී ඔහුගේ ආරාධනයෙන් ප්‍රින්ස් ඔහු සැඟවී සිටි ස්ථානයට ගියේය. බාර වී තහනම ඉවත් කරගන්නා ලෙස ඔහු විජේවීරගෙන් ඉල්ලා සිටියේය. එම හමුවේ දිනය සඳහන් කර නැතත් එය 1984 පුර පසලොස්වක දිනයක සිදුවූ බව සඳහන් වේ. පක්ෂය තහනම් කිරීම නිසා සැඟවී සිටි නව සමසමාජ පක්ෂයේ වාසුදේව නානායක්කාර පොලිස්පති වෙත බාර දී තිබෙන්නේද ප්‍රින්ස් ගුණසේකර ය. පොලිස්පති වාසුදේවගෙන් කට උත්තරක් ලබාගෙන එදිනම ඔහු නිදහස් කලේය. කැරැල්ල පරාජය කිරීමෙන් පසු රොනී ද මෙල් මට හමුවූ අවස්ථාවකදී පක්ෂ තහනමෙන් පසු විජේවීර වෙත දැනුම් දෙන ලද උපදෙස් අනුව ඔහු ක්‍රියා කලේ නම් විජේවීරගේ ජීවිතය පමණක් නොව මියගිය ඔහුගේ අනුගාමිකයින්ගේ ජීවිතද බේරාගැනීමට හැකිවන්නට ඉඩ තිබුණ බව ඔහු කීවේය.
විජේවීර පළමු කැරැල්ලෙන් පාඩම් ඉගෙන නොගෙන දෙවැනි කැරල්ලකටද ගිය නායකයෙකි. සිර දඬුවම් ලබා සිටි වෙනත් දේශපාලන සිරකරුවන් මෙන් නොව ඔහු සමාව ලැබුවේ ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමක් විඳිමින් සිටියදීය. ඔහුටු ලැබුණු සමාවට ලැබෙන විශේෂ වැදගත්කම ද ඔහු තේරුම් නොගත්තේය. නිදහස ලබා ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනයට එකතුවූ පසුව ආණ්ඩුවේ සහාය ඇතිව හෝ නැතිව දේශපාලන තලයේ ශ්‍රීලනිප හිමිකරගෙන තිබුණ දෙවැනි තැන තම පක්ෂයට හිමිකරගැනීම ඔහුගේ වැදගත් දේශපාලන ඉලක්කයක් වී තිබුණි. ජේ. ආර්. ශ්‍රීලනිපය විනාශ කිරීම සඳහා ක්‍රියාවට නගන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩසටහනට විජේවීර ද උපරිම දායක්ත්වයක් ලබාදුන්නේය. සිරිමා බණ්ඩාරණායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සදහා පත්කළ ජනාධිපති කොමිසම ඉදිරියේ සිරිමා බණඩාරණායකට එරෙහිව සිය පක්ෂයේ එවකට සිටි කැපී පෙනෙන නායකයින් තිදෙනෙක් (කෙලී සේනානායක, සිරිපාල නෙත්ති කුමාර හා නන්දන මාරසිංහ) ලවා සාක්ෂි දෙන්නට සැලැස්සුවේ විජේවීරය. එය දෙපක්ෂයේ නායකයින් එකිනෙකා සමඟ ඇති කරගත් එකඟතාවයකින් යුතුව කරන ලද අවලස්සන දේශපාලන ක්‍රියාවක් විය. විජේවීර පැවත්වෙන හැම මැතිවරණයකටම පාහේ අපේක්ෂකයින් ඉදිරිපත් කළේය. සාම්ප්‍රදායික වමේ වියාපාරය හිමිකර ගෙන තිබුණ ස්ථානය පසුකර ලීමට ජවිපෙ සමත් වුවත් ශ්‍රීලනිප හිමිකරගෙන තිබූ ස්ථානය පසුකරලීමට තබා ඊට ලංවීමටවත් එම පක්ෂ සමත් වූයේ නැත. තීරණාත්මක උරගා බැලීම සිදුවුයේ 1982 ජනාධිපතිවරණයේ දීය. ඊට විජේවීර ද තරඟ කළේය. ජේ.