Tuesday 23rd of July 2024

English Tamil
Advertiesment


අයියෝ සිරිසේන


2024-04-02 13973


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන පහුගිය තිස්වෙනිදා දේශපාලන පිටියට තවත් බොම්බයක් ගහලා දැම්මා. මෛත්‍රී කෙටි කාලයක් ඇතුලත දේශපාලන පිටියට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කළා.ගිය 22 වෙනිදා එක පාරටම පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා තමන් දන්න බවත්, අධිකරණ නියෝගයක් දුන්නොත් ඒ සම්බන්ධව කියන්න ලෑස්තියි කියලා කිව්වා.

දැන් ඒ ගැන අධිකරණයට කරුණු වාර්තා කරලා තියනවා.තව දවස් කීපයක් ඇතුළත මෛත්‍රීට අධිකරණයට ප්‍රකාශයක් දෙන්න නියමිතව තියනවා.ඒ ප්‍රකාශයත් එක්ක අධිකරණ ක්‍රියාවලියත් ඉස්සරහට යයි.හැබැයි මෛත්‍රී කිව්ව විදිහට මෛත්‍රීගේ කට උත්තරය රහසක් විදිහට වැඩි දවසක් තියෙන එකක් නෑ.මොකද ඒ ප්‍රකාශය පාස්කු නඩු කටයුතුත් එක්ක ඉදිරියට යන්න ඕනි එකක්.22 වෙනිදා මෛත්‍රීගේ පළවෙනි බෝම්බ ප්‍රහාරය එල්ල වෙනකොට ගොඩක් අය ඇහුවේ මෛත්‍රීට මානසික අවුලක්ද කියලයි.

ඒත් රටේ රාළ ඒක පිලිගත්තේ නෑ.රටේ රාළ දිගමට සැක කළේ මෛත්‍රී පිටිපස්සේ කෙනෙක් හෝ කණ්ඩායමක් ඉන්න පුළුවන් කියලයි.මෛත්‍රී දෙවෙනි බෝම්බ ප්‍රහාරය එල්ල කළේ ශ්‍රිලනිපය ඇතුලට.රටේ රාළ කියන්නේ මේ ප්‍රහාරය 22 වෙනිදා මෛත්‍රී එල්ල කරපු ප්‍රහාරයට වඩා දරුණු එකක්. ඇත්තටම දේශපාලන වශයෙන් හිතුවොත් මේක මරාගෙන මැරෙන ප්‍රහාරයක්.තනිකරම suicide misson එකක්.

මෛත්‍රී දේශපාලන වශයෙන් ශ්‍රිලනිපයත් මරාගෙන මැරෙන්න එල්ල කරපු ප්‍රහාරයක්.මේ ප්‍රහාරයෙන් පස්සේ රටේ රාළගේ සැකය තවදුරටත් තහවුරු වෙනවා. මේක පිටිපස්සේ තවත් කීපදෙනෙක් ඉන්නවා.මෙතන පැහැදිවම මෙහෙයුම් කීපයක් තියනවා. පහුගිය දවසක ගම්මන්පිල කියලා තිබුණේ 30 වෙනිදා තියන ශ්‍රිලනිප විශේෂ රැස්වීමට විශේෂ පුද්ගලයෙක් එනවා කියලයි.ඒ වගේම තිහදා රැස්වීමට විජේදාස ආවා.

විජේදාසත් මේ දවස්වල ජනාධිපති අපේක්ෂකත්වයක් ගැන කියව කියව යනවා.ශ්‍රිලනිප වැඩේට විජේදාස එන බව මෛත්‍රී හැර කවුරුවත් දැනගෙන හිටිලා නෑ. තත්වය කොච්චර සංකීර්ණද කියනවා නම් ශ්‍රිලනිපය ගැන ගම්මන්පිල දන්න දේවල් ශ්‍රිලනිප දේශපාලන මණ්ඩලයවත් දන්නේ නෑ.ඇත්තටම විජේදාසගේ පැමිණීම බරපතල ප්‍රශ්නකාරී එකක්.වෙනත් පක්ෂයක අභයන්තර සාකච්ඡාවකට කවුරුත් අනාරාධිතව එන්නේ නෑ.

