Saturday 20th of July 2024

English Tamil
Advertiesment


සංහිඳියාව පිළිබඳ කයිවාරු මැද උතුර සහ නැඟෙනහිර ප්‍රදේශවල වර්ධනයවන කලකිරීම 


2024-04-02 13971

 

(ආචාර්ය ජෙහාන් පෙරේරා)

 

රජය විසින් දෙමළ ජනයාට සාධාරණ ලෙස සැළකීමට සහ ඔවුන්ගේ දුක්ගැනවිලි විසඳීමට අසමත්වීම සම්බන්ධයෙන් දෙමළ දේශපාලනයේ ඇති කළකිරීම පාර්ලිමේන්තුව තුළ නව මුහුණුවරක් ගනිමින් තිබේ. බහුතර ඡන්ද හිමි පිරිස සමඟ තර්ක කිරීමට නොහැකිව දෙමළ මන්ත්‍රීවරු වචන මගින් අවිහිංසාවාදී ක්‍රියාමාර්ගවලට එළඹෙමින් සිටිති. වාර්ගික සහ ආගමික සුළුතරයන් නියෝජනය කරන දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේ කටයුතු භෞතිකව කඩාකප්පල් කිරීමට උත්සාහ කර ඇත්තේ කලාතුරකිනි. ඊට එක් හේතුවක් වන්නේ ඔවුන්ගේ සංඛ්‍යාවේ හිඟකමයි. එමනිසාම, පාර්ලිමේන්තුවේ භෞතික විරෝධතා ක්‍රියාමාර්ග ආණ්ඩු පක්ෂයේ සහ ප්‍රධාන විපක්ෂයේ පක්ෂවල කේන්ද්‍රගතවී ඇත. 2018 කුප්‍රකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයේදී, එවකට අගමැති රනිල් වික්‍රමසිංහව, ඔහුගේ පැරණි සගයකු වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අනතුරු ඇඟවීමකින් තොරවම නෙරපා හරින විට, පාර්ලිමේන්තුව තුළ මෙවැනි කලහකාරී ලෙස හැසිරීම් බහුලව දක්නට ලැබිණි.

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ශාරීරිකව මෙහෙයවන ලද විරෝධත්වන්ට යොමුව නැති අතර, තම විසම්මුතිය ප්‍රකාශ කිරීම සඳහා ඔවුන් වාචික භාවිතය උපයෝගී කරගෙන ඇත්තේද කලාතුරකිනි. කෙසේවෙතත්, පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්, ගෙවීගිය මාස 06 තුළ දෙවැනි වරටත් පාර්ලිමේන්තු ගර්භය මැදට පැමිණියේ ශාරීරිකව සිය විරෝධය දැක්වීමටය. සාමකාමී ක්‍රියාවන්ට සහ වචනවලට ධනාත්මක ප්‍රතිචාරයක් නොමැති, වාර්ගික බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නොසළකා හරින ලද හෝ සරලව ඡන්දය පමණක් ප්‍රකාශ කරන අයගේ අවසාන විසඳුම ශාරීරික ක්‍රියාකාරකම්වල පිහිට වියහැකිය. මේ වන විට දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පෙන්නුම් කරන වර්ධනීය ක්‍රියාකාරීත්වය, ඔවුන්ට රජයෙන් ලැබෙන සෘණාත්මක ප්‍රතිචාර පිළිබිඹු කිරීමක් වනු ඇත.

මාර්තු 08 වැනිදාට යෙදී තිබූ මහා ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් උතුරේ පිහිටි පුරාණ හින්දු සිද්ධස්ථානයක් තුළ ආගමික වතාවත්වල නිරතව සිටි සිවිල් වැසියන් 08 දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් තවදුරටත් රඳවා තබා ගැනීමට විරෝධය පළකරමින් මන්ත්‍රීවරු මෙලෙස විරෝධතාවයේ නිරතවූහ. ආගමික වතාවත් සිදුකිරීමට අවසර දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, මීට පෙර නිකුත් කළ අධිකරණ නියෝගය නොතකමින්, එම ස්ථානයට අනවසරයෙන් ඇතුළු වූ බවට චෝදනා කරමින් නෙඩුන්කේනි, වෙඩුක්කුනාරිමලේ පුරාවිද්‍යා ස්ථානයේ පිහිටි හින්දු කෝවිලේ ප්‍රධාන පූජකවරයා ඇතුළු සිවිල් වැසියන් අටදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. රජයේ බලධාරීන්, එනම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද අසත්‍ය චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව පවසමින් දෙමළ මන්ත්‍රීවරු සිවිල් වැසියන් අටදෙනා නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ.