ආර් ඡන්ද 3,450,811 (52.91%) ක්ද, ශ්‍රීලනිපයෙන් තරඟ කල කොබ්බෑකඩුව ඡන්ද 2,548,438 (39.07%) ක්ද ලබා ගන්නා විට ලොකු පෙනුමක් ඇතිව සිටි විජේවීරට ලබාගත හැකිවූයේ ඡන්ද 273,439(4.19%) ක් පමණය. එම ප්‍රතිඵලයෙන් විජේවීර කොතරම් මානසික කඩා වැටීමකට ලක් වීද කියතොත් තමන්ට ඡන්දය දුන් අයට ස්තූති කරන්නටවත් විජේවීර ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කළ මධ්‍යස්ථානයට නොපැමිණියේ ය. ඒ ස්ථානයට පැමිණ කථාවක් පවත්වා ඡන්දය දුන් අයට ස්තුති නොකළේ ඇයි දැයි ඉන් දින කිහිපයකට පසුව ප්‍රින්ස් ගුණසේකර විජේවීර ගෙන් විමසූ විට විජේවීර කියන ලද ලොකු බොරුවක් ගැන ප්‍රින්ස් සිය පොතේ ලියා ඇත්තේ මහත් හාස්‍යයකින් යුතුවය. ලයනල් බෝපගේ ලියා තිබෙන්නේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඇඳේ සිටි විජේවීර බිමට බස්සවා ගැනීමට දින තුනක්ම ගිය බවය. පාර්ලිමේන්තු ක්‍රමය තමන් වැනි පීඩිත ව්‍යාපාරයකට බලයට පත්වීම සඳහා යොදාගත හැකි පහසු මාර්ගයක් නොවන බව විජේවීර ප්‍රත්‍යක්ෂ ලෙස තේරුම් ගත්තේ එම ප්‍රතිඵලයෙනි. විජේවීර 83 කළු ජූලියේදී පක්ෂට පනවන ලද තහනම නැවත හුරු පුරුදු ප්‍රචණ්ඩ මාවතට මාරුවීමට අවස්ථාවක් කරගත්තේය. ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ඔහු කරළියට ගෙනා ඉන්දියානු විරෝධි ප්‍රචණ්ඩ කැරැල්ල මගින් බලය අල්ලා ගැනීමේ අරමුණ පහසුවෙන් සපුරා ගැනීමට හැකිවනු ඇතැයි විජේවීරගේ විශ්වාසය වන්නට ඇතත් ඒ අස්පයා පිට නැඟී විජේවීරට බොහෝ දුර යන්නට ඉඩ ලැබුනේ නැත. ඉන්පසු එම කැරැල්ල ජේආර් විරෝධී, යුඑන්පී විරෝධි හා දකුණේ අනෙකුත් සියළු දේශපාලන පක්ෂ විරෝධි කැරැල්ලක් බවට හරවා ගැනීම මගින් එක විට එක සතුරෙකුට එරෙහිව වෙනුවට සියළු සතුරන් එක පොදියකට ගෙන ඒ සියළු දෙනාට එරෙහිව කරන සටනක් බවට පත් කරගත්තේය. ඒ මෝඩ පිළිවෙත කැරැල්ලේ පරාජය ඉක්මන් කලේය.
