මධ්‍ය සහ සුළු පරිමාණ කර්මාන්ත පුනර්ජනනය කිරීම සේම අලුතින් ආරම්භ කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන "සංවර්ධන බැංකුවක්" ආරම්භ කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂය වනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
මධ්‍ය සහ සුළු පරිමාණ කර්මාන්ත පුනර්ජනනය කිරීම සේම අලුතින් ආරම්භ කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන "සංවර්ධන බැංකුවක්" ආරම්භ කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂය වනු ඇත.
මේ රටේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පැවැත්ම උදෙසා මේ රටේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු පද්ධතියට කළ හැකි සේවය සීමිතය. ඊට හේතු වන්නේ සාමාන්‍ය පොළී අනුපාතය සහ සුරක්ෂා ලෙස දේපළ උගස් කිරීමට මෙම ව්‍යවසායකයින්ට පුළුවන්කමක් නොවීමයි.
නව බැංකුව ගොඩනැඟීම සඳහා රජය රුපියල් මිලියන 50,000ක් යෙදවීමට තීරණය කිරීම, පෞද්ගලික සහ විදේශ ආයෝජකයන් සේම විදෙස් ආධාර ආයතන හරහා මෙම මුදල රුපියල් මිලියන 100,000ක් දක්වා ඉහළ නංවන්නට සැලසුම් කර තිබීම ද ප්‍රශංසා කටයුතුය.
මීට පෙර DFCC බැංකුව සහ NDB බැංකුව පිහිටු වන ලද්දේ අපනයන, ග්‍රාමීය කර්මාන්ත, කුඩා සහ මධ්‍ය පරිමාන කර්මාන්ත සේම ව්‍යවසාය සඳහා ණය ලබා දීමේ අරමුණින් යුතුවය. එහෙත් 2002 වසරේ දී මෙම බැංකු දෙකම වාණිජ බැංකු බවට පරිවර්තනය කරන්නට රජය තීරණය කිරීම අප සිදු කළ වරදකි.
ඒ වැරදීම සඳහා මඟ පෙන්වන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන බව අපගේ විශ්වාසයයි. මෙම බැංකු දෙන සහන නොලැබීම හේතු කොට ගෙන අලුතින් ආරම්භ කරන කර්මාන්තවලට සේම පැවතුණු කර්මාන්තවලටද අඳුරු යුගයකට මුහුණ දෙන්නට සිදු විය.
Covid-19 වසංගතය සහ ඊට පසුව ඇති වූ ආර්ථික අර්බුද හේතු කොට ගෙන ව්‍යාපාර බිඳ වැටෙන අවස්ථාවේදී මෙම බැංකු දෙක තිබුණේ නම් ව්‍යවසායකයින්ගේ සහායට පැමිණෙන්න ඊට හැකියාව තිබුණි. සංඛ්‍යා ලේඛන සඳහන් කළ ආකාරයෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 12,000ක් වසා දමන්නට සිදු විණි. මේ හේතු කොට ගෙන රැකියා අහිමි වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට අධික විය යුතුය. මධ්‍ය පරිමාණ කර්මාන්ත වැඩි දියුණු කිරීම සඳහා ලෝක බැංකුව මගින් ලබා දී තිබෙන ඩොලර් මිලියන 100ක මුදල ද මෙම බැංකුව සඳහා යෙද විය හැකි බව අපගේ අදහසයි.
අලුතින් ආරම්භ කරන සංවර්ධන බැංකුව සඳහා ස්වාධින අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කිරීමට සේම එහි ව්‍යුහය සකස් කිරීමේ දී මෙරට පවතින බැංකු සහ විදේශ රටවල පිහිටි අන්තර්ජාතික බැංකු සේම සංවර්ධන බැංකුවල ව්‍යුහයන් සැලකිල්ලට ගෙන ඒ ආකාරයේ ව්‍යුහයක් සකස් කරන්නට ගෙන තිබෙන තීරණය ද අගය කළ යුතුය.
මෙම බැංකුවේ මූලික අරමුණ සහ ප්‍රතිපත්තිය විය යුත්තේ පාඩු නොලබා පවත්වා ගනිමින් දේශීය ව්‍යවසායකත්වය පෝෂණය කිරීම සේම ජාතික ආර්ථික සංවර්ධනය ඇති කිරීමය. ඒ හරහා මේ රටේ ග්‍රාමීය කර්මාන්ත නඟා සිටුවීම ඔස්සේ දුප්පත්කම තුරන් කිරීම සේම ස්ව ශක්තියෙන් නැඟී සිටීමට ද මේ රටේ ජනතාවට අවශ්‍ය ආයෝජන ශක්තිය ලබා දෙනු ඇත.
පොලී අනුපාතය ඉතා පහළ මට්ටමක පවත්වා ගෙන යන අතරතුරම පාඩු නොවන ආකාරයට සංවර්ධන බැංකුව පවත්වා ගෙන යන්නටත් සුරක්ෂාවන් ලෙස ඇපයට දේපළ තබා නොගනිමින් ණය මුදල් ලබා දීමටත් බැංකුවේ පදනම සහ ප්‍රතිපත්තිය විය යුතු බව අපගේ අදහසයි.
මෙම වැඩ පිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහ පරාටේ නීතිය නැවත සකස් කිරීම හරහා ඇදහිය නොහැකි ආකාරයේ සංවර්ධනයක් මේ රටේ සිදු වන බව අපගේ විශ්වාසයයි. විශේෂයෙන් සුවිශේෂ හැකියාවන්ගෙන් යුත් තරුණයන්ට ව්‍යාපාර සහ සේවා සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම මගින් නව නිෂ්පාදන සිදු කරමින් අද ඉන්දියාව කළ පරිදි ආර්ථික ප්‍රාතිහාර්යයක් කිරීමට හැකි වන බව නොඅනුමානය.
මෙම බැංකුව ක්‍රියාත්මක කිරීමේ දී ලංකා පුත්‍ර බැංකුව පසුගිය වකවානුවේ බොල් ණය ලබා දී කටයුතු කළ ආකාරයෙන් රටේ ධනය විනාශ වීම සිදු නොවන ආකාරයට මෙම ආයතනය කලමනාකරණය කිරීමට රජය වග බලා ගත යුතුය. මෙම යෝජනාව වහාම ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලාසිටිමු.
Lanka Newsweek © 2025