ඒ වගේම එහෙම ආරාධනයක් කරනවා නම් එකට පක්ෂ අනුමැතියක් තියෙන්න ඕනි.එහෙම නැතිව එන එක ලැජ්ජා නැති වැඩක් වගේම පක්ෂයට හොරෙන් තමන් කැමති අයට ආරාධනා කිරීමත් ලැජ්ජා නැති වැඩක්.මේක යට කුමන්ත්‍රණ කීපයක් තියන බව දැන් ඔයාලටත් පැහැදිලි ඇති.රටේ රාළ කියන්නේ මේ කුමන්ත්‍රණයේ සංකීර්ණකම විසින් මේක තේරුම් ගන්න ගොඩක් අයට අමාරුයි.දැන් මෛත්‍රී මේ කුමන්ත්‍රණයේ පළවෙනි විත්තිකාරයා වෙන එක නවත්තන්න බෑ.
මොකද මෛත්‍රී නොදැන විජේදාසට එතෙන්ට එන්න බෑ.සාමාන්‍යයෙන් ශ්‍රිලනිපය වගේ පක්ෂයක වැඩ සටහනකට පිටින් කෙනෙක් ආවත් එලවන්නේ නෑ.ශ්‍රිලනිපය කියන්නේ ජේවීපී එකක් නෙවෙයි.ශ්‍රිලනිප දේශපාලනය ඇතුලේ රට ගහලා අල්ලන program නෑ.ඒ තියන මනුස්සකමේ ඉඩ පාව්ච්චි කරගෙන තමයි මෛත්‍රී එතෙන්ට විජේදාස ගේන්න ඇත්තේ.

රටේ රාළගේ උපකල්පනයට අනුව 22 මෛත්‍රීගේ කතාව සහ මේ වැඩේ අතර සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්.ඒක මේ වැඩේට අවධානය ගන්න කරපු වැඩක්ද කියලත් සැක හිතෙනවා.ඒ වගේම බැසිල්ගේ පැමිණීම සහ නැවත මැතිවරණ සිතියම අතට ගන්න හැදීමත් මෛත්‍රීගේ මේ ප්‍රහාරය ඉක්මන් කළා වෙන්න පුළුවන්.බැසිල් වැඩේ අකුලාගෙන පස්සට යෑම සහ මෛත්‍රීගේ ප්‍රකාශය අතර සම්බන්ධයක් තියනවද කියන සැකය රටේ රාළට තියනවා. සමහරවිට මේක ඇතුලේ මකරෙකුත් ඉන්න පුළුවන්.

කොහොම උනත් රටේ රාළ කියන්නේ මෛත්‍රීගේ පාස්කු නාඩගමේ තව ජවනිකා කීපයක් නං ඉදීරියට තියනවා.ඒක නිසා 22 ක හා 30 ප්‍රහාර අතර සම්බන්ධයක් තිබුනත් නැතත් මෛත්‍රීගේ 30 ප්‍රහාරය 22 ප්‍රහාරයට සාපේක්ෂව කිට්ටුට වැඩියි සහ මෝඩයි.මෛත්‍රී මේ කරන දේවල් හරියි කියලා බාරගන්න සහ ඒවා උත්කර්ෂයට නංවන ළමා සොල්දාදුවන් නම් ශ්‍රිලනිපයේ අනාගතය තීරණය කරන්නේ ශ්‍රිලනිපයට අබ සරණම තමයි.

මේ කුමන්ත්‍රණය ගැන මෛත්‍රීගේ හතුරු පාර්ශවවලටත් ලීක්වෙලා කියන එක පැහැදිලියි. ඇත්තටම ශ්‍රිලනිපය දැන් ගේම් ගහන තැනක් බවට පත්වෙලා.කුමන්ත්‍රණ ඇතුලේ කුමන්ත්‍රණ තියන තැනක්.දුමින්ද, ලසන්ත,මහින්ද අමරවීර ගැන ගොඩක් දේවල් රටේ රාළ දන්නේ නෑ.එදා දයාසිරි එලියට දානකොට ඒක වැරදියි කිව්වා වගේම රටේ රාළ කියන්නේ මේ වෙලාවේ දුම්න්දලාගේ තනතුරු ගැලවීම වැරදියි,ඒ වගේම මේ ඉවත් කිරීම නීති විරෝධී,සදාචාර විරෝධී වගේම සාහසිකයි. 

ශ්‍රිලනිපය වගේ පක්ෂයක් ඇතුලේ මෙහෙම දෙයක් සිද්ධවීම ලැජ්ජා සහගතයි වගේම පිළිකුල් සහගතයි.විශේෂයෙන්ම මෛත්‍රී වගේ නායකයෙක් අතින් සිදුවීම ඊටත් වඩා පිලිකුල් සහගතයි. මෛත්‍රී මේ ඉවත් කිරීම ගැන කියලා තියෙන්නේ ආණ්ඩුවට ගිය අයත් එක්ක මේ ගමන යන්න බෑ කියලයි. ඒක කියන්නේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් ඉස්සරහා තියාගෙන. විජේදාස ආවේ ශ්‍රිලනිපය පැත්තෙන් ජනාධිපති අපේක්ෂකත්වය බලාගෙන කියන එක ඕනි කෙනෙකුට තේරෙනවා.විජේදාසත් ආණ්ඩුවේ.එතකොට එයාට අපේක්ෂකත්වය දෙනවා නං තව කාට හරි රනිල්ට උදව් කරන්න බැරිකමක් නෑ.

