Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


රවී රනිල් ගොඩදායිද..?


2024-03-07 14329


ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙනවා කියලා තවම කියලා නෑ.රටේ රාළ විශ්වාස කරන්නේ රනිල් ජනාධිපතිවරණයට එනවා කියන එක රනිල්ගේ ඉතාම ආසන්න කවයට රහසක් නෙවෙයි කියලයි. ඒක 20 කට තිහකට වැඩිය ලොකු කවයක් නෙවෙයි.

රටේ රාළ දිගටම කිව්වේ රනිල් ජනාධිපතිවරණ කැම්පේන් එකට බහින්නේ එලඹෙන සිංහල,දෙමළ අලූත් අවුරුද්දෙන් පස්සේ කියලයි. එතකං ජනාධිපතිවරණ මාතෘකාව රනිල් ගන්නවා ඇත්තේ බොහොම අඩුවෙන්.මේ දවස්වල රනිල්ගේ මාතෘකාව සංවර්ධනය තහනම් වචනය ජනාධිපතිවරණය.හැබැයි ඒක ඒ විදිහට දිගටම තියන එකක් නෑ.රනිල්ට මාර්තු වෙනකොට ජනාධිපතිවරණය සම්බන්ධ සාකච්ඡාව තවත් අදියරක් පහලට ගේන්න වෙනවා.

රනිල් රනිල්ගේ සංවර්ධන ඉලක්ක,ණය ප්‍රතිව්‍යුහගතකරණ සහ ආයතන ප්‍රතිව්‍යුහගතකරණ ඉලක්ක,ජාත්‍යන්තර එකඟතා කියන මේ සියල්ල මැයි,ජූනි මාසය වෙනකොට එකට ගැට ගහනෙන වැඩේට බහින්න හිතාගෙන ඇති. රනිල් එහෙම හිතුවත් මැතිවරණ ක්‍රියාවලියෙන් මේ කාලේ ඈත්වෙලා සිටීම රනිල්ට ලොකු පාඩුවක් බව රනිල්ට තේරෙන්න ඕනි.එකක් තමයි ජනාධිපතිවරණ අවසන් සටනේ ප්‍රධාන අශ්වයෝ දෙන්නා කවුද කියලා කාටවත් තවම කියන්න බෑ.

ඇත්තටම එහෙම කියන්න බැරි රනිල් තවම කැම්පේන් එකට ඇවිත් නැති හින්දයි.රනිල් කැම්පේන් එකට ආවොත් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නා රනිල් සහ අනුර වෙන්න වැඩි සම්භාවිතාවයක් තියනවා. රනිල් අපේක්ෂකයත්වයට එන්නේ නැත්තං ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නා බවට සජිත් සහ අනුර පත්වෙන්නත් පුලූවන්.ඒ වගේම රනිල් අපේක්ෂකයා විදිහට එනවා නම් සටන ප්‍රභල දෙකොන් සටනක් වෙන්න තියන ඉඩ වැඩියි.

රනිල් සටනට එන්නේ නැත්නම් සටන තුන්කොන් සටනක් වෙන්න ඉඩ තියනවා.ඒක වෙන්නේ රනිල් නියෝජනය කරන කදවුරෙන් වෙනත් අපේක්ෂකයෙක් දැමීමෙන්. සමහරවිට ඒ තැන ගැන පාඨළී, ෆොන්සේකා,දිලිත් වගේ අය බලාපොරොත්තු තියාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්.ඊළඟට රනිල් ජනාධිපතිවරණයට ඇවිත් හැදෙන සන්ධානය තරම් විශාල එකක් රනිල් නොඑන තත්වයක් යටතේ හැදෙන්නේ නැති බවයි රටේ රාළගේ විශ්වාසයි.

මොකද රනිල් අපේක්ෂකයා විදිහට එනවා නම් රනිල් හදන සන්ධානය වටේට එකතු වෙන්න බලාගෙන ඉන්න පක්ෂ හා කණ්ඩායම් රනිල් නොඑන තත්වයක් යටතේ ඒ විදිහටම එකම සන්ධානයකට එකතු වෙයි කියලා හිතන්න බෑ. එහෙම උනොත් ෆොන්සේකා,පාඨළී වගේ අය වෙනත් ගමනක් ගැන හිතන්න වෙන්න පුළුවන්.ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් දැවැන්තම සන්ධානය නිර්මාණය වෙන්න නං රනිල් අපේක්ෂකයා විදිහට එන්නම ඕනි.