දෙවැනි කැරැල්ලේ පරාජයෙන් හා ඒ නිසා ඇතිව තිබූ මහා විනාශයෙන් පසු අවුරුදු හතරක් තරම් කෙටි කාලයක් තුළ (1990-94) ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එකතු වීමට හැකිවීම හා එතැන් සිට අද දක්වා අවුරුදු 30 ක් තරම් දීර්ග කාලයක් එම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ රැඳී සිටීමට සමත් වීම හා 2022 න් පසු ලොකු මහජන පිළිගැනීමක් ඇති කරගැනීමට හැකිවීම ජේවීපිය ලබාගෙන තිබෙන වැදගත් ජයග්‍රහනයන් ලෙස සැළකිය හැකිය. ඒ සමඟ එම පක්ෂ එම පරිණාමිය ගමනේදී පෙන්නුම් කර තිබෙන බරපතල සීමාසහිතකම් ගණනාවක් ද පවතී. විශාල විනාශයකින් කෙළවර වූ දෙවැනි කැරැල්ල ගැන විවේචනාත්මක විශ්ලේෂනයක් සමඟ ස්වයං විවේචනයක යෙදීමට අසමත් වීම පෙන්නුම් කර තිබෙන දෝෂ අතර තිබෙන ලොකුම දෝෂය ලෙස සැළකිය හැකිය. එය ජවිපෙ නුතනවාදි පක්ෂයක් බවට පරිවර්තනය වීම වලකා තවදුරටත් පසුගාමි තත්වයක තැබීමට බලපා තිබෙන ලොකුම හේතුව ලෙසද සැළකිය හැකිය. කැරැල්ලෙන් ලද පරාජය විසින් එම පක්ෂට ඇතිකර තිබූ හානිය අති විශාල ය. සෝමවංශ අමරසිංහ හැර විජේවීර ඇතුළු දේශපාලන මණ්ඩලයට අයත් සියළු නායකයින් සමග ජවිපෙ ක්‍රියාධරයන් හා ආධාරකරුවන් දස දහස් ගණනකගේ ජීවිත අහිමි වී තිබුණි. කැරැල්ල පිලිබඳව විශ්ලේෂනයකට ගියේ නම් තීන්දු ගැනීමේ ක්‍රියාවලියේදී පක්ෂ නායකයින් රඟපා තිබෙන අවිචාරවත් හා වගකීමෙන් තොර භූමිකාව තේරුම් ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණා සේම ඒ මගින් එම පක්ෂයට තම පක්ෂ නායකයන් කෙරෙහි පවත්වාගෙන යන අන්ධ භක්තියෙන් අත් මිදී දේවල් සිදු වී තිබෙන යථා ස්වරූපය තේරුම් ගැනීමට ද හැකිවන්නට ඉඩ තිබුණි. කැරැල්ලකට යාම වැනි බරපතල තීන්දුවක් ගැනීමට පෙර එම කැරැල්ල ඇතිකල හැකි ප්‍රති විපාක ගැන කරුණු සොයා බැලීමේ වගකීමක් පක්ෂ නායකයින්ට තිබුණි. එහෙත් ඔවුන් කැරැල්ලක් ඇති කරන්නට තීරණය කර තිබෙන්නේ එවැනි කිසිදු කරුණු සොයා බැලීමකට යාමෙන් තොරවය. පක්ෂය හදුන්වා දෙන ලද මිලේච්ජ සටන් ක්‍රමය පක්ෂයේ අහිංසක අනුගාමිකයින් පවා හිතුවක්කාරි ලෙස මිනිසුන් ඝාතනය කරන මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කරන බිහිසුණු අපරාධ කල්ලියක් බවට පත් කිරීමට හේතු විය. ජවිපෙ විසින් දෙවැනි කැරැල්ලේදී ඝාතනය කරන ලද සංඛ්‍යාව 6,661 කි. ඒ අය වර්ග කළ විට පොලිසිය හා ආරක්ෂක හමුදා වල සාමාජිකයින් හෝ ඔවුන් ගේ පවුල් ගණයට 688 ක් හෙවත් සියයට 10.33 ක් අයත් වේ. ජවිපෙ විසින් මරා දමා තිබෙන අනෙක් 5,973 (89.67%) නාම අයත් වන්නෙ සිවිල් ගණයටය. දෙවැනි කැරැල්ලේදී ජේවීපිය සටන් කර තිබෙන්නේ පොලීසිය හා ආරක්ෂක හමුදා සමග නොව සිවිල් ජනයා සමග බව එම සංඛ්‍යා ආශ්‍රයෙන් හොඳින් තේරුම් ගත හැකියි. මරා