ඉතිහාසය සොයා යමින් යටත් විජිත යුගයට දෙස ආපසු හැරී බලන විට, ලෝක යුද්ධ සහ අභ්‍යන්තර ගැටුම්වල අහිතකර බලපෑම් මධ්‍යයේ වුවද, ආණ්ඩුවේ සහ විපක්ෂයේ ක්‍රියාකාරිත්වය බාධාවකින් තොරව සහතික කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම ශ්‍රී ලංකාව ස්ථීර ලෙස තහවුරු කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා ශිෂ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් කියාසිටියේ මෙම ක්‍රමය පවත්වාගෙන යෑමේ විධික්‍රම සොයාබැලීම වටී යැයි ඔවුන්ට හැඟෙනු ඇති බවයි. ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන්, ශ්‍රී ලංකාවේ අසල්වැසි රටවල් ඔවුන්ගේ විරුද්ධ පක්ෂ වටළමින්, ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කර, ඔවුන්ගේ නායකයන් සිරගත කර, මැතිවරණයට ඉදිරිපත් නොවන තරමට විපක්ෂය බියගන්වා ඇති බව පෙන්වාදීමට තරම් ජනාධිපතිවරයා මෙහිදී රාජ්‍යතාන්ත්‍රික විය.
අනෙක් අතට, ශ්‍රී ලංකාවේ, මහජන මත විමසුම් විශ්වාස කරන්නේ නම්, විපක්ෂයේ පක්ෂවල ජනප්‍රියත්වය ඉහළ යමින් පවතින අතර, රජයේ ජනප්‍රියත්වය තනි ඉලක්කමක් දක්වා පහළ ගොස් ඇත. ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයේ වඩාත්ම දෘශ්‍යමාන සහ සැබෑ සංකේතය වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා එහි දේශපාලනයේ කැපවීමයි. ව්‍යවස්ථානුකූලව අවම වශයෙන් මේ වසරේ ඔක්තෝම්බර් මාසය වන විට පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණය සමග ශ්‍රී ලංකාවේ මැතිවරණ නිසි පරිදි පවත්වනු ඇතැයි දැඩි අපේක්ෂාවක් පවතී. මෑත දශක කිහිපය තුළ, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අත්දැකීම් පරීක්ෂාවට ලක් වූ නමුත් සාමාන්‍යයෙන් මේ වන විට එය වැඩිදියුණු වන ප්‍රවණතාවක් ඇත. 1999 දී වයඹ පළාතේ පැවැති ප්‍රචණ්ඩකාරී මැතිවරණය සහ 2005 දී එල්ටීටීඊය ඔවුන්ගේ තුවක්කුවේ පිටුබලය ඇතිව ජනාධිපතිවරණය වර්ජනය කිරීමට ජනතාවට බලකරමින් රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වැළකීම හැරුණු විට, එතැන් සිට පසුගිය දශක දෙක පුරා ශ්‍රී ලංකාවේ පැවැති මැතිවරණ බොහෝ දුරට ප්‍රචණ්ඩත්වයෙන් තොරය.
කෙසේවෙතත්, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයේ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර දෙකක් තිබේ. පළමු ක්ෂේත්‍රය වන්නේ බලයේ සිටින ආණ්ඩු විසින් රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීමේ අවශ්‍යතාවයි. ආණ්ඩු විසින් රාජ්‍ය යාන්ත්‍රණය සහ රාජ්‍ය සම්පත් අවභාවිත කර පක්ෂග්‍රාහී දේශපාලන ප්‍රචාරක කටයුතුවල නියැලීම සහ ඡන්දදායකයන් තම පාර්ශ්වයට දිනාගැනීම සඳහා භෞතික සම්පත් ලබාදීම පුරුද්ද වී ඇත. මැතිවරණ නිරීක්ෂකයන් මැතිවරණ ක්‍රියාවලියේ මෙම වැරදි වරින් වර පෙන්වා දී ඇතත්, ඊළඟ වතාවේ ඒවා වළක්වා ගැනීමට නොහැකි වී ඇත්තේ ආණ්ඩු බලය දරන්නන් භුක්ති විඳින ඉහළ දණ්ඩමුක්තිය නිසාය.