රටේ රාළ එහෙම කියන්නේ රනිල්ට තියන විශේෂ පක්ෂපාතීකමක් හින්දා නෙවෙයි.දැනට මේ රටේ ඉන්න බහුතර බලවේග ප්‍රමාණයක් එකම සන්ධානයකට ගන්න පුළුවන් එකම අපේක්ෂකයා රනිල් හින්දයි. උතුරු සහ නැගෙනහිර පලාත් පදනම් කරගෙන තියෙන දෙමළ සහ මුස්ලිම් පක්ෂවලට ඒ බලපෑම කරන්න පුළුවන් රනිල්ට.ඒ වගේම වතුකරයේ දේශපාලන පක්ෂ බහුතරයකට රනිල්ට බලපෑම් කරන්න පුළුවන්.සාමාන්‍යයෙන් අපේ රටේ දෙමළ සහ මුස්ලිම් ඡන්දදායකයන්ගේ සැලකිය යුතු නැමියාවක් රනිල් තියනවා.

ඒ නැමියාවේ යම් අඩුවක් වෙන්න එක හේතුවක් විදිහට රනිල් රාජපක්ෂ සම්බන්ධය ගන්න පුළුවන්.විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව යම් පමණකට රනිල්ගෙන් ඈත් වෙන්න රනිල් සහ රාජපක්ෂලාගේ සම්බන්ධය බලපාලා තියනවා. පහුගිය දවස්වල එජාපය ඇතුලේ කරපු ප්‍රතිසංස්කරණ යම් පමණකට ක්‍රියාත්මක වෙමින් තිබුණත් තවමත් ඒවා ප්‍රශස්ථ මට්ටමකට ඇවිත් නෑ.දැන් රනිල්ගේ දේශපාලන භූමිකාව මහ පොලොවට අරගෙන යන්නේ අනුර යාපා - නිමල් ලන්සා කණ්ඩායම හරහායි.

ආණ්ඩු පාර්ෂවය පැත්තෙන් හිතුවත් රනිල්ගේ ව්‍යාපෘතියවලට ලොකු ප්‍රචාරයක් ලෑබෙන්නේ නෑ.ඒ හින්දා ජනාධිපතිවරණ සටනේ ඉන්න අනෙක් අපේක්ෂකයන්ට සාපේක්ෂව රනිල්ගේ ජනප්‍රියත්ව ඉහල යන්නේ ඉතාමත් හෙමින්. ඉහල ව්‍යාපාරික ස්ථරය සහ ඉහල මැද පන්තිය අතර රනිල්ට ජනප්‍රියතාවයක් තිබුණත් සමාජ ස්ථර දිගේ පහලට එනකොට ඒක තියෙන්නේ ඉතාමත් දුර්වල තැනක. විශේෂයෙන් පහල මැද පන්තියේ සහ පීඩිත කොටස් අතර රනිල් සම්බන්ධව තියෙන්න හොඳ චිත්‍රයක් නෙවෙයි.

ඒ තත්වය ඇතිවෙන්න බලපාන තවත් හේතු කීපයක් තියනවා.රනිල් ඊළඟ ජනාධිපතිවරණයට එන්න සුදානම් වෙන්නේ නිර්පාක්ෂික අපේක්ෂකයෙක් විදිහට.ඇත්තටම ඒක උපක්‍රමයක් විදිහට සාර්ථකයි. එක පැත්තකින් එජාපය දුර්වල වෙලා තියන වෙලාවක රනිල්ට එජාපය මත යපෙන්න බෑ.ඒ වගේ පවතින දේශපාලන වාතාවරණය ඉතාම සංකීර්ණ එකක්.රනිල්ට එකිනෙකට වෙනස් කණ්ඩායම් ගණනාවක් කලමණාකාර කරන්න සිද්ධවෙලා තියනවා. 

උතුරු,නැගෙනහිර හා වතුකරයේ දේශපාලන පක්ෂ,ඒ වගේම පොහොට්ටුව සහ පොහොට්ටුවෙන් ගැලවී ගිය කණ්ඩායම්.සමගි ජන බලවේගයේ සහ ශ්‍රිලනිපය ඇතුලෙත් රනිල්ට පක්ෂපාතී කණ්ඩායම් ඉන්නවා.ඇත්තටම ගත්තොත් විවිධ මත,විවිධ දේශපාලන සංස්කෘතියන්,විවිධ සංවිධාන ක්‍රම සහිත කණ්ඩායම් ගොඩක් කළමණාකරණ කරගන්න ඕනි.ඒකට රනිල්ට තියන හොඳම option එක තමයි ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වීම. 

