Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


විවේචනය කරනවා විනා රට හදන හැටි ගැන කවුරුත් කියන්නෙ නෑ


2024-02-25 14319

 

රනිල් දේශපාලනය කිරීමට වැඩි තැනක් නොදීමේ හේතුව

 

එජාප වැඩවල දී රනිල්ට මළ පනී

 

රනිල්ට ඔප්පු මෙනියාව

 

මහ බැංකුවේ අය තමන්ටම බෙදා ගැනීම ගැන රනිල් ගේ මතය

 

පෑනක්වත් නැති දුගී ඇමති

 

ඇමෙරිකන් මහින්දගේ උපායශීලී වැඩ

 

රට බංකොලොත් වූ විට වැඩිපුර උදව් කළේ ඇමෙරිකාව ද ඉන්දියාව ද..?

 

ඩොලර් මිලියන 500 ක කැන්ගරු ආයෝජනය

 

ජනපති e කොළම

 

 
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)
 

රනිල් ගේ පියා දකුණේ බද්දේගම නිසාදෝ ඔහු කවදත් දකුණු මුහුදු තීරයට ලව් ය. පසුගියදා එහි සංචාරක ගැටලුවලට විසදුම්දීමට ක්‍රියා කළා පමණක් නොව සංචාරකයන් හා කතා කරමින් සෙල්පි ගැනීමට ද ක්‍රියා කළේය.

රනිල් ත්‍රිමලේ ගියේ බාලදක්ෂ ජම්බරියටය. ඊට රටවල් 28 ක හා ලංකාවෙන් 11,500 ක් එක්ව තිබිණ. ඔවුන් හා කතා කිරීම හා සෙල්පි ගැනීමේ නිමක් නොවිණ. ඉන්දීය දරුවන් සමග ඡායාරූප ගැනීමේදී එම ජාතික කොඩිය හරට තිබීම ගැටලුවක් වූ හෙයින් එය තම අතේ රදවා ගැනීමට ද ජනපති ක්‍රියා කළේය. ඉන්දියාව වතුකරයට දුන් නිවාස ව්‍යාපෘතියක් සූම් හරහා විවෘත කළ ජනපති එහි සිව්වන අදියරට අත්සන් තැබීය. ඇමති තොණ්ඩමන් ද ඊට එක්විය.

කඩවත මහාමායා දරුවන් ජනපති ලේකම් කාර්යාලයේ ඔවුන්ගේ පාර්ලිමේන්තුව පැවැත්වීය. එදින සවස ජනපති කැබිනට් යන අතරේ එම දරුවන් ද රැගෙන ගොස් නිළධාරීන් ලවා කැබිනට් ක්‍රියාවලිය පැහැදිලි කරවීය. එම පාසැලට පසුදා නිවාඩු දෙන කැබිනට් පත්‍රිකාවක් සම්මත කර එහි පිටපත් දරුවන් අතට පත් පසු පසු ඔවුහු මවිත වූහ.

අගහරුවාදා ආරක්ෂක මණ්ඩලය නිමවා ජනපති කුරුණෑගල ගියේ ජයවික්‍රම පෙරේරාට අවසන් ගෞරව දක්වන්නටය. "සති 02 කට කළිනුත් ඔබතුමා ඇවිත් පියා බලල ගියා. හැමෝම ඒ ගැන ප්‍රසංශා කරනවා" ඔහුගේ  ප්‍රත්‍රයා කීවේය.

එජාප ප්‍රර්ධනයට මහලේකම් රංගෙ හා සෙසු අය කැප වෙද්දී ගම්මට්ටමේ අයගේ කටයුතු ගැන ජනපති කණස්සල්ල පළ කළේය. "එයාලගෙ කතාව විතරයි. වැඩ නෑ" රනිල් කීවේ මළ පැනලාය.

පරිසර රාජ්‍ය ඇමතිකම වක්කුඹුරට ලැබුණේ පොහොට්ටු තීන්දුවකිනි. ඒ ගැන පොහොට්ටු අයම පක්ෂ ප්‍රබලයන්ට දෙහි කපන පසුබිමක් ද තිබිණ. දිව්රුම අත්සන් කරන්නට වක්කුඹුර ළඟ පෑනක් තිබුණේ නැත. සමන් ඒකනායකගේ පෑන ඉල්ලා අත්සන් තබන විට ජනපතිගේ නළල රැළි ගැන්වින. "ඔයා විවාහ සහතිකේට අත්සන් කළෙත් කාගෙන් හරි පෑනක් ඉල්ල ගෙන ද" රනිල් සිනහවක් දමා කීවද ඒ තුළ සියුම් ප්‍රහාරයක් හා ආදර්ශයක් ද තිබිණ.