දියුණු විය යුතු දෙවැනි අංශය වන්නේ, විවිධ උපක්‍රම මගින් මැතිවරණ අක්‍රමවත් ලෙස මගහැරීමයි. නිදසුනක් වශයෙන්, 1972 දී, බලයේ සිටි ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒම මගින් තවත් වසර දෙකක බලයක් ලබාගත් අතර, ඔවුන් මැතිවරණ ජයග්‍රහණය කර වසර දෙකක් ගත වී තිබියදීත්, වසර පහක පූර්ණ ධුර කාලයක් ලබාගනු ලැබීය. 1981 දී, ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම වෙනුවට, වසර හයකින් මැතිවරණ කල්දැමීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීය. ඉතා මෑතක දී 2018 දී, පළාත් සභාවලට අදාළ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ රජය එතැනින් නතර වූයේ, පළාත් සභා අරාජික තත්ත්වයකට පත්කරමිනි.
ඉතා මෑතක දී එනම් 2023 දී, වත්මන් ආණ්ඩුව ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩාගාරයේ මුදල් නොමැති බව පවසමින් පළාත් පාලන මැතිවරණය කල්දැමීමට තීරණය කළේය. මේ වසරේ ඔක්තෝම්බර් මාසය වන විට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ද එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් එවැනි ඉරණමක් අත්විය හැකි බවට ඉහත තත්වයන් විසින් කනස්සල්ල මතුකර තිබේ. ඇත්ත වශයෙන්ම, ජනාධිපති වික්‍රමසිංහ, ආණ්ඩුවේ විවිධ ඇමතිවරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂවලට හා සිවිල් සමාජයට මැතිවරණ නියමිත වෙලාවට බවට සහතික ලබාදීම සඳහා ඉදිරිපත්වී ඇත. එහෙත් මහජන මත විමසුම්වලදී ආණ්ඩුව දුර්වල බව පෙන්නුම් කිරීම හේතුවෙන්, මැතිවරණ කඩාකප්පල් කිරීමට මගක් සෙවීමට එය පොළඹවනු ඇතැයි යන කනස්සල්ල පවතී.
මෙම සන්දර්භය තුළ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල අවසන් වන තුරු මැතිවරණයක් නොපවත්වන බවට ජනාධිපතිවරයා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමපේක්ෂනය වර්ධනය වීමට හේතු වී තිබේ. මෙම සන්දර්භය තුළ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල අවසන් වන තුරු මැතිවරණයක් නොපවත්වන බවට ජනාධිපතිවරයා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පවතින සැකයන් වර්ධනය වීමට හේතු වී තිබේ. අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමඟ ගෙනයන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අවසන් කරන තුරු මැතිවරණයක් පැවැත්වීමට ඉඩක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට සහ මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි පුවත්පත් කිහිපයක සමාන ආකාරයෙන් වාර්තා කර තිබිණි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ එක්ව සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙනයෑමට තීරණාත්මක වූ බවත්, එබැවින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට ප්‍රමුඛත්වය දිය යුතු බවත් ජනාධිපතිවරයා පවසයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල ජූලි මස අවසන් වනතුරු ක්‍රියාත්මක බැවින් එතෙක් කිසිදු මැතිවරණයක් නොපවත්වන බවද ජනාධිපතිවරයා පවසා තිබේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ක්‍රියාවලියෙන් පසු ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට කාලය පැමිණෙන බැවින් ජනාධිපතිවරණය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට බාධාවක් නොවන බව ඔහු පවසා තිබේ. ප්‍රථමයෙන් ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට මෙන්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට ද දැනුම් දී ඇති බව එම පුවත් වාර්තා සඳහන් කර ඇත. මෙයින් ඇඟවෙන්නේ ආණ්ඩුව තුළ සිටින කොටසක් විසින් බලපෑම් කරන පරිදි ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් නොපැවැත්වෙන බවයි. ජනාධිපතිවරණය කැඳවීමට පෙර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සහතික කිරීම අභියෝගය වනු ඇත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පැති දෙකක් තිබේ. එකක් නම් සාර්ව ආර්ථික ඉලක්ක සපුරා ගැනීමයි. මේ සම්බන්ධයෙන් රජය සති දෙකකට පෙර මෙරටට පැමිණි IMF කණ්ඩායමින් ප්‍රශංසා ලබා ඇත. ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) පැවසුවේ, ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ වැඩසටහන මගින් ආර්ථික වර්ධනය වෙනුවෙන් අත්කර ගත් ප්‍රතිඵල, උද්ධමනය සීඝ්‍රයෙන් අඩුවීම, විදේශ සංචිත ශක්තිමත් කිරීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව ඇතුළු ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දී ඇති බවයි. සැළකිව යුතු රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පද්ධතිය ශක්තිමත්වී ඇති බව ද ඔහු පැවැසීය. ඔහුට අනුව, සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර, 2023 දෙසැම්බර් අවසානය වන විට සියලු ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සහ දර්ශක ඉලක්ක සපුරාලීමෙන් ශ්‍රී ලංකා රජය ආර්ථික කාර්ය සාධනය ශක්තිමත් කර ඇත.