හැබැයි මෙතනදී අමතර ප්‍රශ්න ගොඩකුත් මතුවෙනවා.ඒ තමයි රනිල් වෙනුවෙන් පෙල ගැහෙන මේ කිසිකෙනෙකුට වැඩ කරන්න පොදු ස්ථානයක් තවමත් හැදිලා නෑ. උදාහරණයක් විදිහට රනිල්ගේම එජාපය ගත්තොත් අද කොතැනකදීවත් එජාප පාක්ෂිකයාට තමන්ගේ නායකයා විදිහට රනිල් එන එජාප රැස්වීමක් හම්බ වෙන්නේ නෑ.හැබැයි රනිල් කියන්නේ එජාප නායකයා.එජාප පාක්ෂිකයටත් රනිල්ට වැඩකරන්න පුළුවන් පොදු තැනක් හැදෙන්න ඕනි. 

එජාපයට විතරක් නෙවෙයි පොදුජන පෙරමුණ ඇතුලේ ඉන්න ගොඩක් දෙනෙකුට ඒ ප්‍රශ්නය තියනවා.එයාලට රනිල්ට වැඩ කරන්න ඕනි උනාට එයාලා තමවත් පොදුජන පෙරමුණ කියන රාජපක්ෂලාගේ කොටුව ඇතුලේ හිරවෙලා.සාමානයෙන් රනිල් වෙනුවෙන් අතපය දිගෑරලා වැඩ කරන්න පුළුවන් අනුර යාපා  - නිමල් ලන්සා කණ්ඩායමට විතරයි.අනිත් සියලු දෙනාම මොකක් හරි බැරියර් එකක හිරවෙලා.රනිල් නිදහස් උනාට රනිල්ට හිතවත් බලවේග වෙන වෙන අච්චුවල හිරවෙලා.

ඇත්තටම මෙතෙන්ට උත්තරයක් ඕනි.ඒ උත්තරය ඉක්මනට හදන්න බැරි හැම මොහොතකම රනිල් අවධානමකට යන එක නවත්තන්න බෑ.මේ ප්‍රශ්නයට රනිල්ට ඉක්මන් උත්තරයක් හදලා දෙන්න පුලුවන් එජාප කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායකට.ඒ එජාපය සමග එක්ව පිහිටවන සන්ධානය නිර්මාණය කිරීමේ වගකීම පවරලා තියෙන්නේ රවීට හින්දයි.තවමත් රවී ඒ වැඩේට අත ගහලා බවක් එලියට පේන්නේ නෑ.

සමහරවිට අභයන්තර කතා යනවා වෙන්න පුළුවන්.මොකද ගොඩක් වෙලාවට අභයන්තර එකගතා හදාගෙන තමයි ඒ වගේ ඒවා එලියට එන්නේ.හැබැයි මේ ප්‍රමාදය රනිල්ට ලොකු අවධානමක් ගේනවා. ඒක නිසා රවීට ඉක්මන් සහ ස්ථාවර උත්තරයක් හැදීමේ වගකීම තියනවා.සාමාන්‍යයෙන් සජිත් සහ අනුර වේගවත් ගමනක් යද්දී.ඒ වගේම එයාලා හබාගෙන දිලිත් වගේ තවත් දක්ෂ සටන්කරුවෙන් ලුහුබදිද්දී මේ සමාජ අවකාශයේ ඉඩ එක විදිහටම තියෙන්නේ නෑ. සමාජ අවකාශය වෙනුවෙන් කරන සටනේ රනිල් ඉන්නේ දුර්වල තැනක.

ඒ ඉඩ අත්පත් කරගන්න මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ඒක අත්පත් කර ගැනීමට වඩාත් දුෂ්කරයි.රටේ රාළ කියන්නේ රනිල්ට අත්පත් කරගන්න තිබුන ඉඩ පවා රනිල්ට අත්පත් කරගන්න බැරිවුනා කියලයි.රනිල්ගේ පැත්තෙන් හිතුවොත් ඒක රනිල්ට සිද්ධ වෙච්චි ලොකු අසාධාරණයක්. මොකද බංකොලොත් රටක් මේ තත්වයට ගෙනත් තියපු එකට අදාල වටිනාකම ගන්න රනිල්ට වගේම ඒක අරන් දෙන්න රනිල් වටේ ඉන්න අයටත් බැරිවෙලා තියනවා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
Advertiesment