 
අවශ්‍ය සහයෝගීතාව

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද විරෝධතා දැක්වූ මන්ත්‍රීවරුන්ට සිය සහයෝගය පළකරමින් ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකමක් වන ඇදහිල්ල නිදහසේ පිළිපැදීමට සෑම කෙනෙකුටම හැකි විය යුතු බව සඳහන් කරමිනි. මෙවැනි සිදුවීම් පුරවැසි අයිතීන් උල්ලංඝනය කිරීමක් බව පවසමින් ඔහු අදහස් පළකළේය. විපක්ෂ නායකවරයාගේ වාර්ගික සීමාවන් ඉක්මවා යෑමට ඇති කැමැත්ත මේ මොහොතේ රටට අවශ්‍ය ජාතික නායකත්වයේ එක් සලකුණකි. මෙවැනි කරුණු සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා පොලිස්පතිවරයා පාර්ලිමේන්තුව හමුවට කැඳවිය යුතු බවට ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දෙමළ බහුතරයක් වෙසෙන උතුර හා නැඟෙනහිර ප්‍රදේශවල වඩ වඩාත් සක්‍රීයව සහ ස්ථාවරව කටයුතු කරන අතර, ඓතිහාසික ස්ථානවල සිදුවෙමින් පවතින 'පුරාවිද්‍යා පර්යේෂණ' උපුටා දක්වමින් ඇතැම් හින්දු කෝවිල් වෙත මහජන ප්‍රවේශය සීමාකර ඇත.

උතුරින් පිටත එතරම් සවිස්තරාත්මකව වාර්තා නොකෙරුණද, බහුතරයක් හින්දු භක්තිකයන් වාසය කරන උතුරු පළාතේ, නව බෞද්ධ ව්‍යුහයන් සහ සිද්ධස්ථාන වැඩිවීම නිසා උතුරේ ජීවත්වන ජනතාව කලබලයට පත්ව සිටිති. නැඟෙනහිර ප්‍රදේශයේ ද මාවඩිවෙම්බුවේ පුදබිමක් පුරාවිද්‍යා ස්ථානයක් ලෙස සළකා සීමාකර ඇති අතර එයද අධිකරණයට ගිය කරුණක් බවට පත්ව ඇත. මෙම උත්සාහයන්, පසුකාලීනව අදාළ ඉඩම් සිංහල පදිංචිකරුවන් වෙත ලබාදීමේ උත්සාහයක් බවට ජනතාව අතර කනස්සල්ලක් පවතී. එමනිසා, යුක්තිසහගත දේ පිළිබඳ තම ප්‍රජාවගේ දෘෂ්ටියට ප්‍රමුඛත්වය ලබාදෙනවාට වඩා, සිය ක්‍රියාවන් සිදුවන විශාල බලපෑම අවබෝධ කරගැනීමේ වැදගත්කම පොලිසියට මෙන්ම සියලුම රාජ්‍ය බලධාරීන්ට අවබෝධ කරදීමේ අවශ්‍යතාවක් පවතී.

පාර්ලිමේන්තුවේ ඇති වූ ඝෝෂාවෙන් දින තුනකට පසුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරේ යාපනයට ගියේ, හමුදා පාලනය යටතේ තිබූ අක්කර 234කට අධික ඉඩම් ඒවායේ අයිතිකරුවන්ට නැවත ලබාදීමේ සභාවක මුලසුන දැරීමටය. ලක්‍ෂ 20කට ඉඩම් අයිතිය ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන උරුමය වැඩසටහන යටතේ එහිදී යාපනය ප්‍රදේශයේ ජනතාවට ඉඩම් ඔප්පු 408ක් ප්‍රදානය කළේය. උරුමය සින්නක්කර ඔප්පු වැඩසටහන ජුනි මාසය වන විට අවසන් කිරීමට වගබලා ගන්නා ලෙස ඔහු නිලධාරීන්ට උපදෙස් දුන් අතර, එය මැතිවරණයක් මැතිවරණ නීතිවලට අනුව ඉලක්කගත කණ්ඩායම්වලට සෘජු ප්‍රතිලාභ ලබාදීමට ආණ්ඩුවට හැකියාව පවතින නියමිත කාලසීමාවේ අවසානය වනු ඇත. පේදුරුතුඩුව මූලික රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ උත්සවයට ද ජනාධිපති වික්‍රමසිංහ සහභාගී විය. රෝහලට ලබාදුන් වෛද්‍ය උපකරණ සඳහා සහනදායී ණයක් වෙනුවෙන් ඔහු එහිදී නෙදර්ලන්ත තානාපති Bonnie Horbach වෙත ඇගයීමේ සංකේතයක්ද ලබාදුන්නේය.