අයවැයේ ඉලක්ක අතර පඩි වැඩි කිරීම, අස්වැසුම හා සින්නක්කර ඔප්පු දීම මූලිකය. ඉඩම් අමාත්‍යාංශයට නිතර කතා කර එය දිරිගැන්වීම රනිල්ගේ ප්‍රධාන කාර්යවී තිබේ. ඔප්පු ලක්ෂ 20 ක් බෙදීම ඉලක්කය වුවද මුලින් ලක්ෂ 10 ක් බෙදීම අරමුණය.එය ජනතාවට සහනයක් සේම ඡන්ද ඉලක්ක ද සැගව තිබේදැයි දන්නේ ඔහුය.

නයි මුගටින් වන ඊශ්‍රායල හා ඉරානයේ ප්‍රවාහන හා විදේශ ඇමකිවරු එකවර හමුවීම ගැන බොහෝ දෙනා ප්‍රශ්න කළ ද කපටි නරියා හිනා වුණා පමණය. ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු පාසැලේ දීද දරුවන් ජනපති හා සෙල්පි ගැසීමට පොරකෑහ. "ගිණි ගත්ත රට නිවුවෙ ඔබතුමා බව මේ දරුවොත් දන්නවා. ඒකයි පොරකන්නේ" තරුණ සේවා සභාපති කීවේය.
 
රනිල් බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශයට ආවිට මහ බැංකුව 70% කින් පඩි වැඩි කර ගැනීම ගැන කතා විය. "රටේම අය පීඩනයෙන් ඉන්නෙ. මහ බැංකුව එයාලට වැඩිපුර බෙදා ගත්ත එක හරි නෑ" ඇමතිවරයෙකු කීවේය. "ගිණි ගත්ත රට ගොඩ ගන්න ජනාධිපතිතුමාට මහ බැංකුවත් ලොකු සහායක් දුන්නා. ඒ පසුබිම නිසා එයාලට ලෝකෙ රටවල්වලින් ලොකු ඉල්ලුමක් ඇවිත්. අනික නව බැංකු පනත නිසා ආණ්ඩුවට මොකුත් කරන්න බෑ" ඇමති සියඔලාපිටිය උත්තර බැන්දේය. 

කපටි නරියා නෑසූ කණින් සිටීම ගැන කවුරුත් මවිත විය. ඒ මහ බැංකු නිළධාරීන් තමන්ගේ නැති ශක්තියක් ගැන පවා ඇමතිට කතා කියලාදැයි සිතූ නිසාදැයි දන්නේ නැත. "මහ බැංකුවේ අය රට බංකොළොත් වෙනකම් බලං හිටියා. කාටවත් කිව්වෙත් නෑ. එනිසා මහා දීමනා දෙන්න එයාල සුවිශේෂ අය වෙන්නෙ කොහොමද" කිරිඇල්ල මේ ගැන පාර්ලිමේන්තුව දෙවනත් කළ හැටි කපටි නරියාටත් මතක් වුණාදැයි දන්නේ නැත.

"ඔබතුමා දේශපාලනය කරනව මදියි කියල සමහරු කියනවා" රනිල්ට ගුග්ලියක් වැටින. "හැමෝම කරන්නෙ විවේචනය විතරයි. රට හදන හැටි කවුරුත් කියන්නෙ නෑ.මගේ දේශපාලනය බලය ගන්න එක නෙවෙයි රට හදන එක" රනිල් යෝධ පහරක් ගැසුවේය.

රට බංකොලොත් වූ විට ලංකාවට වැඩිපුර උදව් කළේ ඇමෙරිකාව හා ඉන්දියාව ය. IMF හා ලෝක බැංකුවය. වොෂින්ටන් හි පිහිටි IMF, ලෝක බැංකුව හා US ඒඩි වෙතින් මෙන්ම විශේෂයෙන් DFC හරහා ඩොලර් බිලියනයක ආයෝජන ද ලංකාවට ලැබුණේය. තවද ඇමෙරිකානු ආයතන සමග කතා කොට ඩොලර් මිලියන 54 ක එනම් රුපියල් කෝටි 1750 ක නොමිලේ ඖෂධ යැවීම ද සිදු විය. ගොවියාගේ හිස ගිණි ගත් මොහොතේ එය නිමාදැමූ පොහොර දීමනාව දුන්නේ ද US ඒඩ් වලින් ලැබුණු මුදලිනි. දැන් මේවා සිදු වන්නේ දෙරට අතර විදේශ සබදතා  විශේෂයෙන් ඇමෙරිකන් මහින්දගෙ කාලයේ සීග්‍රයෙන් වඩාත් තහවුරු කිරීමට ඔහු දරන උත්සාහයත් සමගය.

දඔුලුත් ගිහින් තලගොයිත් මරා ගෙන ආපු රනිල් ඕස්ට්‍රේලියාවෙන් ගෙනා ඩොලර් මිලියන 500 ක ආයෝජනයට පසුගියදා අත්සන් කෙරිණ. "සාධාරණව ලංකාවට දැනෙන වැඩක් කරනවා" තම පෞද්ගලික ජෙට් එකෙන් පැමිණ ගිවිසුම ගැසූ කැන්ගරු දේශයේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ප්‍රධානියා කීවේය.

 


 

Advertiesment