දැන් විජේදාස එනවා නම් ඇමතිකම තියලා එන්න ඕනි.මෛත්‍රී අන්තිමට විජේදාසට අල්ලපු වත්තයි,පය ගහපු වත්තයි දෙකම නැති කළා. මෛත්‍රී නිමල් සිරිපාලට නං අත තියන්න යන්නේ නෑ.නිමල් ඇවිත් තියෙන්නේ නඩු තීන්දුවකින් හින්දා මෛත්‍රී නිමල්ට බයයි.කිසිදු යෝජනා සම්මතවීමක් නැතිව.අදාල පාර්ශවයට අදහස් දැක්වීමකට ඉඩක් දෙන්නේ නැතිව.

සිය ගණනක් හිටපු තැනක ඉතා කුඩා පිරිසක් ලව්වා අත් උස්සගෙන කරපු වැඩෙන් ශ්‍රිලනිප ඉතිහාසයට තවත් කළු පැල්මක් එකතු කළා.මේ රැස්වීමට ශ්‍රිලනිප පාක්ෂිකයන් කැදවන්න යවලා තියන ලිපිය දැන් අන්තර්ජාලය තුල සංසරණය වෙනවා.ඒකට අනුව මෛත්‍රී කරපු මේ වැඩේ නීති විරෝධී බව හිටපු පක්ෂ ලේකම් කෙනෙක් විදිහට රටේ රාළ දන්නවා.පක්ෂයේ නිලධාරී මණ්ඩලයෙන් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් නෙරපීමට ගන්න ඕනි ක්‍රියා පටිපාටිය මේක නෙවෙයි.

මේ තීරණය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වෙන බව දැනටමත් ප්‍රකාශ වෙලා තියනවා. රටේ රාළ විශ්වාස කරන්නේ අධිකරණ තීන්දුවෙන් මේ තීරණය නීති විරෝධී බව ප්‍රකාශ වෙයි. හැබැයි ඒ තීරණයත් එක්කම මෛත්‍රීගේ නායකත්වයට දැවැන්ත අභියෝගයක් එල්ල වෙයි.දැන් ශ්‍රිලනිපය බහුතරය වෙනත් නායකත්වයක් ඉල්ලා සිටින තැනට පත්වීම නවත්තන්න බෑ.මේ වගේ දේශපාලන සන්ධිස්ථානයකදී පක්ෂ නායකයා විසින් පක්ෂයක් දෙකට කඩාගෙන ස්වෝත්සාහයෙන් දුර්වල කරගැනීම තරම් තවත් විහිළුවක් තියනවද?

හරි නායකයෙක් මේ වගේ වෙලාවකදී කරන්නේ තියන ගැටුම් පුළුවන් තරම් සමනය කරගෙන අදාල කඩයිම පියමං කිරීමයි. කොහොම උනත් මේ කුමන්ත්‍රණය පිටිපස්සේ එකිනෙකට හතුරු පාර්ශව කීපයක් ඉන්නවා.රටේ රාළ විශ්වාස කරන්නේ මේ ක්‍රියාවලිය ජනාධිපතිවරණ අපේක්ෂකත්වයත් එක්ක සෘජු සම්බන්ධයක් තියනවා. මෛත්‍රීගේ ඔළුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න චරිත දෙකක් හිටියා.

ඒ වගේම මෛත්‍රීගේ ඒ තීරණය කඩාකප්පල් කරලා ශ්‍රිලනිපයේ බලය අරන් වෙනම සන්ධානයක් හදන්න බලාගෙන ඉන්න පිරිසකුත් එලියේ හිටියා.මෛත්‍රී දැන් ජනාධිපති අපේක්ෂකයා විදිහට විජේදාස තෝරගෙන.විජේදාස හදුන්වා දුන්න විදිහට තමයි අපි තිස්වෙනිදා දැක්කේ.කොහොම හරි මෛත්‍රී විජේදාසටත් ඇඩ්රස් නැති කළා.මෛත්‍රී මේ සන්ධිස්ථානයේදී ගත්ත සියලුම ක්‍රියාමාර්ග අදේශපාලනිකයි.

ඇත්තටම මෙතනින් පස්සේ කිසිකෙනෙක් මෛත්‍රී විශ්වාස කරන්නේ නෑ.මෛත්‍රී සමහරවිට ආයෙත් ඇතුලට දයාසිරිව ගෙනෙයි. කවුරු ගෙනාවත් ඒ කිසිකෙනෙක් මෛත්‍රීව විශ්වාස කරගෙන ඇතුලට එන්නේ නෑ.මෛත්‍රී තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය නැවත හදන්න බැරි විදිහට ඩැමේජ් කරගෙන ඉවරයි.

හරි එහෙනම් ගිහින් එන්නම්,
ජය වේවා..!
මීට
රටේ රාළ
Advertiesment