කෙසේවෙතත්, පාලන දුර්වලතා සහ දුෂණ දුර්වලතා ආමන්ත්‍රණය කරන ලෙස ඉල්ලා සිටින අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දෙවැනි අංගය සම්බන්ධයෙන් රජය හොඳින් ක්‍රියාකර නැත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව, ආර්ථිකය කල්පවත්නා ප්‍රකෘතිමත් කිරීමකට සහ ස්ථාවර හා සියල්ලන් ඇතුළත් වර්ධනයක් කරා ගෙනයෑමට මේවා ඉතා වැදගත් වන අතර, එමගින් සුළු පිරිසකට පමණක් නොව රටේ සියලුදෙනාටම ප්‍රතිලාභ ලබාදෙනු ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනේ 2024 පෙබරවාරි මාසය අවසන් වන විට, රජය සම්පුර්ණ කළයුතු කැපවීම්වලින් සියයට 33ක් සපුරාලීමට අපොහොසත් වී ඇති බවට Verite Research ආයතනය කළ සොයාගැනීම් කැළඹීමක් ඇති කරයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්තාවේ 'නොගැලපෙන' ලෙස වර්ගීකරණය කර ඇති මෙම කැපවීම් බොහොමයක් පාලනය වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇත. මේවා සාර්ථක කරගැනීම සඳහා තොරතුරු ප්‍රකාශනය (විනිවිදභාවය) සම්බන්ධ බැඳීම් සහ පාලනය වැඩිදියුණු කිරීමේ නීති සම්මත කිරීම අවශ්‍ය වේ.
IMF වැඩසටහනේ ප්‍රධාන කොටසක් වන්නේ රාජ්‍ය වත්කම් වඩාත් තාර්කික ලෙස පරිහරණය කිරීම සහ පෞද්ගලිකකරණය කිරීමයි. පාඩු ලබන රාජ්‍ය ආයතන බොහොමයක්, ඔවුන් සතු ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර සහ මූල්‍ය තැන්පතු වැනි වත්කම්වලින් පොහොසත් බැවින්, මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අතිශය විනිවිදභාවයක් තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. තරඟකාරී ලංසු තැබීම් සහ ක්‍රියාවලියේ විනිවිදභාවයක් නොමැති නම්, ඒවා ඉතා සුළු මුදලකට විකිණීමට හැකිවීමේ අන්තරාය පවතින අතර, ඒවා විදේශීය අවශ්‍යතාවලට සහ මිතුරන්ට මෙන්ම පවුලේ ඥාතීන්ට පවරාදීමේ පුරුද්දට යටත් වනු ඇත. ආර්ථිකය වැටී ඇති අපායට පාර කැපූයේ ද, මහජනතාව මෙතරම් දුක්ඛිත තත්ත්වයකට පත්කර ඇත්තේද මෙම පිළිගත නොහැකි සහ සදාචාර විරෝධී ක්‍රියාවන් ය. එලෙස නියමිත ලෙස ක්‍රියාත්මක නොවන, පාරදෘශ්‍ය නොවන සහ ජාතික අවශ්‍යතා සඳහා නොවන ඕනෑම ගනුදෙනුවක් අවලංගු කරන බවට විරුද්ධ පක්ෂවල අනතුරු ඇඟවීම් මෙම සන්දර්භය තුළ තක්සේරු කළ යුතුය. මේ නිසා, සාර්ව ආර්ථික බෙහෙත් වට්ටෝරු සමඟ IMF පාලන බෙහෙත් වට්ටෝරු ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කරන බව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, විපක්ෂය සහ සිවිල් සමාජය විසින් සහතික කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී පවතින බව පෙන්වාදිය යුතුය.
Lanka Newsweek © 2024