දැමූවන් එසේ මරාදැමීමට බලපෑ හේතු ගැන සොයා බලන තැනකට ගියහොත් අති විශාල බහුතරය නොවැදගත් පුංචි වැරදි සඳහා එනම් ලබා දෙන ලද අණ නොපිලි පැදීම වැනි (දරන ලද රැකියා, තනතුරු හෝ පක්ෂවලින් වලින් ඉල්ලා අස් නොවීම, තහනම් කර තිබූ පුවත් පත් ලඟ තබාගැනීම - විකිණීම හෝ කියවීම, ගුවන් විදුලිය හෝ රූපවාහිනිය බැලීම හෝ සවන් දීම තහනම් කර තිබියදී එසේ කිරීම, පහන් දැල්වීම තහනම් කර තිබියදී එසේ කිරීම, ජන්දය පාවිච්චි කිරීම තහනම් කර තිබියදී එසේ කිරීම, ඡන්ද රාජකාරිවල නිරත් වීම තහනම් කර තිබියදී එසේ කිරීම වැනි හේතු මත) වැරදි සදහා මරා තිබෙන බව තේරුම් ගත හැකිය. පක්ෂ විසින් සිදුකර තිබෙන මනුෂ්‍ය ඝාතන සිදු කර තිබෙන අකාරය ගැන සොයා බලන තැනකට ගිය හොත් ඉතා ම්ලේච්ජ ආකාරයකට සිදු කර තිබෙන ඝාතන (මරාදැමීමට පෙර අංග ඡේදනය, සමහර මිනිසුන්ගේ බෙල්ල වෙන් වෙන්නට කපා එම බෙල්ල පිඟානක තබා මරන කරුගේ නිවසට යැවීම, එසේ වෙන්කරන ලද බෙල්ල උල් කෝටුවක ගසා ප්‍රදර්ශනය කිරීම) සියයට 10 ක් තරම් මට්ටමක පැවති බව පෙනේ. එම පක්ෂය විසින් මරාදමන ලද කිසියම් විශල පිරිසකගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන්නට සිදුවූයේ මරණ කරුවා කෙරෙහි අවඥාවක් ඇති කිරීමට හේතුවන කොන්දේසිවලට යටත්වය. මේ දෙපක්ෂය විසින් මරාදමන ලද සංඛ්‍යාවන් ගැන සොයා බලන තැනකට ගියහොත් ආරක්ෂක හමුදා හා අතුරු හමුදා අතින් ඝාතනයට ලක්වූ අයගේ සංඛ්‍යාව ජේවීපිය විසින් ඝාතනය කරන ලද අයගේ ගණන මෙන් හතර පස් ගුණයක් තරම් විශාල විය හැකිය. එහෙත් එම වරදේ වැඩි බරක් යා යුත්තේද ආරක්ෂක හමුදාවන්ට නොව ජේවීපියට ය. හේතුව එම කැරැල්ලේ දී ජේවීපිය මිනිසුන් මරන ම්ලේච්ජ සටන් පිළිවෙතක් තෝරා ගන්නවා වෙනුවට ආරක්ෂක හමුදා සමග යුද්ධ කරන තැනකට ගියේ නම් සාමාන්‍යය මිනිසුන්ට වන හානිය අවම වන්නට ඉඩ තිබුණ නිසාය. ජේවීපිය හමුදාව සමඟ යුද්ධ කරන තැනකට නොගියේ එය ජය ගත හැකි මගක් නොවන බව ඔවුන් තේරුම් ගෙන තිබුණ නිසා විය යුතුය. නිරායුධ මිනිසුන් ලොකු ගණනක් මැරීමෙන් සිය අර්මුණ වඩා පහසුවෙන් ඉටු කර ගැත හැකිවේයයි ඔවුන් ගේ අපේක්ෂාව වී තිබුණද එයද ඉටු වූයේ නැත. සිදුවූ විශාල ජීවිත විනාශයට අතිරේකව අති විශාල දේපළ විනාශයක් ද සිදුවිය. එය අහම්බයෙන් සිදුවුවක් නොව ජේවීපී කැරලුකරුවන් හිතාමතා සිදු කරන ලද්දකි. ඒ සියල්ලට අතිරේකව කැරැල්ල රාජ්‍යයට හා දේශපාලන ක්‍රමයටද බරපතල හානි ඇති කළේය. ජේවීපිය කැරැල්ල ගැන සාධාරණ විශ්ලේෂනයකට ගියේ නම් මේ රටේ ඇතිවී තිබෙන මහා විනාශයට මේ රට පාලනය කල සම්ප්‍රදායික දේශපාලන පක්ෂ පමණක් නොව බලය අල්ලාගැනීම සඳහා කැරලි ගැසූ තම පක්ෂයද විශාල ප්‍රමාණයකට වග කිවයුතු බව තේරුම්ගැනීමට හැකි වන්නට ඉඩ තිබුණි.
Lanka Newsweek © 2024