 
අවශ්‍ය විසඳුම

 

රට මැතිවරණයකට සූදානම් වී ඇති අතර ජනාධිපතිවරයා සහ දෙමළ පක්ෂ ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන්ගේ ක්‍රියාකලාපයට මෙම යථාර්ථය බලපානු ලබයි. ජනවාර්ගික සහ ආගමික සුළුතරයන් සමඟ ජනාධිපතිවරයාගේ විශ්වසනීයත්වයේ ප්‍රධාන මූලාශ්‍රය වූයේ ජාතිකවාදී දේශපාලනයට එරෙහිව ඔහුගේ ලිබරල්වාදී දීර්ඝ ඉතිහාස වාර්තාවයි. 1987 දී ඔහුගේ මාමා වූ එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් ජනවාර්ගික ගැටුමට විසඳුමක් ලෙස පළාත්වලට බලය බෙදාහැරීම සඳහා නිර්මාණය කළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන විට, වත්මන් ජනාධිපතිවරයාද ඊට සිටි ආධාරකරුවන් කිහිපදෙනාගෙන් එක් අයෙක් විය. 2022 දී ජනාධිපති ලෙස තේරී පත් වූ විගසම ඔහු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත්කම සහ එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තහවුරු කරමින් දෙමළ ප්‍රජාව සමඟ සිය සහයෝගිතාව බෙදාගත්තේය. ඊට අවශ්‍යයෙන්ම පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල බෙදාහැරීම ඇතුළත් වන නමුත්, දැන් එම ප්‍රතිඥා පසුබැසීමකට ලක්ව ඇති බව පෙනෙන අතර, තවමත් එහි යෝජනා ක්‍රියාත්මක වී නොමැත

දෙමළ බැතිමතුන් තම පාරම්පරික චාරිත්‍ර වාරිත්‍රවල යෙදීමට ගිය උතුරේ වෙඩුක්කුනාරිමලෙයි පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් ගත් කල, එම ඉඩම මධ්‍යම රජය යටතේ පවතින අතර පොලිසියද එසේමය. මධ්‍යම රජයේ මට්ටමින් සිතීමට පුරුදුවූ අය පරිධියේ වෙසෙන මිනිසුන්ගේ අභිලාෂයන් ගැන සිතීමට නැඹුරු නොවෙති. ඔවුහු බොහෝ විට බහුතරවාදී හැඟීම්වල ගිලී සිටිති. මෙය මීට මාස තුනකට පෙර රටේ නැඟෙනහිර ප්‍රදේශයේ ද දැකගත හැකි වූ අතර, එහිදී ජනාධිපතිවරයා ජනතාව හමුවීමට සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳව කරුණු දැනගැනීමට එහි ගියේය. වඩාත් සංවේදී කාරණය වූයේ ප්‍රදේශයේ අනවසර පදිංචි කිරීම් සඳහා පාරම්පරික තණබිම් අත්පත් කර ගනිමින් සිටින මයිලත්තමඩු ප්‍රදේශයේ කිරි ගොවීන්ගේ ගැටලුවයි. එහිදීද පොලිසිය අධිකරණ නියෝග නොපිළිපදිමින්, තෘණ ඉඩම්වල අනවසර පදිංචි කිරීම් සම්බන්ධයෙන් ඉඩ ලබාදෙන බවත්, ගොවීන් ඊට එරෙහිව විරෝධතාවක නිරත වන බවත්, පෙන්වාදෙමින් දෙමළ දේශපාලන පක්ෂ මන්ත්‍රීවරුන් විසින් සිදුකළ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා එල්ලවිය.

මැතිවරණය ළං වන විට ප්‍රධාන දේශපාලන චරිතවල කතා වඩ වඩාත් විචිත්‍රවත් හා අර්ථවත් වේ. දිග්ගැස්සුණු වාර්ගික ගැටුම එහි අවසානයට ළඟාවෙමින් පවතින බවට බලාපොරොත්තුවක් ලබාදීමට, අතීත දේශපාලන නායකයන්ට වඩා පැහැදිලි විශ්ලේෂණයක් ලබාදීමට තමන්ට හැකියාව ඇති බව ඔවුහු ප්‍රදර්ශනය කරති. ඇත්ත වශයෙන්ම, ප්‍රධාන නායකයන් ඔවුන්ගේ විශ්ලේෂණයට අනුව, එකම පිලක සිටින බව පෙනේ. නිදසුනක් වශයෙන්, ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ කතාවලින්, 1948 නිදහසේ උදාවේ සිටම වාර්ගික-ආගමික අනන්‍යතා දේශපාලනය හරහා මැතිවරණ ජයග්‍රහණය කිරීමට උත්සාහ කළ දේශපාලනඥයන් විසින් බෙදුම්වාදී ජාතිකවාදය භාවිත කළ ආකාරය පියවරෙන් පියවර විස්තර කරයි. එබැවින්, දැන් ප්‍රශ්නය කුමක්දැයි යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති මේ නායකයන්, උතුර නැගෙනහිර පළාත්වල පවතින කලකිරීම දුරුකිරීමට එම පළාත්වලට ඉඩම් හා පොලිස් බලතල හිමිවන විසඳුමක් ලබාදිය යුතුය.

 

 

Advertiesment